හසරැලි වැස්සේ -39

“අංකල්..ඔයා කියන විදියේ කෙනෙක් අපේ ගෙදරනම් නෑ.අම්මා ඇත්තටම හරිම සැරයි.අනික එයා චුට්ටක්වත් පිලිවෙලත් නෑ..”

මම හිතට ආ ආවේගයෙන්ම තෙපළුවෙමි.සුගත් අංකල් සුසුමක් හෙළා නිහඬවම සිටියේ ය.

“අංකල් විනාස වුණේ නැහැ වෙන්න ඇති.ඒත් අපේ අම්මා…”

අතීතය සිදු කළ දෑ නොඅසාම මම ඔහුට පැවසීමි.

“එයා තීරණ ගන්න බය වුණා..ඊටපස්සෙ එයා එයාටම රිදවා ගන්න පටන් ගත්තා..”

අංකල් කියන්නේ තැනින් තැන කතාවකි.එය පිළිවෙලකට අසන්නට මට ඕනෑ ය.ඔහුට මගේ ප්‍රශ්නය කියන්නට පෙර මේ ප්‍රශ්නය විසඳා ගත යුතු බව මම සිතීමි.

“අංකල්..ඇයි ඔයා අම්මව දාලා ගියේ?”

තීරණාත්මක ප්‍රශ්නය අසන්නට මට සිතිණ.ඔහු මදෙස මොහොතක් බලා සිටියේ ය.

“මම ඇත්තටම තාමත් හිටපු තැන පුතා.හැබැයි අම්මා ආපහු මා ළඟට එන්න ඕනෑ නෑ.එයා කරන්න ඕන එයාගේ ගමන යන එක..”

සුගත් අංකල් තවම අවිවාහක බව මම දන්නා කාරණාවකි.තමන්ගේ කියා පවුලක් තනා ගත් අම්මා ඔහුගෙන් පලි ගන්නට හෝ ඔහුගෙන් මිදෙන්නට නොහැකි වීමෙන් අප රිදවන බව දැන් මට පැහැදිලි ය.

“අම්මයි මායි මුණ ගැහුණේ ඉස්කෝලේ යන කාලේ.ඒ කාලෙත් සරෝ අක්කා අනෝමාව හරියට පරිස්සම් කරා.ඔයාලට වගේ ඉස්කෝලෙ යන කාලේ මැසේජ් කරගන්න අපිට ෆෝන් තිබ්බෙත් නෑ.ඇප්ස් තිබ්බෙත් නෑනේ.අපි ලිව්වේ ලියුම්..”

ඔහු එසේ කියා හිනැහුණේ මහා බරක් බිම තැබූ ලෙසට ය.මම්මා ඒ ආදරයට එරෙහි වූයේදැයි දැන ගන්නට මට ඕනෑ විය.කොහොමටත් ඇය තව සුළු මොහොතකින් මෙතැනට එන බවද මම දනිමි.

“සරෝ අක්කා අපිට උදව් කරා.මම හිතන්නේ ඒ උදව් කරපු එකම වරදක් කියල හිතල තමයි සරෝ අක්කා තාමත් ඔයාල එක්කම ඉන්න හේතුව.චන්දන අයියගෙ පිටින් දාලා සරෝ අක්කා තනියම ඉන්නේ අනෝමාව තනි කරන්න තියන අකමැත්තට..”

මම්මා සෑම මොහොතකම අම්මා සමඟ රැඳෙයි;ඇය ගැන වද වෙයි;ඇය නොගන්නා සෑම වගකීමක් ම තමන්ගේ සුරතට ගනියි.ඒවාට මෙතරමේ සැඟවුණු හේතුවක් ඇතැයි මම නොදැන සිටියෙමි.

“කැම්පස් ගියාට පස්සෙ අපි හිතුවේ අපේ සම්බන්දෙට දුවගේ සීයලා විරුද්ධ වෙන එකක් නෑ කියලා…ඒ උනාට උපාධියක් තියෙන එක දුවෙක් දෙන්න සුදුසුකමක් නෙමෙයි කියලා මට කියලා දුන්නේ දුවගේ සීයා..”

සුගත් අංකල් රජයේ ආයතනයක වගකියයුතු පරිපාලන නිලධාරියෙකු බව මට පැවසුවේ අයියා ය.එදා බස්රියේදී මට හමු වූවාට ඔහු තමන්ටම කියා ගෙයක් දොරක් වාහනයක් නැති මිනිසෙකු නොවේ.මා අනතුරට පත් වූ දින රෝහල් ගත කර ඇත්තේ ද ඔහුගේ මෝටර් රථයෙන් ය.හරිහැටි සලකා බලද්දි ඔහුද මගේ තාත්තා ද අතර ලොකු අසමානතාවයක් නැත.තාත්තා ඔහුගේ මහන්සියෙන් ධනය උපයද්දී සුගත් අංකල් ඔහුගේ බුද්ධියෙන් ධනය උපයයි.සැබෑවටම ඔවුන් දෙදෙනා අතර ඉපයීම් සම්බන්ධයෙන වැඩි වෙනසක් තිබෙන්නට නුපුළුවන.

“තාත්ත කෙනෙක් දෙයක් කිව්වම ඕනෙම දුවෙක් පිළිගන්නවා.ඒක තමයි පුතේ ඇත්ත.ඔයාගේ අම්මත් ඒකම කළා.ඒකේ කිසිම වරදක් මං දකින්නෙ නෑ.ජීවිතේ තරුණ කාලේ දි මුණගැහෙන මිනිහෙක්ට වඩා ඉපදුන දවසේ ඉඳන් තමන්ව රැකගත්ත තාත්තා විස්වාස කරන දුවෙකුගේ අයිතියක්.මං ඒකට මොකුත්ම කියන්නේ නෑ..හැබැයි අම්මා වරද කළේ ඊට පස්සේ.එයා ඔයාගේ සීයට තිබ්බ ආදරය රැක ගත්තා.එයා එයාට තිබ්බ ආදරේ විනාස කරගත්තා.ඒක ඔයාලා දෙන්නටයි ඔයාලගේ තාත්තටයි බලපාපු එකට මම පොඩ්ඩක්වත් සතුටු නෑ..”

අම්මාගේ කතාවෙ තව අසන්නට බොහෝ තැන් තිබේ.නමුත් මම වෙනත් තැනක නැවතුණෙමි. තාත්තාව දකින්නට ලැබෙන්නේ වසරකට දින කිහිපයකි.ඔහු ඇමතුම් දෙද්දී පවා ඇතැම් විට මා නින්දේ ය.මගේ ඇමතුම් සමහරක් පිළිගත නොහැකි තරමට තාත්ත කාර්යබහුල ය.නමුත් මේ ලෝකයේ මා වඩාත් ආදරය කරන්නෙ කාටදැයි ප්‍රශ්නයක් මතු වුවහොත් එයට දෙවතාවක් නොසිතා ම දෙන්නට පිළිතුරක් මට තිබේ.මා වැඩිපුරම ආදරය කරන්නේ තාත්තාට ය.එහි කිසිම සැකයක් නොවේ.

“ඔය සම්බන්දෙ චූටි පුතාට ගැලපෙන්නෙ නෑ.මගෙ සූකිරි ඕක අතාරින්න ඕනේ..”

දෙනෙත් ව ගිලිහී නොයන සේ වැළඳ ගන්නට මඟ බලා සිටින මා; ඔහු කෙසේ හෝ අයත් කරගන්නා උමතුවකින් පෙළෙන මා තාත්තා එවැනි ඉල්ලීමක් කළහොත් කුමකින් කුමක් කරාවිදැයි මම සිතීමි.

අම්මා සුගත් අංකල්ව අහිමි කරගෙන ඇයව ද අහිමි කර ගත්තා ය.තාත්තා මගෙන් ඉල්ලීමක් කළහොත් මාද මගේ උමතු ප්‍රේමය අතැර දමන බොහෝ ඉඩක් තිබේ.

“ජීවිතේ කවදා නවතී ද කියන්න බෑ.හැබැයි මම හිතෙනවා හසරැල්ගෙයි ඔයාගෙයි ජීවිතය ඉස්සරහට සිද්ධවෙන ලස්සනම දේවල් බලන්න පරණ අනෝමා ආයිත් එන්න ඕනි කියලා.අවුරුදු විසි ගානක් තිස්සේ එයා එයාවම නැති කරගෙන හිටිය හොඳටම ඇති.අනිත් එක එයා එහෙම එයාව නැති කරගන්න පුතාලගේ තාත්තා නරක මනුස්සයෙක් නෙමෙයි.ජයන්ත එහෙම නරක මිනිහෙක් වුනානම් මම පුතාලගේ සීයට විරුද්ධ දෙයක් කරන්න තිබුණා.ඒත් හැමදේම ඒ විදියට වෙන්න මමත් ඉඩ ඇරියේ පුතාලගේ තාත්තා බොහොම හොඳ මනුස්සයෙක් නිසා.මම හිතන්නේ අනෝමා ආයෙ එයාවම හොයා ගත්තනම් පුතාට තියන ප්‍රශ්න වුණත් තවදුරටත් ප්‍රශ්න නෙවෙයි..”

මගේ තාත්තා නරක මිනිසකු නොවන බව මම ද දනිමි.අම්මා ඒ අහිමිකරගත් කාරණය නිවැරදි ලෙස අවබෝධ කරගත හොත් අපට අප සොයා ගැනීම අපහසු නොවනු ඇතැයි මම ද සිතීමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles