ඉඳුදුන්න -16

“ඇත්තටම විඳවන්නේ අපි..”

අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය.

“ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි දැක්කම මටනම් රිදෙනව..”

අමන්දී සුසුමක් සමඟ ඔහු වැලඳ ගත්තේ ය.අතීතයේ සිදු වූ වරදක් ගැන තැවෙන්නට හැමෝටම නොහැක.නමුත් ඔහු තැවෙයි.ඒ අතින් ඔහු උතුම් බව අමන්දී සිතුවා ය.

“අවිශ්ක…ඔයාට හෘද සාක්ෂියක් තියන නිසා ඒ..ඔයාට එහෙම තියෙන එක ගැන මට සතුටුයි..ගොඩක් පිරිමින්ට ඒක නෑ.ඇත්තටම ඉඳුවරටත් නෑ..එයා මම සල්ලිකාර මිනිහෙක්ව බැඳගෙන සතුටින් වගේ කතා කිය කියා ඔහේ ඉන්නවා…අනේ ඇත්තටම ඊට වඩා ඔයා හොඳ මනුස්සයෙක්.ඔයා අඩුම තරමේ සුරේකා අක්කා ගැන දුක් වෙනවනෙ..”

අවිශ්ක කිසිවක්ම නොකීවේ ය.ඔහු අමන්දී ගැන විශාල පැහැදීමක් ඇති කර ගත්තේ ය.ප්‍රේමයෙන් ළං වෙන්නට අපොහොසත් වූ හදවත් අතීත පෙම්වතියක විසින් යා කළේ එහෙම ය.

“සුරංග අතේවත් සුරේකා අක්කට බඩුමුට්ටු ටිකක් යවන්නං..මං එහෙ යන එකට එයා සතුටු වෙන එකක් නෑ..මං මොනව උනත් එයාගේ හිත රිද්දන කෙනෙක්නෙ…”

අමන්දී පසුදා අවිශ්කගෙන් ඇසී ය.ඔහු හිස වනා එකඟ වූවේ ය.සාමාන්‍ය පවුලකට මසකට සෑහෙන තරමට ආහාර සහ අමුද්‍රව්‍ය අමන්දී පාර්සල් කළා ය.

“ගමේ මිනිස්සු හොරෙන් හොරෙන් කියන එක අලුත් අක්කා දැනගෙනද?

සුරංග ඉතා සෙමින් ඇසුවේ ඔහු අසලට ආ සඳුනිගෙනි.සඳුනි ප්‍රේමණීය ඇස් විමසුම් සහගත දෑසකට පෙරළා ගත්තා ය.

“සුරේකා අක්කගෙ කොලු පුංචා අයියගෙ කියලා..”

සඳුනි සුරංගට වේගවත් පහරක් ගැසුවා ය.සමහර ගැහැනුන් ළිං තොටවල් වල මුමුණන ඒ කතාව ඇයට පිළිගන්නට නොහැක.එහි අසත්‍යයක් ඇති බව සඳුනි සිතුවා ය.ඒ කුඩා කොලුවා අයියාගේනම් අයියා මොහොතකටවත් අමන්දීට පිටු නොපාන බව සඳුනිට සහතික ය.අයියා එපමණකට හොඳ මිනිසෙකි.

යසවතී මුළුතැන් ගේ අරක්ගෙන ය.සිල්ලර කඩ කැෂියර් පුටුව මාමණ්ඩීට ය.සඳුනි රසවින්දනයක් නැති සිංහල චිත්‍රපටියකට ඇස ඔබා හිනැහෙමින් සිටියා ය.අවිශ්ක කටයුත්තකට පිටව ගොස් ය.අමන්දී පොතකට ඇස යොමා බොහෝ වෙලාවක් ගෙවා දැම්මා ය.කම්මැලිකමක් හදවතට පිවිසි හෙයින් ඈ ෆේස්බුක් සංචාරයක් යන්නට සිතුවා ය.

“ලංකාවම හොලන්න ප්‍රේමවන්තයන් දෙන්නා ෂූටිං වලට කලින් කරපු දේ මෙන්න..”

අනිත් අයගේ ඕපාදූප මඟ හැර ගිය ද අමන්දීට ඉඳුවර මඟ හරින්නට සිතක් නැත.ඇය ඒ පුවත විවර කළේ එනිසා ය.ඕපාදූප වෙබ් අඩවියට අනුව ඉඳුවර පසුවන්නේ තරිඳි ගැන ප්‍රේමයෙනි.ඔහු වඩා උවමනාවෙන් ඈ හා ප්‍රේමණීය දසුන් මවන්නට එකතු වේ.දර්ශන තලයේ පවා තරිඳි කෑවා ද බීවා ද පවා විමසන්නේ ඔහු ය.අමන්දී ඒවා දෙස බලා සිටියේ ශෝකයකිනි.එසේනම් ඔහුට අවශ්‍ය වන්නට ඇත්තේ එකම මඟක අත් අල්ලාගෙන යන ගැහැනියකි.දුෂ්කර පාසලක දරුවන්ට සංගීතය උගන්වන්නට සිහින දුටු කෙල්ලක ඔහුට උවමනා නොවන්නට ඇත.

“අදීෂ වැඩක්ද?”

ඇය අදීෂට ඇමතුමක් ගත්තේ නිකමට ය.එදා ඉඳුවරට දුරකථනය දීම සම්බන්ධයෙන් අදීෂ අමන්දීගෙන් සමාව ද ඉල්ලූයේ ය.නමුත් තමන්ට වඩා සමීප මිතුරන් හා අමනාප වන්නට අමන්දී කැමති නැත.ඇය ආගිය තොරතුරු විමසන්නටවත් ප්‍රමාද නොවී වෙබ් ඕපාදූපය ගැන ඔහුට පැවසුවේ ය.

“ඇත්ත වෙන්නත් ඇති.ඔයාට දැන් මේවා අදාල නැති නිසා කියන්නේ.ඌ පොඩ්ඩක් ඔය කෙල්ල ගැන කියෝනව වැඩී..”

අදීෂ පැවසී ය.අමන්දී ගලක් සේ අසා හුන්නා ය.

“තව දෙයක් අමා..ඕවා ටෙලිය හිට් කරගන්න චැනල් එකෙනුත් කරනවා.ඔය ෂූට් කරන තැන්වල වීඩියෝ එහෙම ලීක් කරන්නෙ උන්ම තමා.අනික සමහර වෙලාවට නිලියො ගැන කැත ඕපාදූප යනවා නේද..එව්වා හදන්නෙත් උන්මයි.ඇත්තටම ඒවාට එරෙහි මිනිස්සු ස්ත්‍රී හිංසනය ගැන ෆේස්බුක් ලියනවා.වලත්ත පේජ් කාරයෝ කුණු කතා ලියනවා.අදාළ කෙල්ල හිට් වෙනවා..මේක මහ නරා වලක් බං දැන්..මම උනත් තරගෙන් පස්සෙ ඕකට බැස්සෙ නැත්තෙ ඒකයි..මට සනූ එක්ක පාඩුවෙ ඉන්න හිතුණා.හොඳ මිනිස්සු ඕනතරම් ඉන්නවා.ඒත් දැන් අලුත් බහුතරේ බලන්නේ කුණුගොඩවල්වලින් ගොඩ යන්න..”

අමන්දීට ඉඳුවර ගැන දැනුණේ සැබෑ ශෝකයකි.ඇතැම් රාත්‍රී සාදවලට පවා ඇයට සහ සනුරිට නොඑන්නට සිහි කළ සරසවි සිසුවා අමන්දී සිහි කළා ය.

“කතාවක් හැදුණොත් හැදුණමනෙ..ඔයාලා ඕවට එන්න ඕන නෑ.ඇත්තටම අපිට ජොලියෙ ඉන්න දේවල් ඕනතරං තියනවත් නෙ..”

නමුත් දැන් ඔහු ද තැත් දරන්නේ ඕපාදූපයෙන් ගොඩ යන්නට ය.අමන්දී තරප්පුපෙළ බැස්සේම ඒ ගැන කණගාටුවෙනි.

“දුවේ..කඩෙන් ඉන්නවද ටිකක් වෙලා..මට වතුර ඩිංගක් නාගන්න ඕන..අද දායක සබාවෙ කොමිටි රැස්සීමක් තියනවා..”

මාමන්ඩිය දොරකඩින් මෑත් වූයේ එසේ අසමිනි.අමන්දී හිස වනා ඔහුට එකඟ වූවා ය.කලබලකාරී නැති කඩයේ රැඳෙන්නට ඈ කැමති ය.

“මේ දූලා ඊයේ යාය දෙකේ ගියාද?”

බුලත් කහට බැඳි දත් දෙපළකින් විරිත්තූ ගැහැනියක එසේ ඇසුවේ අමන්දී පරිප්පු කිරද්දී ය.ඇය හිස වනා ගැහැනිය හා හිනැහුණා ය.

“ඔය ළමයා ඔව්වැයි යන්නේ දැනගෙනද?”

ගැහැනිය අසන්නී අමන්දීට වඩා සමීප වෙමිනි.ඈ නෙතු දල්වා අමන්දී දෙස බැලුවා ය.

“මං මේ නිකමට කියන්නේ දුවේ.මටත් කෙල්ලොම තුනයි..මේවා දකිනකොට අහනකොට වේදනායි..”

ඒ ඇයි දැයි අසන්නට අමන්දීට සිතිණ.එහෙත් ගැහැනිය නළල රැළි ගන්වා කතාව කියන්නට පටන් ගත්තා ය.

“ඔය ළමයා රවට්ටල තියෙන විදිය නින්දිතයි ළමෙයෝ..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles