ඔලියැන්ඩර් – 55

0
444
oleander Flower

” ඇයි ?” 

ක්ෂණිකව හිඳ උන් සෝපාවෙන් නැඟිට ගත් තරුණ දේහදාරියා හිස පහත හෙළමින් තමා අසල සිටින්නාවූ කුඩා යුවතිය දෙස බලා ඇසුවේය. 

” ඇයි ? මොනාද ඕනේ ?” 

පිරිමි ස්වරය පෙරට වඩා බොහෝ පහත් වූ අතර ඈ ක්ෂණිකව ඔහුගේ බඳ වටා තම දෑත යවමින් තදින් ඒ සිරුරෙහි වෙලුණාය. 

” ස.. සඳ.. සඳැස්වි.. ! ගිහින් අර සුප් එක බීලා නිදාගන්න. හරි.. ඕකේ.. සුප් එක බොන්න ඕන්නෑ. ගිහින් නිදාගන්න. යන්න. “

වෙව්ලන දෙතොලින් තම ළමැද මත හිස හොවා සිටින තරුණිය දෙස බලා ඔහු එසේ පැවසුවද යළි හැරී යහන වෙත යනු තබා ඇගෙන් සෙලවීමක හෝ ප්‍රතිචාරයක් නොලැබුණි. 

” ස.. සඳැස්වි ..!  මෙහෙම හිතුවක්කාර උනොත් මං යනවා යන්න. “

ඔහු නැවතත් එසේ පැවසුවද පෙර පරිදිම ඈ නොසෙල්වී සිටියාය . ආයාසයෙන් දැඩි කර ගත් සිතින් ඇගේ දෙවුර මත දෑත තබා ඈ පසෙකට කිරීමට උත්සාහ කෙරූ ඔහුගේ හදවත කඳුළු බිඳු රූරා වැටෙන හෙම්බත් වී ගොස් තිබූ ඇගේ උවන දැක බොහෝ සෙයින් කම්පාවට පත් වූ අතර ඔහුගේ ළැම මතට වාරු වූ ඈ දෝතම එකතු කර ඔහු ඉදිරියේ හඬා වැටුණාය. 

” මාව.. මාව දාලා යන්නෙපා දෙයියනේ.. ! ඔයා .. ඔයා හිතන් ඉන්න දේවල් ඇත්ත නෙමෙයි ” 

තමා ඉදිරියේ හඬා වැටෙමින් වැඳ වැටෙන යුවතිය දෙස අප්‍රමාණ කම්පාවකින් බලා සිටි ඔහු තවත් කිසිවක් පැවසීමට ආයාසයෙන් මුව විවර කළා පමණි , නැවත වතාවක් සිහි සුන් වූ තරුණිය ඔහුගේ ළමැදටම කඩා වැටුණාය. 

” සඳ…! සඳ…!” 

******************

” ගුඩ් මෝනින් මිස් !” 

රිදුම් දෙන හිසත් සමඟම දෑස හැරි තරුණිය තමා අසල උන් හෙදිය දෙස හිස් බැල්මකින් බලා සිටියාය. 

” ඊයේ රෑ වෙච්ච දේ මතකද ?” 

ඇගේ පැනයට පිළිතුරක් දෙනු වෙනුවට ඈ කාමරය පුරාත් , එහි පසෙක තිබූ සෝපාව දෙසටත් දෑස විතැන් කළද එකී දෑස සෙවූ රුව දැකගත නොහැකි විය .

” ටිකක් “

කෙඳිරිලි ස්වරයෙන් පිළිතුරු දුන් ඈ විසල් සුසුමක් හෙළුවාය. හරි හැටි කෑම බීමක් නැතුව ඇඟ දුර්වල වෙලා ඉද්දි වේලක් දෙකක් බෙහෙත් බීපු ගමන් ආයේ යථා තත්වෙට එන්නෑ. නොසැලකිල්ලෙන් ලෙඩ හදාගන්න පුළුවන් උනාට ඒ තරම් ඉක්මනට ඒවා හොඳ කරගන්න බෑ ” 

අවසන් වී තිබූ සේලයින් බෝතලය ගලවා ඉවත් කරන අතරතුර හෙදිය දිගටම එලෙස පැවසූ අතර විවර වන දොරෙහි හඬට  දෑස දල්වා ඒ දෙස බැලුවද යුවතියගේ බලාපොරොත්තු සුන් කරමින් තවත් හෙදියක් කාමරය තුළට ඇතුළු වූවාය.

” ඩොක්ටර් එනවා ” 

ඈ එසේ පවසා පසෙකට වූ අතර පෙර දින ප්‍රථමව රෝගී තරුණිය පරීක්ෂා කෙරූ වෛද්‍යවරයා රෝහල් කාමරයට ඇතුළු වූයේය. 

” ගුඩ් මෝනින් සඳැස්වි !” 

” ගුඩ් මෝනින් ඩොක්ටර් ” 

” මොකෝ උනේ ඊයේ රෑ ? “

සිනාමුසු මුහුණින් එසේ ඇසූ වෛද්‍යවරයා ඇගේ පරීක්ෂණ වාර්ථා නිරීක්ෂණය කරන්නට වූයේය .

” ප්‍රෙෂර් බලන්න “

හෙදිය වහා රුධිර පීඩනය මැන බැලීමට ඈ අතක් මත යන්ත්‍රයේ වෙළුම වෙළන්නට පටන් ගත්තාය. 

” ඊයේ බ්ලඩ් රිපෝට් එක ආවද ?” 

” තාම නෑ ඩොක්ටර් , අද උදේ 10 විතර වෙයි කිව්වා. “

” ඊයේ රෑ ගත්තු ඊසීජී රිපෝට් එක කෝ ? “

” මේ තියෙන්නෙ ඩොක්ටර් “

” ඊයෙට වැඩිය නං ප්‍රෙෂර් එක නෝර්මල් වෙලා ඩොක්ටර් “

” අන්තිමට බ්ලඩ් ශුගර් බැලුවේ කොයි වෙලාවෙද ?” 

හෙදියන් දෙදෙනාගේ හා වෛද්‍යවරයාගේ කිසිදු කතා බස් වලට ඇහුන්කම් නුදුන් තරුණිය සෙමින් සෙමින් පෙර දින රාත්‍රියේ සිදු වූ සිදුවීම මතක් කිරීමට උත්සාහ කළාය. 

ඔහු අතට දුන් සුප් බඳුන යළි මේසය මතම තමා හිතුවක්කාරවී ඔහු අසලට ගොස් එකී ළමැද තදින් වැළඳ ගත්තා මතකය . දින සති ගෙවී ගිය බොහෝ කාල සීමාවකට පසු දැනුණු විසල් පපුතුරේ උණුසුම මුළු සිරුරම සැණකින් සැනසීමකට පත් කළා යැයි කීවොත් නිවැරදිය.  නමුදු ඉන් පසු සිදු වූ කිසිවක් මතකයෙ නැත . දෑස හැර බලන විට අසල සිටි වෛද්‍යවරියක් හා යුහුසුලුව දිව යමින් සිටි හෙදියන් දෙදෙනා මතකය. වෛද්‍යවරිය ප්‍රශ්න කීපයක් ඇසූ සැටිත් , තමා ඒවාට පිළිතුරු දුන් සැටිත් මතකයේ තිබුණද ඈ ඇසූ ප්‍රශ්න හෝ , තමා ලබා දුන් පිළිතුරු හෝ ඇගේ මතකයේ නොමැත . 

” ඔයා තාම සම්පූර්ණයෙන් හොඳ වෙලා නෑ සඳැස්වි. “

වෛද්‍යවරයාගේ කටහඬට කල්පනාවෙන් මිදුණු ඈ සෙමින් මළානික වූ දෑස ඔහු වෙතට හැරවූවාය. 

” හැමදේම තාම සාමාන්‍ය අතට පත් වෙන ගමන් තියෙන්නේ. කිසිම රිපෝට් එකක් හොඳටම හොඳයි කියන්න නෑ. ඒ නිසා පුලුවන් තරම් රෙස්ට් එකේ ඉන්න බලන්න. “

” අද මාව ඩිස්චාර්ජ් කරන්න බැරි වෙයිද ඩොක්ටර් ?” 

මළානික ස්වරයෙන් පිටවූ පැනයට මඳ සිනහවක් නැඟූ වෛද්‍යවරයා තමා අත තිබූ ලිපි ගොනුව වසා දැමුවේය. 

” අද නං බෑ. ඔයාගේ Blood Pressure , Blood Sugar තාමත් තියෙන්නේ සෑහෙන්න පහල මට්ටමක. දවස් ගාණක් හරියට කෑම ගන්නැතුව ඉඳලා දැන් ටික ටික ඇඟට කෑමයි , ග්ලූකෝසුයි ලැබෙනකොට අපේ බොඩි එක උනත් ඒවාට රියැක්ට් කරන තරම එක එක වෙලාවට වෙනස් වෙනවා. අන්න එතකොට තමයි ඔය කරකැවිල්ලයි , ෆේන්ට් වෙන එකයි වෙන්නේ . ඒ නිසා හැම රිපෝට් එකක්ම නෝර්මල් වෙනකන් ඔයාව ඩිස්චාර්ජ් කරන්න බෑ. “

නෙතින් ගලා වැටුණු කඳුළු බිඳුවක් වහා පිස දැමූ ඈ යළිත් හිස බිමට බර කර ගත්තාය. 

” සියත්‍රව අඳුරගෙන දැන් කොච්චර කල්ද ? “

” ආ..?” 

තිගැස්සී එසවුණු දෙනෙත දුටු වෛද්‍යවරයා හට යළි සිනහවක් නැඟුණේය. 

” සියත්‍ර , මම , මහීල් අපි තුන් දෙනාම රෝයල් එකේ ඒලෙවල් කරන කන්ම එකම ක්ලාස් එකේ හිටියේ. “

හදවතට සැනසුම් සුසුමක් හෙළිණි. ඔහු නුදුටුවාට ඔහු පිළිබඳව ඇසීමම සිතට සැනසීමක් ගෙන දීමට සමත් වෙයි. 

” මං ශිෂ්‍යත්වේ පාස් වෙලා රෝයල් එකට ආවේ .  මං මෙහෙ නෙමෙයි මාතලේ. මගේ අම්මයි , අප්පයි දෙන්නම ටැමිල්. ඒ නිසා මෙහෙ ආවම පොඩි පොඩි වෙනස් කම් උනා. ඒ ඔක්කොගෙන්ම බේරිලා ඉගෙනගත්තේ සියත්‍ර නිසා. මගේ අම්මයි , අප්පයි වතු වැඩ කළේ. සල්ලි තිබ්බ මිනිස්සු නෙමෙයි. මං මෙහෙ ඉඳගෙන කාලා , බීලා , ඉගෙනගෙන අද මෙහෙම මේ වගේ තැනක ඉන්නේ සියත්‍ර නිසා. ඌ මට උගේ සහෝදරයෙක්ට වගේ සැළකුවා. ආපු මුල් කාලේ කොළඹ එපාම උනා. ආයේ ගෙදර යන්නම තමයි හිතුණේ. සියත්‍ර නැත්තන් අද මාත් අප්පා වගේම දළු කඩනවා. “

වෛද්‍යවරයාගේ කතාවෙන් නැවතත් දෑසට ඉනූ කඳුළු පිසදාගත් ඈ මඳ සිනහවක් නැඟුවාය .

” මේ ලෝකේ ප්‍රශ්න කියන දේවල් හැමෝටම මූණ දෙන්න වෙන දේවල් සඳැස්වි. ලෙඩ කියන්නෙත් එහෙම තමයි. අපි කොච්චර බේත් කලත් වැඩක් නෑ ඔයා ඔයාගේ පැත්තෙන් සනීප වෙන්න කැමති නැත්තන්. ඇඟේ ලෙඩේට බෙහෙත් අපි දුන්නට ඔයාගේ හිතේ ලෙඩේට බෙහෙත් දීගන්න ඕනේ ඔයාමයි. හිත ලෙඩ වෙලා නං ඇඟේ ලෙඩේට කොච්චර බෙහෙත් කළත් වැඩක් නෑ. ඒ නිසා මේ අසනීප දවස් දෙක තුනවත් වෙන ප්‍රශ්න ගැන හිතන්නැතුව ඉක්මනට සනීප වෙනවා කියලා හිතලා කාලා , බෙහෙත් බීලා රෙස්ට් එකේ ඉන්න. “

නැවත වතාවක් හෙදියන් දෙදෙනා වෙතට හැරී අවශ්‍ය උපදෙස් කිහිපයක් ලබා දුන් වෛද්‍යවරයා රෝහල් කාමරයෙන් පිටව ගොස් ඇමතුමක් ලබා ගත්තේය. 

” ප්‍රනීෂ්..! මොකද ?”

” අවුලක් නෑ මචං. හැබැයි තාම එක රිපෝට් එකක්වත් නෝර්මල් නෑ. එයා ඉන්නේ හිත ඇතුළෙන් සෑහෙන්න බිඳිලා. “

” මං කිව්ව ටික එයාට කිව්වද ?” 

” කිව්වා. කොහොමත් හිත ඇතුළෙන් දුක් විඳ විඳ ඉන්නවනං කොයි බේත බිව්වත් මොන ලෙඩක් උනත් හොඳ වෙන්නෑ. පුලුවන් නම් ඇවිල්ලා පොඩ්ඩක් බලහන්  “

” හරි හිතුවක්කාරයි බං. කියන කිසි දෙයක් අහන්නෑ. මං ආවම ඒක වැඩියි. ඒකයි මං එන්න ආවේ. “

” මං නිකමට ඉස්සර විස්තර ටිකක් කිව්වා. බාගෙට මැරිලා වගේ හිටපු කෙල්ලගේ මූණට ටෝච් ගැහුවා වගේ එළිය උනේ උඹේ නම ඇහිච්ච ගමන්. ඒවත් ඔක්කොම කියලා මේ ටික දවසවත් හිතේ තියන ප්‍රශ්න අමතක කරල ඉන්න කියලා කිව්වම කිසිම දෙයක් කියන්නැතුව කියපු ඔක්කොම අහන් හිටියා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එයා විතරක් හිතුවක්කාර වෙන එක නෙමෙයි බං උඹත් හිතුවක්කාරයි. එච්චරයි “

එසේ පැවසූ වෛද්‍යවරයා ඇමතුම විසන්ධි කොට කොරිඩෝව ඉදිරියට ඇවිද ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here