හසරැල් වැස්සේ -44

මා දෙනෙත්ගේ ප්‍රේමය අයදමින් කළ උමතු දෑ තාත්තාට හෙළි කරන්නට මට බොහෝ වෙලාවක් ගත නොවිණි.ඔහු සවන් දුන්නේ ය.මම එක හුස්මට කියවමින් සිටියෙමි.

මට එක් දෙයක් අවබෝධ විණ.මට හොඳ සවන් දෙන්නෙකු අවශ්‍ය වී තිබී ඇත!

අම්මා, ඇය හිඳින්නේ ඇගේ ලෝකයක ය.ඇය සෑම ගැටළුවක්ම දෙස බලන්නේ ඇගේ කෝණයෙන් ය.ඕනෑම ප්‍රශ්නයක් මා ඇති කරගන්නේ මගේ වරදින් බව ඇයට සහතික ය.දෙමිතුරියන්ට ඕනෑ වූයේ මා සචිර අයියාගේ ප්‍රේමවන්තිය කරන්නට ය.ඔවුහු සෑම කෙල්ලෙකුම කරන්නා සේ මුල් කාලයේ දෙනෙත් ගැන කියමින් මා සරදමට ගත් අතර ඒ ප්‍රේමය සැබෑ ප්‍රේමයක් බව දැනෙද්දී ද විහිළු නොකඩවාම පවත්වා ගත්හ.මම්මා ඒකපාර්ශ්වික ප්‍රේමයකින් රිදුම් උහුලන බව දැනගත් දා සිට මම ඇයට මගේ වේදනාව නොකියන්නට ප්‍රවේසම් වූයෙමි.ඇය ඉන් වේදනාව අලුත් කර ගන්නා බව මට සිතිණ.කොහොමටත් මගේ සැබෑ සවන් දෙන්නා අයියා ය.ඔහු දෙනෙත්ගේ මිතුරා නොවිණිනම් මට මේ සියල්ල ඔහුට ද නිර්මාණි අක්කාට ද කියන්නට තිබිණ.නමුත් ඔහු දෙනෙත් හා ගැටුම් ඇති කර ගනිතැයි මට තිබුණේ බියකි.

තාත්තාගේ හදිසි ආගමනය නොවන්නට මා සිටියේ සුගත් අංකල් හා සියල්ල පවසන්නට ය.නමුත් ඔහු සමඟ එය බෙදා ගන්නට සිදු නොවී තාත්තා පැමිණීම සතුටක් බව මට දැනෙන්නේ දැන් ය.මා උසුලන්නේ ප්‍රේමයක වේදනාවකි. තවමත් ඒ වේදනාවකින් රිදවුම් උහුලන සුගත් අංකල්ට මගේ වේදනාව පැටවිය යුතු නොවේ.මා ඔහුගේ වේදනාව ඇති කළ ගැහැනියගේ දියණිය ය.දුවට ලැබුණේ අම්මා කළ පවක ප්‍රතිඵලය බව ඔහු සිතිය යුතු නැත.

“අපි හැමෝටම අපි බෞද්ධ කියල මතක් වෙන්නෙ දිට්ඨ දම්මවේදනීය කර්මය හින්දා.අපිට චුට්ටක් හරි රිද්දපු මනුස්සයෙක්ට දුකක් වුණොත් ඒ දිට්ඨ දම්ම වේදේ කිය කියා හිනා වෙන්න තමා අපිට බුද්ධාගම මතක් වෙන්නේ..”

අපේ දහම් පාසල් ගුරුතුමිය එසේ කී අන්දම මට සිහි වේ.සුගත් අංකල් කියන්නේ ද සාමාන්‍ය හදවතක් ඇති මිනිසෙකි.ඔහු තවමත් ඔහුගේ පාසල් ප්‍රේමය ඇති කළ වේදනාවෙන් රිදුම් උහුලන මිනිසෙකි.ඒ වේදනාව දුන් ප්‍රේමවන්තිය විවාහ වී දරුවන් තැනුවා ය.ඇගේ දියණියක ද ප්‍රේමය නිසා දඬුවම් උහුලන බව දැන ගැනීම, අම්මාට කළකම් පළ දීමක් බව ඔහුට හඟවන්නක් වන්නට ද ඉඩ ඇත.

එනිසා මෙය ඔහුට කිවයුත්තක් නොවේ!

“තාත්තේ,මට මේක අමතක කරන්න උදව් කරන්න..”

දියණියගේ පළමු ආදරය තාත්තා බව කියවෙතත් මට එය සැබෑවක් බව නොසිතිණ.තාත්තා මා ළඟ නොරැඳුණේ ය.ඔහුට වටින්නේ මුදල් බව කියන්නේ අම්මා ය.

“මම ආපහු යන්නේ නෑ.මොනවහරි බිස්නස් එකක් පටන් ගන්නව .”

තාත්තා එසේ කීවේ මගේ හිස්මුදුන සිප ගන්නා අතර ය.ඔහු මට උදව් කරන්නට සැරසෙන බව දැනුණු මට මහත් සතුටක් දැනෙන්නට විය.

“මං හරිම බයයි ඔයා අම්මා වගේ වෙයි කියල.”

තාත්තා එසේ කියන්නේ සුසුමක් කුණාටුවක වේගයෙන් මුදා හරිමිනි.බොහෝ තාත්තලා දියණියන් අම්මාගේ කාබන් කොපියක වීම මහත් ආඩම්බරයකින් දරන බව මම දනිමි.

“දූ ඉතින් පෙනුමට මං වගේ වුණාට ගතිගුණ සේරම අම්මගෙ.ඒ හින්දා දෙන්න හිත හදා ගන්නෙත් අමාරුවෙන්.ඒ වගේ හොඳ ළමයෙකුට හසරැල්ව ලැබුණු එක මට සතුටුයි..”

නිර්මාණි අක්කාගේ අප්පච්චි දිනක් එසේ පැවසූ අන්දම මට අමතකව නොයයි.සචිර අයියාගේ තාත්තා නිරන්තරයෙන් දුක් වන කාරණාවක් තිබේ.ඒ ආන්ටි සරි දියණියකට උපත දෙන්නට නොලැබීම ය.එහෙව් දියණියක ලැබුණානම් ඒ විශාල භාග්‍යයක් බව ඔහු නිතරෝම පවසයි.නමුත් මගේ තාත්තාගේ කතාව වෙනස් ය.ඔහු බියට පත් වෙන්නේ මා අම්මා වාගේ වනවාට ය.ඇය මෙන් නපුරු වීම ගැහැනියකට නොයුතු බව තාත්තා නොකියා කියන බව මම සිතීමි.

“අම්මාගෙ කේන්තිය ගැන වැඩිය හිතන්නත් එපා සූකිරි.අම්මා කාටවත් නොකියන ප්‍රශ්නයක් එයාගෙ හිතේ තියනව.ඒකයි අම්මට එහෙම වෙන්නෙ..”

එසේ කියා මඳ වෙලාවක් නිසොල්මන්ව හුන් තාත්තා අනතුරුව සැනසීම සහිත වචන පේළියක් මුදා හැරියේ ය.

“ඔයා ඔයාගෙ ප්‍රශ්නෙ මට කීවනෙ.ඒ නිසා ඔයාට එහෙම වෙන එකක් නෑ”

තාත්තාට කියන්නට තවත් රහසක් ඇති බව මට සිතුණේ ඊට පසු ය.එය ද සඟවා ගත යුතු නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles