හසරැලි වැස්සේ -45

“අම්මට එහෙම වුණේ ඇයි කියල මම දන්නව..”

මම එසේ කීවේ යහන මත හරිබරි ගැහෙමිනි.තාත්තා මඳ සිනාවකින් මා අසා සිටියේ ය.අම්මා මේ තරම් කාලයක් අප සමඟ තරහකින් හැසිරෙන්නේ අපි ඇගේ සිහිනය නොවූ නිසා ය.අම්මා යන චරිතය බෝසත්කමකට හරවාගෙන ඒ මත ඕනෑවට වඩා බර දැමීම නොකළ යුතු බව මට සිතෙන්නට ගත්තේ අම්මා නිසා ය.

“අම්මලා කියන්නෙත් මිනිස්සුන්ට..”

අපේ අම්මා කුඩා කාරණාවන්ටත් කෝප ගන්නා ගැහැනියක බව හඬමින් හෙළි කළ දවසක මගේ උසස් පෙළ පන්ති භාර ගුරුතුමිය එසේ පැවසුවා ය.උසස් ප්‍රතිඵලයක් වෙනුවෙන් බලාපොරොත්තු තබා සිටි මට උසස් පෙළ පන්තියේ පළමු වාර විභාගයට කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි ලකුණු ලැබුණේ නැත.පළමු වතාවේම සරසවියට සුදුසුකම් නොලැබුවහොත් අම්මා ප්‍රකෝප ගන්නා ආකාරය කියමින් හැඬූ හැටි මට තවම මතක ය.

“තමන්ගේ ජීවිතය ඇතුලේ සම්පූර්ණ කර ගන්න බැරි වුණු අරමුණු දෙමාපියෝ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා.අම්මල තාත්තල බුදු වෙනවා කිව්වට එයාලා තවම බුදුවෙලා නෑ හසරැලි.ඒ සාමාන්‍ය මිනිස්සු.දුක හිතෙන එක කේන්ති යන එක ඒ මිනිස්සුන්ට සිද්ධ වෙනවා.එහෙම කියලා දරුවා ඕනවට වඩා පීඩාවට පත් කරන්න අම්මල තාත්තලට අයිතියක් නෑ තමයි.ඒත් ඔයාගේ අම්මා එහෙම නං අම්මත් එක්ක තරහ වෙන එක දැන් නවත්තන්න.වෙන්න ඕනේ කවදහරි දවසක ඔයාලා අවබෝධයෙන් අම්මලා බවට පත් වෙන එක..”

මම්මාගේ ජීවිතය පිළිබඳ තීරණ ගැන මට දැනෙන්නේ මහත් පැහැදීමකි.ඇයට ආදරය කළ මිනිසා නොලැබුණි.ආදරයක් නැති විවාහයක් තෝරාගැනීම වෙනුවට ඇය සදාකාලික තනිකම තෝරා ගත්තා ය.ඉන් කිසිවෙකුත් පීඩාවට පත් නොවේ.

“සීයගෙ නපුරු කම නොවුණනම් අපි හැමෝම සතුටින්.”

මම තාත්තාට එසේ පැවසුවෙමි.තාත්තා මගේ හිස පිරිමැද්දේ ය.

“ජීවතුන් අතරවත් නැති මිනිස්සුන්ට දොස් කියලා වැඩක් නෑනෙ පුතේ..”

අතිශය විෂ සහිත මිනිසුන් බිහි වීම පසුපස දෙමාපියන් සිටින බව මට සිතේ.සීයා අම්මාට ඇගේ පෙම්වතා අහිමි කළේ ය.ඔහු වඩා සාර්ථක විවාහයක් ලෙස කරදුන් විවාහය තුළ අම්මා සතුටකින් ජීවත් නොවිණි.ඇය අපේ තාත්තාව ප්‍රතික්ෂේප කළා ය.ඔහු ඈතින් සිටින තරමට සතුටු වූවා ය.සිතෙහි ඇති පීඩනය මාත් අයියාත් පිටින් යවන්නට වගබලාගත්තා ය.සීයා කළ ඒ විවාහය නිසා අප කිසිවෙකුත් සතුටින් නොවේ.

අම්මාගේ ආදරේ හිමි නොවුණු දියණියක ලෙස උස්මහත් වූ මා මට ආදරය නොකරන තරුණයෙකුට උමතුවෙන් ආදරය කිරීම ද මේ ගැටලුවෙහි තවත් එක් පුරුකකි.කෙසේ හෝ ආදරය උපයා ගැනීම මිස මට ආදරය කරන්නෙකුට ආදරේ කරන්නට මට අමතකව යන්නට ඇත.

දෙමව්පියන් අතින් සිදුවන සමහර වැරදි පරම්පරා කිහිපයක් අසීරුතාවන්ට ඇද දමන බවට අපේ කතාව හොඳම නිදසුනකි.

“මම හොස්පිටල් එකට එක්කන් ආවේ සුගත් අංකල් තාත්තේ.”

අනතුරට පත් වූ මා රජය රෝහලකට රැගෙන ගිය සුගත් අංකල්ට තාත්තා ගැන පූචානම් අසන්නට වූ අන්දම මම තාත්තාට හෙළි කළෙමි.තාත්තා මඳ සිනාවක් පමණක් දෙන්නට ප්‍රවේසම් වූයේ ය.

“අම්මා ඉන්නේ ඒ මනුස්සයා එක්කත් තරහින්.මාත් එක්කත් තරහින්..”

අනතුරුව තාත්තා කීවේ සිනාව පුළුල් කරමිනි.ඇය අප සමඟ ද තරහ බව නොකියා මම වචන ගිල ගතිමි.

“සූකිරි,ඔයා සනීප වෙලා ගෙදර යං.මං දෙනෙත්ට කතා කරන්නම්.තමන් කැමති තැන නොලැබුණාම ගෑනු ළමයින්ට වෙන දේ මට අම්මගෙන් පේනව.මොනතරම් දේවල් ලැබුණත් ඔයාට එහෙම වෙනවට මම ආස නෑ..”

මම සුසුමක් හෙළීමි.සචිර අයියා රැගෙන ආ මල් පොකුරේ වූ ලිලී මලක් අතට ගත් මම ඒ දෙස මඳ වෙලාවක් බලා සිටියෙමි.ගැහැනු ළමයෙකු මල් පොකුරකි.නමුත් ඒ මල් පොකුර මල් ඔටුන්නක්ව රැඳිය යුත්තේ මල් ප්‍රිය කරන හිසක් මත නොවේදැයි මගේ සිත මගෙන් අසමින් සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles