හදිසි අනතුරු ජීවිත සහමුලින්ම අනිත් පැත්ත පෙරලනවා.ජීවිතය මට සිද්ධ වෙච්ච සමහර කාරණාත් හදිසි අනතුරු වගේ වගේ කියලා ඔබ හිතනවා ඇති.මගේ ජීවිතෙත් සිද්ධ වුණු හදිසි අනතුරු ඕනෑතරම්.ඒත් මේ කියන්නේ ඒ වගේ දේවල් නෙමෙයි ,සැබෑවටම සිදුවන අනතුරු ගැන.
අපි හිටිය පිළිස්සුම් අනතුරු සම්බන්ධ වාට්ටුවේ.ජීවිතය මුහුණ තරම් ඛේදවාචකයකට හැරෙන්න පුළුවන්ද කියලා ඇස් පනාපිට ඔප්පු කරන ඒ වාට්ටුව අමුතුම ගඳකින් පිරිලා තිබුණු තැනක්.මට ගෙදර ගිහින් හුස්ම ගන්නකොට පවා ඒ ගඳ දැනෙන තරමට පිළිස්සුණු මිනිස් සිරුරකින් එන්නේ පුදුමාකාර ගන්ධයක්.කෑම කන්න පවා හිත හදාගන්න හදා ගන්න හරිම අමාරුයි.කුණු කය කියන වචනෙ හරි තේරුම මම ඉගෙන ගත්තේ බණ පොත් වලින් නෙමේ,එතනින්.කෙළවරක් නැති සංසාර එක් නවාතැනකදි ජීවිතය තියෙන අනියත බව ගැන පාඩම් බොහොමයක් මට ඒ වාට්ටුව ඉගැන්නුවා.
සීතා,හිටියේ විලාප නගමින්.”අනේ මට ඉන්න බෑ මට වේදනාවයි.බුදු මිසී..මාව මැරෙන්න දෙන්න එපා.මාව බේරා ගන්න.” උදේ ඉඳන් රෑ වෙන තුරු ම වෙනතුරුම සීතා නැඟුවේ එහෙම විලාපයක්.ඇගේ සිරුරේ සියයට අසූවක්ම පිළිස්සිලා තිබුණා.සැමියාගේ අනියම් සම්බන්ධතාවයක් අසුවීම නිසා මුගෙන් පළිගන්න තමයි සීතා සිරුරට ගිනි තියාගෙන තිබුණේ.සියදිවි නසාගන්න එහෙම කළාට සීතා නොනවත්වාම තමන්ගේ ජීවිතය ඉල්ලමින් කෑගැහුවා.අනේ ඒත් ඇය දින තුනකට හතරකට වඩා ජීවත් වුණේ නෑ.ඇගේ අභ්‍යන්තර අවයව වලට පුදුමාකාර විදියට හානි වෙලා තිබුණලු.ප්ලාස්ටික් දියවෙලා වැගිරෙනවා වගේ ඇගේ පුන් පියයුරු පිලිස්සිලා ඇඟට ඇලිලා තිබුණු හැටි මගේ දෑසින්ම දුටුවා.ඇත්තටම එයට මරණය සැනසීමක් කියලා මම අදටත් විශ්වාස කරනවා.
තවත් කාන්තාවක් හිටියා ඇගේ මුළු මුහුණම විකෘති වෙලා ඇහිබැම ඇසි පිහාටු තිබිය යුතු ස්ථානවල නෙමෙයි පිහිටලා තිබුණේ.ඇය දිගු වරලසක් හිමි වෙලා තිබුණු කාන්තාවක්.කර්මාන්ත ශාලාවක වැඩ කරද්දි කොණ්ඩය මැෂින් එකට අහුවෙලා ඇය ඇදිලා ගිහින්.බෙල්ල පහලින් හම ඇදිලා ගිහින් තමයි ඇයව දැන් විකෘති වෙලා තියෙන්නේ
කුසුම් ඈත ගමක පොඩි කෙල්ලක්.ඇය හිටියේ හිසේ ඉඳන් දෙපතුලටම වෙළුම් පටිවලින් ඔතාගෙන.මුහුණේ සමහර ලකුණු වලින් කුසුම් මොනතරම් ලස්සන කෙල්ලක් වෙලා ඉන්න ඇතිද කියලා මට හිතුණා.ඇඳේ එක පැත්තට ඔහේ දාලා ඔහේ ඉන්න කුසුම් ලඟට මමත් මිදි ගෙඩි,ඇපල් කෑලි අරගෙන යනවා.ඒවා කටට දැම්මාම කුසුම් හපල කන බව පෙනෙන්න තිබුණා.කෙඳිරියක් වත් නඟන්න පණ නැතුව ඔහේ ඉන්න කුසුම් දරුණුම අනතුරකට ලක් වෙච්ච පුංචි කෙල්ලක්.ඇය අක්කලා නංගිලා එක්ක පිදුරු ගොඩක පෙරළෙමින් සෙල්ලම් කරලා තියෙනවා.නමුත් පිදුරු ගොඩ ඇතුලෙන් ගිනි තියන තිබුණු බව පුංචි කුසුම් දැනගෙන ඉඳලා නෑ.ග්‍රාමීය රෝහලෙන් මහනුවර රෝහලට මාරුවීමක් ලැබෙනකොට පුංචි කුසුම් හොඳටම පිළිස්සීමට ලක් වෙලා.නරකම කාරණාව ඇයට ඇයගේ අම්මා ළඟ ඉන්න ලැබුණු හරිම අඩුවෙන්.දවස් ගානක් ඉස්පිරිතාලේ ඉඳලා ඒ අම්මා ඉතුරු දරුවෝ බලලා එන්න ගමට යනවා.මේ දවස් කීපය කුසුම් ගත කරන්නේ තනියම.ඒ පුංචි දැරිය ජීවත් වුනාද මියගියාද කියන්නේ මම තවම දන්නේ නැහැ.
ඉතින් ජීවිතය කියන්නේ ඔන්න ඔහොම දේකට.ජීවිතයේ තියෙන අනියතභාවයත්,ක්ෂණයකින් හැමදේම වෙනස් විය හැකි බවත් මම ඒ වාට්ටුවේ ජීවත් වුණු කාලය පුරාවටම ඉගෙන ගත්තා.පසුකාලීනව දැඩි අනතුරකට ලක්වෙලා බරපතළ ශල්‍යකර්මයකට මුහුණ දෙනකොට හිත ශක්තිමත් කරගන්න මට උදව් වෙන්න ඇත්තේ ඒ කාලයේ ලබපු අත්දැකීම් වෙන්න ඇති.
සමහර වෙලාවට මම ඔබේ බරපතළ විවේචනයට ලක් වෙමින් තිබෙන බව මට පේන්න තියෙනවා.මගේ කතාව මහා සාගරයක් තරම් විශාලයි.ඔබ තාම එයින් අහගෙන හිටියේ දිය දෝතක තරම් ප්‍රමාණයක්.අනිත් අය විනිශ්චයට ලක් නොකර ඔවුන්ගේ ජීවිතය ගැන ඉවසීමෙන් අහගෙන ඉන්න පුරුදු වෙනවා නම් අපි අතර මීට වඩා මිනිස්කම ව්‍යාප්ත කරන්න පහසුයි කියලා මට හිතෙනවා.ඒක ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි.නමුත් අපට කරන්න බැරිකමකුත් නෑ. මම ජීවිතේ මට මුණ ගැහෙන කිසිම කෙනෙක් විනිශ්චය කරන්නේ නැහැ.හැම කෙනෙකුටම හැම දෙයකටම හේතුවක් තියෙනවා.ඒක තමයි සරලම කතාව!
යකඩ පතුර යොදපු කකුල අම්මට හැමදාම සහනය ගෙනාවේ නැහැ.ඇගේ කකුල ඉවත් කළ යුතුම බවට වෛද්‍යවරුන් තීරණය කළ දවසක් ආවා.ඒ තීරණය අම්මගේ හිත සසල කරන්න ඇති.නමුත් ඇය එක්ක රැඳෙමින් ඇයට තීරණය දරාගන්න උදව් කරන්න මම ලෑස්ති වුණා.