ළිං කුහරයේ සිර වී මිය ගිය පුංචි රයන්.

මේ අවසාන තත්ත්වය කුමක් වේදැයි නොදැන පමා කළ සටහනක්.නමුත් ඔබ මෙය කියවන මොහොතේදී ද වේදනාව කියන්නේ මොනවගේ හැඟීමක්ද කියලා හොඳින්ම ඔබට දැනෙනවා ඇති.ලෝකයම එක්ව තම තමන්ගේ ආගම් අනුව ප්‍රාර්ථනා කළ එක් දෙයක් පසුගිය දින කිහිපයේ තිබුණා.එක් පුංචි ජීවිතයක් වෙනුවෙන් කළ ඒ ප්‍රාර්ථනාව මේ වෙද්දි වේදනාවක් ව අවසන්.

රයන්!

මොරොක්කෝවේ ජීවත් වූ පුංචි රයන් අවසන් වරට මිදුලේ සෙල්ලම් කරමින් සිටියේ පසුගිය අඟහරුවාදා දිනයේ.හදිසියේම ඔහුගේ ශබ්දයක් නෑසෙන්නට වූ නිසා ඔහුගේ අම්මා ඔහු සොයන්නට ගත්තේ කලබලයකින්.පස් හැවිරිදි පුංචි රයන් අඬන ශබ්දය අම්මාට ඇසෙන්නට පටන් ගත්තා.ඒ ඇයට අත පෙවිය හැකි දුරකින් නම් නෙමෙයි.අඩි එකසිය හතරක් ගැඹුරු ළිඳක් තුළින්.කුඩා විවරයක් සහිත මේ ළිඳට වැටුණු රයන් ගැන අම්මා වහා වැසියන් සහ ගම් වැසියන්ව දැනුවත් කළා.

මීටර් තිස් දෙකක් ගැඹුරු වලක් වුණු මේ නළ ළිඳේ අඟල් නවයයි දශම ගණනක ඉහල කොටසේ කැනීම් කරමින් තිබුණා.නළ ළිඳක් වෙනුවෙන් කැනීම් කරපු මේ පටු ආගාධය ඔස්සේ දරුවා අසලට සෘජුව ලඟා වෙන්න බෑ.ඒ නිසා ඊට සමාන්තරව විශාල කන්දක් හරහා වෙනත් මාර්ගයක් සකසන්න ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියා කළා.

සියල්ල ක්‍රියාත්මක වූයේ ඉක්මනින්.ලෙහෙසි නැති සංකීර්ණ මෙහෙයුමක්.ඒ මෙහෙයුම අතරමැද නාය යාම ගැන ගැටළු පවා පැන නැගුණා.ලෝකයේ සියලුම ප්‍රවෘත්ති නාලිකා හදිසි පුවත් විකාශය කරමින් රයන් බේරා ගැනීමේ මෙහෙයුම විස්තර කරන්නට පටන් ගත්තා.බුල්ඩෝසර් මාර්ගයෙන් ගලවා ගැනීමේ කණ්ඩායම් මහා කන්දක් හාරමින් ඉතා අනතුරුදායක මෙහෙයුමක් පුංචි රයන් වෙනුවෙන් දියත් කළා. කුඩා විශ්කම්භයක් සහිත විවරයක් තිබූ ලිඳෙන් රයන් බේරා ගැනීම ගැන සමහරකුට එතරම් විශ්වාසයක් තිබුණේ නැහැ.අගල් කැපීම සිදු වන්නේ ඒ නිසා.

නළ මාර්ගයෙන් ආහාර ජලය සහ ඔක්සිජන් ලබාදුන්නත් මුලදී කුඩා රයන් ඒවා ලබාගන්නා බව තහවුරු වූයේ නැහැ.පසුව ඔහු ජලය ලබා ගන්නා බව තහවුරු කරගෙන තිබුණා.පුංචි දරුවෙකු තමන්ගේ ජීවිතය අත නොහැර සටන් කිරීම සැබෑවටම විශ්මය ජනක සිදුවීමක්.රයන්ව ගලවා ගැනීමේ මෙහෙයුම පහසු දෙයක් නොවේ.සහ්රාවි ලෙස හැඳින්වෙන ජනප්‍රිය ළිං කනින්නා මේ සටනට නායකත්වය දුන් පුද්ගලයෙක්.අවසන් මොහොතේ හමුවූ පාෂාණ ස්ථරය රයන්ව බේරා ගැනීම අපහසු කරද්දී පවා අත්දැකීම් බහුල මිනිසා ඒ අසීරු සටනට නායකත්වය දී තිබෙනවා.පෙබරවාරි පස්වැනිදා මැදියම් රෑ වෙද්දි රයන් සිටින්නේ දැඩි අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව ගලවා ගැනීම් කණ්ඩායම් මාධ්‍යයට වාර්තා කර තිබුණා.ඒත් ධෛර්යමත් වීම ගැන පාඩමක් අපේ අනාගත දරුවන්ට උගන්වන්නට සමත් වූ පුංචි වීරයෙකු අවසානයේ සුර ලොවට නික්ම යන්නට තීරණය කර තිබුණා

රෝහලට රැගෙන එන විට පුංචි රයන් මියගොස් සිටි බව රෝහල් වාර්තා සනාථ කරනවා.මොළයට සහ සුසුම්නාවට වූ හානි ද පපු ප්‍රදේශයේ ඇතිවූ බිඳීම් කිහිපයක් ද නිසා ඔහුගේ මේ සිදුවන්නට ඇති බවයි පැවසෙන්නේ.දරුවාව අතට ගන්නා විට මියගොස් සිටි බව ගැලවීමේ කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම් තහවුරු කළ බවත් පැවසෙනවා. ප්‍රාදේශීය රෝහලට ඔහු රැගෙන යන්නට ගිලන් රථයක් සහ හෙලිකොප්ටරයක් සූදානම් කර තිබුණා.පුංචි රයන් ගොඩ ගනිද්දි එතැනට රැස් ව සිටි ජනතාව ප්‍රීති ඝෝෂා කරමින් සතුට පළ කරත් දැන් ඒ ගම්මානේ හැඬුම් හඬක ගිලී අවසන්.

මෙවැනිම කතාවක දුක්බර අවසානයක් ලෝකයා අත්වින්දේ “සියල්ලන් හඬවා අඳුරු ළිඳක් තුල ජීවිතයට සමුදුන් සුජිත් විල්සන් ” නම් පුංචි පුතු නිසා. 2019 ඔක්තෝබර් 25 වැනි සිකුරාදා පස්වරුවේ තමන්ගේ නිවස අවට සෙල්ලම් කරමින් සිටි දෙහැවිරිදි වියේ පසුවූ සුජිත් විල්සන් නම් දරුවා, තමිල්නාඩුවෙහි තිරුචිරපිල්ලෙයි දිස්ත‍්‍රික්කයේ පිහිටි, අත්හරින ලද වගා ළිඳකට වැටී සිරවී සිටියා. මව්පියන්ගේ අවධානය මොහොතකට ඔහු වෙතින් ගිලිහුන වෙලාවක ඔහු මේ අවසනාවන්ත සිදුවීමට මුහුණපා තිබුණා.හයක් හතරක් නොතේරෙන සුජිත් දින හතරක් පුරා ජිවිතය අයදිමින් අඳුරු කුහරයක් තුල ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියා .දින ගණනක් පුරා පැවති ඔහුව මුදාගැනීමේ මෙහෙයුම්ද අසාර්ථක කරමින් ඔක්තෝබර් 29 වන අඟහරුවාදා ඔහු මෙලොවින් සමුගත්තේ ඉන්දියානු වැසියන් පමණක් නෙමෙයි ,මුලු මහත් ලෝකයම හඬවමින්.

මෙවැනි අනාරක්ෂිත තැන් නිසා ලෝකය පුරා දරුවන් විවිධ අනතුරුවලට මුහුණ දීම මේ වෙද්දී සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙනවා.නමුත් ඒ සියල්ල වළක්වා ගත හැකි අනතුරු බව අප අමතක නොකළ ම යුතු කාරණාවක්.ජීවිතය අත්හැර ගිය පුංචි සුජිත් ද පුංචි රයන් ද අපිට යළි යළිත් සිහි කරන කාරණාව වන්නේ තමන්ගෙ දරුවන් සම්බන්ධයෙන් අතිශය අවධානයෙන් සිටිය යුතු බව මිස අන් කිසිවක් නොවේ.

ලෝ ප්‍රකට “Miracles from Heaven” චිත්‍රපටිය නිපදවුණේ ගෙවත්තේ ගස් බෙනයක සිර වූ ඇනා බීම් නම් දැරියගේ කතාව ඇසුරෙන්.බියකරු අත්දැකීමකට මුහුණ දුන් ඇනාගේ ඇගේ අත්දැකීම ඇසුරෙන් නිපදවූ චිත්‍රපටිය නැරඹීමට තරම් වාසනාවන්තියක වුණා.පුංචි රයන්, ඔබේ වීර දින පහ සම්බන්ධයෙන් ඉතා නුදුරු අනාගතයේ දීම නිර්මාණ බිහිවේවි.ඒ සියල්ල අපට යළි යළිත් සිහි කරන්නේ දරුවන් දෑස් මෙන් රැක ගත යුතු බව මිස අන් කිසිවක් ම නො වේ.

අඳුරු සීතල දවස් ගෙවී අවසන්.පුංචි රයන්! ලෝකය පුරා සිදු වූ විවිධ අනතුරු නිසා ඔබ මෙන් අකාලයේ නික්මගිය සුර බිලිඳුන් ඔබව ස්වර්ගයට රැගෙන යන්නට ඇති.එහි සැනසීමෙන් හිඳින්න.ලෝකෙම ආදරේ රැගෙන නික්ම ගිය පුංචි පුතුට සැනසුම අත් වේවා!

තවත් මෙවැනිම කතා

More Stories

Don't Miss


Latest Articles