හසරැලි වැස්සේ -52

“අපි හිතුවා අපිව අමතකත් වෙලා ඇති කියලා..”

යෙත්මි සචිර අයියාට එසේ කියද්දී ඔහු ඇගේ සටහන් පොතක් පෙරළා බලමින් අප අසලින් හිඳ ගත්තේ ය.අනතුරුව මදෙස බැලුවේ සිනහමුසු මුහුණින් ය.

“ඇයි මං සූකිරිට කිව්වේ මම ටිකක් බිසී කියල.මං ඉතින් සූකිරිට නම් කතත් කරා..”

සචිර අයියා බොහෝ සාමාන්‍ය හඬකින් පැවසුවා ය.යෙත්මි හිචිස් ගා හිනැහුණා ය.මම මේසයට යටින් ඇගේ කකුල පාගන්නට වග බලා ගතිමි.රහස් හෝ හොර වැඩට සචිර අයියා අකමැති ය.ඔහු දෙනෙත්ට වඩා සහමුලින්ම වෙනස් ය.

“සරෝ ආන්ටි කෝ..මට ටී එකක් ඕනෑ”

සචිර අයියා ගෙතුළට ගියේ සුපුරුදු ලෙස මගේ නළලට දබරැඟිල්ලෙන් තට්ටුවක් දමාගෙන ය.යෙත්මි ඔහු යන දෙස නෙත් නොපියහෙළා බලා සිටියා ය.

“ඔය දෙනෙත් ඉන්නව නේද? එයා ආවනම් අහන්නෙ උවී ගැන.මං නොහිටියොත් මං ගැන..හා නැද්ද?”

ඇය අනතුරුව පැවසුවා ය.එය සත්‍යයකි.දෙනෙත් එවැනි වැඩ කරන්නට රුසියෙකි.මා ගණනකට ගන්නට තරම් චරිතයක් නොවන බව හඟවන්නට මෙන් ඔහු වහා මගේ මිතුරියන් ගැන විමසන්නට ප්‍රවේසම් වූයේ ය.සිටින්නේ මාත් එක් මිතුරියක් පමණක් නම් “කෝ අර ලස්සන ගර්ල්” යැයි අහන්නට ඔහු වග බලා ගනී.සචිර අයියා මා සමඟ සමීප බව හැඟවුයේ අතිශය සාමාන්‍ය ලෙසට ය.යෙත්මි පවසන දේ මට හොඳින් වැටහිණ.

“අපේ අක්කිගෙ යාලුවෙක් ඉන්නව.ඒ අක්කිට මහ හිසරද රිලේෂන්ශිප් එකක් තිබ්බා.එයාගෙ කොල්ලා හැසිරෙන්නෙ කෙල්ලෙක් නෑ වගේ.යාලුවන්ටත් කියල තිබ්බෙ අර අක්කි ජස්ට් ෆ්‍රෙන්ඩ් කියලා.”

ලෝකයේ රැවටිලිකාරයන් බහුල ය.දෙනෙත් ද ඒ කොට්ඨාසයටම අයත් වීම මගේ හදවතට තවමත් ගෙනෙන්නේ වේදනාවකි.

“දෙනෙත් රැවටිලිකාරයෙක්ටත් වඩා ටිකක් වෙනස්.එයා නිකන් ගර්ල්ස්ලා ගණන් ගන් නෑ වගේ පෙන්නලා අමුතු සතුටක් විඳිනව කියල මට හිතෙනව.”

මම යෙත්මිට පැවසුවේ ඒ මොහොතේ හිතට ආ සැබෑ හැඟීම ය.නමුත් මගේ කතාව ඉදිරියට ගෙන යන්නට නොලැබිණ.සචිර අයියා තේ කෝප්පයක් ද රැගෙන අප වෙත ආවේ ය.

“මටත් තේ ඕන.”

යෙත්මි මගෙන් ඉල්ලීමක් නොකළා ය.අණ කරන්නට වූවා ය.මුළුතැන්ගෙයට ගොස් මම්මාට ඉල්ලීමක් කරන්නැයි මා පැවසුවද ඇයට අවශ්‍ය වූයේ මා මෙතැනින් පන්නා දමන්නට බව මට වැටහිණ.මා තේ සකසන්නට ඕනෑවටත් වඩා කාලය ගත්තේ එනිසා ය.ඇයට සචිර අයියා සමඟ ඕනෑ එකක් කියවන්නට ඉඩ දෙන්නට ය.

“මං ඒ අයිඩියා එකේ ඉන්නේ ගොඩක් කල් ඉඳන්.ඒ වුණාට සූකිරි දෙනෙත්ට කැමති වෙනකොට මට මැදින් පනින්න බෑනෙ..”

ආපසු පැමිණෙද්දී මට සචිර අයියා පවසන හඬ ඇසිණ.එකත් එකටම මේ කරදරකාර කෙල්ල මා ගැන ඔහුගේ හැඟීම විමසන්නට ඇත.දෙනෙත්ට මගේ සැබෑ හැඟීම් ගැන කියන්නට ගොස් කරගත් විනාශය ප්‍රමාණවත් නැතිදැයි යෙත්මිගේ කනකින් ඇද අසන්නට මට සිතේ.

“ඕක ඔයාට කලින් මගෙන් ඇහුවෙ ජයන්ත අංකල්..”

මගේ දෑතේ ඇති තේ කෝප්ප දෙක හැලෙන තරමට අත් වෙවුලන බව මට දැනිණ.තාත්තා සචිර අයියා සමඟ කතාබහ කළේ කොයි මොහොතේ දැයි මම නොදනිමි.නමුත් එවැන්නක් සිදු වී තිබේ.

“මගේ හිතේ එහෙම දෙයක් තියනව.තාමත් තියනව.මං ඒක අංකල්ට කිව්ව.ඒක හංගන්න දෙයක් නෑ.”

ජීවිතයට සියලුම භෞතික දෑ උපයා ගත හැකි බවත් නමුත් අවංකකම සහ යහපත් ගතිගුණ අලුතින් ඇති කර ගැනීම අසීරු බවත් අපට පැවසුවේ උසස්පෙළ පන්ති භාර ගුරුතුමිය ය.

“පාඩම් කරන මුවාවෙන් රෑ තිස්සෙ ඇහැරගෙන චැට් කරන කොල්ලො අවංක මිනිස්සුද කියල මුලින්ම බලන්න.තව අවුරුදු කීපයක් ගියාම මගෙ දරුවෝ දුකින් ඉන්න කතා අහන්න මම ආස නෑ..”

ගුරුතුමිය එසේ පැවසූ අන්දම මම සිහි කළෙමි.සචිර අයියා සැබෑවටම අවංක තරුණයෙකි.ඔහු තවදුරටත් පවසන දෑ අසන්නට මට ඕනෑ විය.

“ඒ වුණාට මං දැන් හසරැලිට ඒ ගැන මොකුත්ම කියන් නෑ..පොඩි හේතුවක් නිසා.”

ඒ හේතුව කෙළවරක දෙනෙත් සිටින බව සහතික ය.ඔහු මා ගැන මොනවා හෝ අසත්‍ය දෑ සචිර අයියාට පවසා ඇත්දැයි තිගැස්මක් මට දැනෙන්නට විය.මා සියල්ල පටලාගෙන අහවර වග මගේ සිත කෑගසමින් දොස් නඟන්නට පටන් ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles