මට ශාමලී ආන්ටී ඕනා,ආන්ටි ඕනා…….බබාගේ කෑ ගැසීම නොතකාම අසීරුවෙන් හිත හදා ගත්ත ශාමලී ගේට්ටුවෙන් නික්මුණා.අතේ තිබුණ ඇඳුම් මල්ලට වඩා හිත බර වුණත් කරන්න දෙයක් නැහැ.නෝනා තව දුරටත් තමා සිතූ තැනැත්තිය නොවන බවත්,ඉතාමත්ම ආත්මාර්ථකාමී විදියට තමාගේ ජීවිතය මෙහෙකාර කමට සීමා කරන් තියාගන්නට උත්සාහ කරන බවකුයි ශාමලීට හිතුණේ.ඊයෙ හවස කතා බහ ආපහු චිත්‍රපටියක් වගේ ශාමලීගේ ඔලුව ඇතුලේ රඟ දැක්වෙන්න පටන් ගත්තා.
“නෝනා”
ශාමලී කතා කලේ බොහොම බයෙන්.නෝනා ඕන නම් තමන්ට වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් වෙන්න ඇති හිතුවත් කවදාවත් වයසක් දැනගන්න තරම් සමීප බවක් ගෙවුණු අවුරුදු දෙක පුරාම ඇතිවුනේ නැහැ.නෝනා එහෙම වුණාට මහත්තයාත්,මහත්තයාගෙ අම්මා,තාත්තාත් එහෙම වුනේ නැහැ.ශාමලී ඒ නිවසට ආවෙ අවුරුදු තුනක් වයස පුංචි බේබිව බලාගන්න.ඒ වෙද්දිත් පුංචි බේබි කතා කරන්නෙ නැහැ.හැමෝම අපල වලට පූජා තියමින්,දොස්තර හොයමින් කාලෙ ගත කල කාලයක් ඒක.ශාමලී එක්ක බේබි කොච්චර යාලු වුනාද කිව්වොත් ශාමලීගෙ කාමරේ නිදා ගන්නත් ලෑස්ති වුණා.බේබි නිතරම ශාමලී අස්සෙම ගැවසීම නිසාම ශාමලීට ලස්සන ඒසී කාමරයක් දෙන්න ගෙදර අය ඉක්මනින්ම කටයුතු කලේ සේවක කාමර අස්සෙ පහසුකම් මදි නිසා.අනික් සේවකයින් ඉක්මනින්ම ශාමලීට ඉරිසියා කරන්න පටන් ගත්තෙ ඊට පස්සෙ.
“ඒසී කාමර දීල තව මොන මොනවා දෙයිද දන්නෙ නෑ” වගේ අවුල් කතා වලින් කලබල නොවෙන්න තරම් ශාමලී බුද්ධිමත් වුණා.විවේක ලැබෙන හැම වෙලාවෙම දැනටමත් පොත් රැසක් පිරුණු පුංචි බේබිගෙ ලයිබ්‍රි එකට රිංගල පොත් කියවන්නත්,පඩි ලැබුණම ඔන්ලයින් පොත් ඕඩර් කරල ගෙන්ව ගන්නත් ශාමලී පුරුදු වෙලා හිටියා.ශාමලීගෙ කියවීමෙ ආසාව දැන ගත්ත ලොකු නෝනා ශාමලීගෙ පොත් බිල් ගෙවන්න ගත්තෙ සේවකයින්ගේ ඉරිසියාව වැඩි කරමින්.ඒ ගෙන්වගත් බොහෝ පොත් අතර කුඩා දරුවන්ගේ වර්ධනය පිළිබඳ පොත පත පිරී තිබුණා.කතා කරන්නෙ නැති,කන්නෙ නැති,ඈලි මෑලි බබා මාස දෙකක් ඇතුලෙ කවුරුත් නොහිතපු විදියට ක්‍රියාශීලී දරුවෙක් වෙන බවට ලකුණු පල කරමින් තිබුණා.
ගිනි ගිනි බෝලේ රැලි රැලි මාලේ
මේ ළමයා කොහෙන්දෝ
රෝස කැලෙන් ඇහින්දෝ
රෝස කැලට කොහින්දෝ
කපුටා ගෙනත් දැම්මෝ
දඩිං බිඩිං ඩොං……කියලා ශාමලී බේබි එක්ක බිම වැතිරෙද්දී දවසක් මහ හඬින් හිනාවුණ පුංචි බේබි ශාමලී කියල එක පාරටම කතා කළා.ශාමලී මේ හීනයක්ද කියල බලන්න ඇස් පිහ දැම්මත් ඒ ලඟ හිටිය ලොකු නෝනා ට ඒක ඇහිලා කලබල වෙලා නැගිටින්න ගිහින් පුටුව ත් පෙරලන් පත බෑ වුණා.ඊට පස්සෙ අමාරුවෙන් නැගිට්ට ඇය දරුවා උස්සන් ඉඹින්න ගත්තා.පුංචි බේබි ශාමලී කියල පටන් අරන් කාලයක් තිස්සේ කතා කලා වගේ දිගටම කතා කරන්න ගත්තා.ලොකු නෝනා ශාමලීට ලක්ෂ දෙකක ස්ථාවර තැන්පතුවක් දාල කරට හීනි රත්‍රන් මාල පොටකුත් දැම්මෙ ඇස්වල කඳුලු පිහිමින්.මේ කිසිම දේකදි පුංචි බේබිගෙ අම්මා සතුටු වුණේ නෑ කියල ශාමලීට හිතුණා.ඒ ඇයව කවදාවත් අගය කිරීමක් නොකල නිසා විතරක් නෙවෙයි ශාමලී එක්ක කතා කරන්නවත් ඇය ඉදිරිපත් නොවුණ නිසා.
බබා ශාමලී විතරක් නොකියා ශාමලීට ආන්ටි කියන්න පටන් ගත්තා.කවුරුත් ඒක නවත්තන්න උත්සාහ කලේ නැහැ.මේ අතරෙයි බබාගෙ අම්මා ශාමලීට ප්‍රපෝසල් හොයන්න ගත්තෙ.තමන්ගේ මහ ගෙදර ඉන්න කකුලක් කොර ටිකක් වයසක මනුස්සයව බඳින්න කියලා කියන්න බබාගෙ අම්මා ශාමලීට කතා කල දවසේ ඒ ගෙදරින් යන්න කාලෙ හරි කියලා ශාමලී හිතුවා.ඒ වෙද්දි ලොකු නෝනා හිටියේ එයාගෙ දුව ලඟ.ශාමලීගේ පිහිටට කවුරුත්ම හිටියෙ නැත්තෙ උදේ ගෙදරින් ගිහින් මහ රෑ ගෙදර එන බබාගෙ තාත්තා මේ කිසිම දෙයක් නොදැන සිටි නිසා.ඒත් ශාමලී නිසා දරුවා තුල වුන වෙනස්කම් දන්නා ඔහු ශාමලීට සැලකුවේ හරිම ගෞරවයෙන්.
හදිසියේම බබාගේ අම්මා ,ශාමලීගේ මගුල තීන්දු කරගත යුතු නිසා දෙමාපියන්ට කතා කර හෙට ඔවුනට තමන් හමුවන ලෙසට නියෝගයක ස්වරයෙන් පැවසුවා.ඊට පසු දෙදෙනාට දිගටම තම පවුලට සේවය කරමින් මෙහි රැඳී සිටිය හැකි බවද අය පැවසුවා.ශාමලීට තව දුරටත් ඇයගේ වහල් සේවිකාවක වීම අනවශ්‍ය වුනත් පුංචි බේබි දමා යා නොහැකි නිසාවෙන් ඇය රැඳී සිටියේ.කොරෝනා කාලයේ සියල්ලටම හොරෙන් ඇය පෙර පාසල් පාඨමාලාවක් සහ මනෝ විද්‍යා පාඨමාලාවක් සම්පූර්ණ කරගත්තේ බෙහෙවින් අසීරුවෙන්.ඔන් ලයින් ඉගෙනුම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නත් ඒවා බේබි සමග අත් හදා බලන්නත් ඇය අමතක කලේ නැහැ.බේබිගේ පෙර පාසලේ සහායක ගුරු පත්වීමක් ලබා ගත් ඇය සිය අභිමානයද රැගෙන නිවසින් පිටව යන්නට තීරණය කලේ.
පාර ඉද්ද ගැසුවාක් සේ එක එල්ලයේ කොහේදෝ දුර ඈතක ගමනකට ඇයව කැඳවමින් තිබුණා.බබා ඉක්මනින් සිය පෙර පාසලේදී ඇය හමුවනු ඇති බවට සිතිවිල්ලත් සමග ඇය සිය අලුත් ගමනාන්තය වෙතට යාමට ත්‍රී රෝද රථයකට අත පෙව්වා.අලුත් බෝඩිමක්,අලුත් රැකියාවක් සමග ජීවිතයේ අලුත් ගමනක් යන්නට ත් පුංචි බේබි එහි සුවිශේෂ ඇරඹුම බව අමතක නොකරන්නටත් ඇය තමාටම ගිවිස ගත්තා.