එදා ඒ පිට වෙලා ආවට මම සති අන්තයේදී නුවර ගියා.හැම සති අන්තයකම නුවර ගිහින් අසංක වෙනුවෙන් කළ යුතු හැම යුතුකමක්ම ඉෂ්ට කරන්න මම අමතක කළේ නැහැ.ඔහු මට ආදරේ නොකළ නමුත් කිසිම යුතුකමක් අතින් ඉෂ්ට නොවූ මුත් අපි අතර නීතිමය බැඳීමක් තියනවා.එය ලෙහිලා යනතුරු මම ඔහුව කිසිම මොහොතක තනි වෙන්නට ඉඩ නොහරින්න තීරණය කළා.
මම නිවසින් පිටත් වෙලා ගියේ ජනවාරි මාසයක.අප්‍රේල් සිංහල අවුරුද්ද උදා වෙමින් තිබුණා.මම අවුරුදු සමරන්න නුවරට ආවා.ඒ තවත් සංක්‍රාන්ති දින කිහිපයක් බව ඒ වෙනකොට මට වැටහෙමින් තිබුණේ.
මාව මහනුවර ඥාතීන් වෙත තවමත් අලවා තබාගෙන හිඳින ප්‍රබලම පුරුක ඇගේ ජීවිතේ අවසාන දින කිහිපයට ළඟා වෙමින් හිඳින බවට අපිට වැටහෙන්න පටන් ගත්තා.
“අම්මාට හොඳටම අමාරුයි.”
පිළිකාව කියන්නේ ඒ වගේ සතුරෙක්.අපේ ජීවිතේ හිඳින වටිනාම මිනිස්සු උදුරා ගන්න පිළිකාවට දෙවතාවක් හිතන්න උවමනා නෑ.අපේ ජීවිතවලත් ඒ අසීරු දවස් එළඹෙමින් තිබුණා.
“අපි මේ පාර අවුරුදු අනිවාර්යයෙන් සමරන්න ඕන.මේ අම්මාගෙ අන්තිම අවුරුද්ද වෙන්න පුලුවන්.අපි එයාව සතුටින් තියන්න ඕන..”
මං එහෙම යෝජනාවක් ගෙනාවා.ඒත් ඒක පිළිගන්න කිසිම කෙනෙකුට ඕන වුණේ නැහැ.ඔවුන් සේරම අඬමින් දොඩමින් අම්මා ඉක්මනින් මිය යන නිසා වේදනාවට පත් වෙමින් කාලය ගෙවන්න පටන් ගත්තා.
“අපි දුකින් ඉන්නවා කියන්නේ අම්මත් දුකට පත් වෙනවා කියන එක අපි එයාගෙ අන්තිම මොහොතේ එයාට සතුටින් ඉන්න දෙමු..”
මම නිතරම මතක් කරා.මට ඇහුම්කන් දෙන්න කිසිම කෙනෙක් ලෑස්ති වුණේ නෑ.වේදනාවෙන් ඉන්න අම්ම වෙත මරණය ඉක්මනින් එනවට ඇත්තටම සොබාදහමට ස්තුතිවන්ත වෙන්න ඕන වුණත් හැමෝම කළේ අඬපු එක.යෝජනාවක් මත විවාහ වුණත් බොහොම ආදරණීය විදියට අවුරුදු ගණනාවක් හෙට ජීවිතේ බෙදා ගත්තු අප්පච්චිත් හිටියේ බොහොම සන්තාපයකින්.ඔහු මහ රෑට හීන්සීරුවේ අම්මාගේ ඇඳ ළඟට එනවා.ඇවිත් ඇස් පිය නොහෙළා ඇය දිහා බලාගෙන ඉන්නවා.
“අප්පච්චි මං මැරෙයිද බලනව මගෙ හිතේ..”
අම්මා එහෙම කියලා මාත් එක්ක හිනා වුණු මොහොතවල් අනන්තයි.ඒත් ඇත්තටම ඔවුන් දෙදෙනාට දෙදෙනා අහිමි වීම ගැන දෙන්නගෙම හිතේ කියාගන්න බැරි වේදනාවක් තියෙන්න ඇති.
අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න
මේ ගීතය නිතරම ඇහෙන ගීතයක්.තාමත් ඒ ගීය ඇහෙනකොට මට ඒ වියපත් ආදරවන්තයන්ගේ ආදරය සිහිපත් වෙනවා.මරණය දක්වා අත නෑර යන ආදරයක් ලැබෙන හැම ගැහැනියක්ම පුදුමාකාර වාසනාවන්තයි.අසංකගේ අම්මා එවැනි වාසනාවන්ත ගැහැනියක්.ඔවුන් දෙදෙනා සැබෑ ආදරයකින් සිටි ආකාරය ආදරයක් කිසිලෙසක නොවිඳි කාලයක පවා මම දැක්කා.පුතා ආදරය නොහඳුනන මිනිසෙකු වුණත් ඔහුගේ දෙමාපියන්ගේ ආදරය මගේ දෑසට සහනයක් අරගෙන ආව තැන් ඕනෑතරම්.
ඒ වාසනාවන්ත ගැහැනිය සිංහල අලුත් අවුරුද්ද පසුවී දින දෙකකට පසු සුර ලෝකයට යන්නට ගියා.ඇය සැබෑවටම යහපත් ආත්මයක් අයත් කරගත් යුතු අම්මා කෙනෙක්.මට සැබෑ මව්වත්කමක සුවඳ දුන් ඒ අම්මාගේ නික්ම යාම අදටත් මගේ ඇස් කඳුළින් පුරවනවා.ඇය තවදුරටත් වේදනා නොවිඳ නික්ම යාම සහනයක් වුණත් ඇගේ ඇසුර යළි ලබන්නට නොහැකි වීම සැබෑවටම වේදනාවක්.
“ඔයාව ආරක්ෂා කරන බලගතු ආත්මයක් ඉන්නවා.ස්ත්‍රියක්.එයා තමයි ඔයාව ඔය තරම් ආරක්ෂා කරන්නේ..”
කේන්දර සහ නොපෙනෙන බලවේග ගැන සත පහක විශ්වාසයක් නැති මට ඉතා මෑත කාලයේ දවසක එහෙම අනාවැකියක් අහන්න ලැබුණා.මම ඒ අනාවැකිය දෑතම ඔසවලා පිළි ගත්තා.ඒ අසංකගේ අම්මා! මට සැකයක් නෑ.එහෙම දේවල් සැබෑවටම විය හැකි නම් ඒ අසංකගේ අම්මාම තමයි.ඇය ඇගේ දරුවන්ටත් වඩා මට ආදරේ කළා.අපි දෙන්නා මහත් වූ ආදරයකින් එකට බැඳී හිටියා.නරක නපුරු නැන්දම්මලා ගැන මම දන්නා බොහෝ මිතුරියන් අප්‍රසන්න කතා කියද්දී මට ඒ සිරියාවන්ත මුහුණ මැවී පේනවා.ලෝකයේ ඉන්න හැම ලේලියට ම ලැබිය යුතු වන්නේ ඒ වගේ නැන්දම්මා කෙනෙක්.
ඇය සැබෑ ලෙසම දිව්‍යාංගනාවක් විය යුතු හොඳ අම්මා කෙනෙක්!
මගේ ජීවිතයේ එක්තරා පරිච්ඡේදයක් ඒ ආකාරයට අවසන් වුණා.