(අ)හිමි සිහින -201

ඊයේ ඔබ තබා ගිය අදහස් වලට ගොඩක් ආදරෙයි.ආදරණීය හිත් ලැබෙන්නේ පෙර පිනකට.ඒ හිත් කවදාවත් වෙනස්කරගන්නට එපා.මේතරම් කෲර විසකුරු නොමිනිසුන් පිරී ඉතිරී ගිය ලෝකයේ මේතරමින් හෝ සුන්දරව තියෙන්නේ ඔබ වැනි ආදරණීය හිත් ඇති ඒ අල්පයක් වූ මිනිසුන් නිසාමයි.

මේ කතාව දැනගන්නට ඔබ නොඉවසිල්ලෙන් ඉන්න බව මම දන්නවා මට දැනෙනවා.ඒත් මේතරම් කාලයක් මා සමග ආවා වගේ ඉතිරි දුරත් ඉවසීමෙන් යමු. ඔබට මේ කතාව කතාවක් ලෙස කියවද්දී මේතරම් අපහසුවක් වේදනාවක් තරහක් පිළිකුලක් දැනෙනවා නම් ගෙවුන සෑම තත්පරයකම ඒ කතාව තුල ඒ චරිත සමග ජීවත්වන්නට සිදුවූ මට මොනතරම් අපහසුතාවයක් වේදනාවක් තියෙන්නට ඇත්ද කියා ඔබට යම් අදහසක් ගන්නට පුලුවන් ඇති…ඉතින් අපි ඉතිරිකොටස් ඉවසීමෙන් කියවමු.ඔබ අසන්නට බලා ඉන්න තොරතුරු වැඩි ඈතක නොවේවි.

හැම දේටම මම ඉදිරිපත්වී කරන්නට මුල්වුනාට මගේ පිටුපසින් සිටියා මහ විශාල පිරිසක්.සුධාරකගේත් මගේත් ඥාතීන් හිතමිතුරන් විශාල පිරිසක් මා වචනයෙන් ක්‍රියාවෙන් ශක්තිමත්කරමින් ධෛර්යමත්කරමින් මා අසල රැඳී සිටියා. ඔහුගේ කුඩාකල සිට සිටි පන්ති සගයන් විශාල පිරිසක්ද ඒ අතර සිටියා.නමුත් අප කිසිවෙකුටත් සුධාරක වෙනුවෙන් පෙනී සිටින්නට අවකාශ තිබුණේ නැහැ.

ඔහුට ආදරය කල ඔහුගේ මිතුරන් සුධාරක බලන්නට දුර බැහැර සිට පවා පැමිණ රෝහල් ගේට්ටුව අසල දී හිස් අතින් ආපසු හැරීගියා.ඒ ඔහු බැලීම පවුලේ අය තහනම්කර තිබූ නිසා.සුධාරක ගේ මතකය අවදිකරගන්නට යතාතත්වයට ගන්නට ඔහු කැමති ඔහු ආදරය කල අය සහ පැරණි මතක සමග ඔහුට ඉන්නට සලස්වන්න යැයි වෛද්‍යවරු කීවත් එය ක්‍රියාත්මක වුනේ නැහැ.මම එතැන උන්නානම් මහසෝනා හෝ පැමිණ ඔහු සුවකරගන්නට යමක් කරනවා නම් එයට ඉඩදෙන්නට තිබුණා.

මා පොලීසියට පැමිණිලිකරන්නට තීරණය කල පසු මා අපට ලැදි අපේ හිතවතුන් මේ ගැන දැනුවත්කලා.එවිට සියලුදෙනා පැවසූවේ එය හොඳ බවත් අත්සන් හැකිතරම් එකතුකර පෙත්සමක් ඒ සමග ලබාදෙන ලෙසත්.ඒ සඳහා ඔහු ඉගෙනගත් පාසැලේ මිතුරන් රාජකාරියට සම්බන්ධ මිතුරන් විශාල පිරිසක් එක්වී අත්සන් කර ලිපි කිහිපයක් මට සකස්කර දුන්නා.

මේ කාලය වනවිට මා මගේ මේ අතින් සුධාරක ගේ ගැලවීම සඳහා ලියූ ලිපි කොපමණදැයි මට හිතන්නට බැහැ.ඡායා පිටපත් කර යවන්නට තිබූ ලිපි පවා මා මගේ අතින්ම ලිව්වා. එසේ ලිපි සියයකටත් වඩා මා එක් එක් ආයතන වෙත පුද්ගලයන් වෙත සුධාරකට අවශ්‍ය නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා ලියන්නට යෙදුනා.මීට දශක ගණනාවකට උඩදී ඔහුට දිගු පෙම් හසුන් ලියන විට ඔහු වෙනුවෙන් මෙවන් ලිපි ලියන්නට වේ යැයි මම සිහිනයන් හෝ සිතුවේ නැහැ.

පොලීසිය වෙත ලබාදුන් ලිපියේ මා පැහැදිලිව මේ සියලු දේ සඳහන් කර දැනට සිදුවෙමින් පවතින දේ ද සඳහන්කර එතැන සාපරාධී ලෙස මනුෂ්‍ය ඝාතනයක් සිදුකෙරෙමින් පවතිනබවටත් මට හා අවට විශාල පිරිසකට ඒ ගැන සැකසහිත බවටත් ඒ ගැන අපක්පෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසටත් ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කළා.

මේ පොලීසි ගමන යන්නට සුධාරකගේ නැගණිය අදිමදි කළත් මගේ බල කිරීමට ඇයට ද ඒ සඳහා ලිපියක් දෙන්නට සිදු වුණා.සහෝදරිය ලෙස ඇයට තිබූ අයිතිය ඈ නීතිය ඉදිරියට ගෙනාවානම් යම් බලපෑමක් කරන්නට තිබුණා.ඒත් හදවතේ තෙතමනයක් නැති අවස්ථාවාදී මිනිසුන්ගෙන් ඊට වැඩි යමක් බලාපොරොත්තු වන්නට බැහැ.

පොලිසියට ගොස් ඒ වැඩ එක්ක මම කාර්යබහුල වෙලා ඉන්න අතරේ පිළිකාවකින් පෙළෙමින් සිටි දිල්හානිගේ මව මිය ගියා.දුවගෙන් සැලකුම් ලබනවා තියා ඒ මාපියන්ගේ මරණයටවත් ඒ දියනිය පැත්ත පළාතක සිටියේ නැහැ.දිල්හානි සුධාරක වෙනුවෙන් දමා තිබූ බොරු නඩු සඳහා උසාවි ගානේ රස්තියාදු වුණේ ඇගේ මවයි.ඇය පිළිකාවෙන් පෙලෙන අතර ඇය බලන්නට සුධාරකත් මමත් රෝහලට පවා ගියා. දිල්හානිගේ පියා අංශබාග රෝගියෙකු ව සිටි හෙයින් දිල්හානි රටින් පලා ගිය පසුත් ඔහු රැකබලාගන්නට සුධාරක තබා තිබූ පුද්ගලයා ඔහු ඉවත්කලේ නැහැ. සුධාරක ගේ නිවස ඔහූට අත් කර ගන්නට හැකියාව තිබුණත් ඔහු ඔවුන්ට අනුකම්පා කර දිල්හානිගේ පියා මිය යනතුරු ඔවුන්ට සිය නිවසේ ඉන්නට ඉඩහැරියා.

මානුෂික සම්බන්ධතා හරි පුදුමයි. ඒවා හුදෙක් ඥාතීත්වයට පමණක් තිබෙන ඒවා වී ලෙයට හදවතට නොදැනෙන තැන මානුෂීය බැඳීම් සියල්ල බිඳ වැටෙනවා. දිල්හානි ගේ චරිතය මා විවේචනය කරන්නට අකමැති වූවත් එයින් ඔබට ඉගෙන ගතහැකි දේවල් බොහෝමයි.ගුප්ත ජීවිත ගත කරන්නන්ට හැමදාම ඒ රහස් සමග බියෙන් සැකෙන් ජීවත් වන්නට සිදුවෙනවා. එක බොරුවක් වහන්නට බොරු දහයක් පැවසුවොත් ඒ සියල්ල එලිවෙනවිට ඔබට අනිවාර්යයෙන්ම සමාජයෙන් හැංගෙන්නට සිදුවෙනවා.ඒ නිසා හැකි සෑම විටම හදවතට එකඟව වංචාවෙන් තොර ජීවිතයක් ගතකරන්න උත්සාහකරන්න.ඕනෑ කෙනෙක් දොස් කීවාට ඔබේ ජීවිතයේ සත්‍යය හමුවේ එයට මුහුණ දෙන්න.

දෙමව්පියන්ට නොසලකා ඔවුන්ගේ මරණයට වත් නොපැමිණි පාපය තවතවත් වැඩිකරගනිමින් ඇය සුධාරකටත් අහස පොලොව නුහුලන අපරාධයක් කරමින් සිටියා. මේවා කෙසේ සිදුවුනත් එකිනෙකාගේ කර්මශක්තිය විසින් අප රැගෙන යන තැන මේ යැයි අප කිසිවෙක් කලින් දන්නේ නැහැ.

මගේ දෙමව්පියන් පවා මාත් සුධාරකත් කර ඇත්තේ දෙදෙනාටම අසීමිතව ආදරය කරගැනීම පමණක් බව වටහාගත්තේ තනි ගැහැණියක ලෙස මා ඔහු වෙනුවෙන් ඔහු බේරාගන්නට කළ සටන් බලා සිටියාට පසුවයි. ඔවුන් ට සිටි එකම දරුවා මා වූ නිසාම හෝ ඔවුන්ට සුධාරක ගැන බොරු කියා ඔවුන් ඔහු ගැන අවිශ්වාස කරන්නට යෙදුණු නිසාම අපේ ආදරයට විරුද්ධ වූ ඒ දෙදෙනා දෙවන වතාවේදීත් එය තරයේ ප්‍රතික්ෂේප කළා.එහෙත් මමත් සුධාරකත් කවදාවත් ඔවුන්ට වෛර කලේ නැහැ.දෙමව්පියන් එහෙම තමයි.සුධාරක මගේ දෙමව්පියන් ඔහුගේ නිවසට ගෙන්වා සංග්‍රහ කරන්න ඔවුන්ට සලකන්න යැයි අනන්තවත් කීවා.

“මැණිකේ අනේ මගේ නැන්දම්මයි මාමණ්ඩියි මේ ගෙදරට ගෙන්නලා රස රස කෑම ටිකක් හදලා දෙන්නකෝ.එයාලට මෙහේ එන්න කියන්නකෝ”

ඔහු නිතර එසේ පැවසුවා.නමුත් සුධාරක කෙතරම් මගේ දෙමාපියන්ගේ නිවසට ගියත් ඔවුන් සුධාරකත් මාත් ජීවත් වූ නිවසට ආවේ නෑ. නමුත් එක් දෛවෝපගත දිනයක ඔවුන් මේ නිවසට ආවා.ඒ දිනය ගැන මම පසුව කියන්නම්.

මේ කෙතරම් අමනාපකම් තිබුණත් මම සුධාරක වෙනුවෙන් මාස ගණන් නොකා නොබී වෙහෙසෙන විට ඔවුන් මගේ කුඩා දියණිය රැක බලාගනිමින් මට ඒ වැඩකටයුතු වලට සහනයක් ලබා දුන්නා.ඔවුන් අපේ ආදරය ඒ කාලයේ කඩා බිඳදැමීම ගැන විස්සෝප වන්නට ඇති.

මේ කෙතරම් අමනාපකම් තිබුණත් මම සුධාරක වෙනුවෙන් මාස ගනන් නොකා නොබී වෙහෙසෙන විට ඔවුන් මගේ කුඩා දියණිය රැක බලාගනිමින් මට ඒ වැඩකටයුතු වලට සහනයක් ලබා දුන්නා.ඔවුන් අපේ ආදරය ඒකාලයේ කඩා බිඳදැමීම ගැන විස්සෝප වන්නට ඇති.නමුත් දැන් ඒ සඳහා බොහෝ ප්‍රමාද වැඩියි.ඒ තමා ඉරණම ලියැවී තිබූ ආකාර අපි සියලුදෙනාම මේ ගතකරන්නේ දැනටමත් ලියැවී ඇති අපේ ඉරණමේ ඉදිරිය නොදැනයි.ඒ නිසා කරන කියන හැමදේම මානුෂිකවත් හිතා බලා කරන්න.ඒ කිසිවක් වෙනුවෙන් දුක්වන්නට හෝ පසුතැවෙන්නට වත් කාලයක් අපට ජීවිතය විසින් ඉතිරිකරන්නේ නැහැ.

මම සුධාරක වෙනුවෙන් ගැහැණියකට දරන්න බැරි වගේම ගැහැනියකට උහුලන්නට බැරිතරම් දේවල් දරාගෙන වුවත් එක තත්පරයක් හෝ ඔහුව මගේ හදවතින් ගිලිහෙන්නට ඉඩ තැබුවේ නැහැ.එක දෙයක් වරදිනවිට තවදෙයක් යනුවෙන් මා දිගින් දිගටම ඔහු වෙනුවෙන් සටන්කලා.

දින සති මාස ගෙවෙමින් තිබුණා.ඒ වන විට සුධාරක අසනීප වී මාස අටක් මිය ගොස් නැවත ජීවය ලැබූවෙක් මේතරම් ගැටලු මැද යන්ත්‍රයකින් හා ස්වෝත්සාහයෙන් මාරුවෙන් මාරුවට හුස්මගනිමින් ජීවත් වූවායැයි කියන්නේ ඔහු මාරයා සමග තනිව මොනතරම් සටනක් කරන්නට ඇත්ද කියා ඔබට හිතාගන්නට පුලුවන් ඇති.තමා අවට තමන් අප්‍රිය කල තමා නොකැමති මූණු ම දකිද්දී තමා ආදරය කල තමා රැඳෙන්නට කැමති අය නොදකිද්දී ඒ ඇයිදැයි අසා දැනගන්නට වත් නොහැකිව ඔහු මනසින් විඳවන්නට ඇති තරම් මට නම් හිතාගන්න වත් නොහැකියි.

තුන්පට නූල් ගලවාගෙන ආ දිනට පසු කොරෝනා වසංගතය දැඩිව පැවති නිසා යුධ හමුදා රෝහල අමුත්තන්ට වසා තැබුණා.ඉබ්බා දියේ දැම්මවිට ඇන්නෑවේ කීවා සේ සුධාරක වදයක් ව තිබූ පවුලේ මිනිස්සු ඔහු බලන්නට යෑම අත්හැර හමුදාවෙන් ලබාදුන් රථයේ ඔවුන්ගේ ගමන්බිමන් යමින් සිටියා.ඒ අතරතුර කලාතුරකින් සුධාරකගේ මව රෝහලට යවා එය සාධාරණීකරණය කරගන්නට ද ඔවුන් ක්‍රියා කළා.

දිල්හානි සරණාගත කඳවුරක සිටියත් ඒ කාලයේ පසුවූයේ ඉතා සතුටින් බව පසක්කරමින් මට නොපෙනෙන සේ මා block කර තිබූ ඇගේ මුහුණුපොතේ ඇය විනෝද චාරිකා සහ සාප්පු සවාරි ගොස් දමා තිබූ ඡායාරූප ඇගේම අවට සිටි මිනිසුන් මට එවා තිබුණා. ඒවා දුටු මට ඇති වුණේ කෝපයක් නොවෙයි අප්‍රමාණ කලකිරීමක්.මෙවන් ගැහැනුන් කිසිදා විවාහය නමැති බැම්මෙන් නොබැඳිය යුතු යැයි මට සිතුණා.තමන්ගේ දහසක් වැරදි අඩුපාඩු වසාගන්නට කොහේවත් නැති ජීවිත ගනනාවක් විනාශයට ඇද දැම්මාට වඩා නොගැලපේ නම් අත්හැර දැමීම සුදුසු යැයි වටහාගන්නට වත් ඇයට හදවතක් තිබෙන්නට නෑ.ඇය වන් ගැහැණියකගේ සෙවණේ වැඩෙන ඒ ගැහැණු ළමයින් තිදෙනා ගැන විටෙක මට ඇතිවන්නේ අනුකම්පාවක්. ඔවුන් තිදෙනා අම්මාගේ අඩිපාරේ යමින් තවත් ජීවිත තුනක් විනාශ නොකරාවි යැයි අදටත් මම පතනවා.

ඔබට මේ ඉක්මනින් කියන විස්තර ගෙවන්නට මට සිදුවුනේ තත්පර පැය ලෙස දැනෙමින්.මම ශාරීරිකව කඩාවැටෙන්නට ඇති නමුත් මගේ මනස මා කඩා ඉහිරුවා ගත්තේ නෑ.ශරීරයෙන් ඔබ කොතෙක් වැටුනත් මනසින් වැටෙන්නට එපා.එය ඔබේ සතුරන්ට වාසියක් මෙන්ම ඔබේම කඩාවැටීමට හේතුවෙනවා.ඕනෑම දරුණු අවස්ථාවකට කලබල නොවී හොඳ සිහියෙන් මුහුණදෙන්න.ගැහැනියක ලෙස ඔබ එය ඉගෙනගතයුතුම දෙයක්.

තුන්පට නූල් ගලවාගෙන ආ දවසට මාසයකට පසු නැවතත් මට සුධාරක බලන්නට අවසරයක් මා ඔහුගේ උසස් නිලධාරියාගෙන් ඉල්ලා සිටියා

“සර් අනේ මට සුධාරකව බලන්න ඕනෑ”

මම සුධාරක බලන්නට ගියාද නැද්ද? ඒක අපි හෙට දැන ගනිමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles