“මට ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙනවද?”
බොහෝ ඉවසීමකින් යුතුව මම දෙනෙත්ට ඒ පණිවිඩය යැවීම්.ඉතා ඉවසීමෙනි.මා සතුව කිසිම ඉවසීමක් ඉතිරිව නැතැයි සිතන මොහොතක ය.
“මං ඔයාට හරි ආදරේකින් හිටියා.ඇත්තටම ඔයාට ඒක තේරුම් ගියා.ඔයා ඒක නොදන්නව වගේ ඉන්න උත්සාහ කළා.අපේ අයියා කියනව වගේ ඇත්තටම ඒකට කමක් නෑ.ඔයාට ගැළපෙන දේ තෝරා ගන්න ඔයාට අයිතිය තියනවා.ඔයාට කැමති කියලා හිතෙන කෙනෙකුට ආදරේ කරන්න ඔයාට අයිතිය තියනවා.ඒ නිසා ඔයා මාව ප්‍රතික්ෂේප කරාට මගේ තරහක් නෑ..”
දෛවයේ කුමක් හෝ තීරණයක් නිසාම ඔහුට යැව්වේ මගේ කටහඬ සහිතව ය.වොයිස් මැසේජයක් ලෙසිනි.ඔහු මොනවාදෝ ලියමින් හිඳින බව පෙනුණද මම තවත් හඬපටයක් ඔහුට යවන්නට පටන් ගතිමි.
“ඔයාට මට ආදරේ කරන්න බැරි එක ගැටලුවක් නෑ.ඒත් ඔයා මට ආදරේ නොකලට මං ඔයාට ආදරේ කර කර හැමදාම ඔයා ගැන හිත හිත ඉන්න ඕනෙද? මට ආදරය කෙනෙකුට ලංවෙනකොට ඇයි ඔයාට කේන්ති යන්නේ?”
මම එසේ යැව්වේ දෙනෙත්ට යමක් තේරුම් ගන්නට ඉඩ තබමිනි.ඔහු මට ආශිර්වාද කළ යුතු නොවේ.ඒවා බොලිවුඩයේ සිනමා සිත්තම් වල ඇති දර්ශන බව මම දනිමි.නමුත් ඔහු මගේ තීරණයට ගරු කර මගෙන් ඈතට වී සිටින්නේ නම් එය මට මහත් මානසික සහනයකි.
නමුත් දෙනෙත් ඒවා දැන සිටි මිනිසෙකු නොවේ.ඔහු අඩිය තැබුවේ වඩාත් ජරාජීර්ණ මාවතකට ය.
“සචිර බොහොම සන්තෝසෙන් ඔයාව අයිති කරගන්න නේද හදන්නේ? මාසේ ගෙදර දරුවෙක් වගේ අවුරුදු ගාණක් එහෙ හැදුණා.ඔයාගේ ප්‍රශ්නෙත් එක්ක සචිර අවුල් කියලා තේරුණාම තමයි මම ඒ ගෙදරින් යන්න තීරණය කළේ.හැබැයි ඒ ගෙදර මිනිස්සු මට තාමත් සලකන්නෙ එයාලගේ දරුවෙක්ට වගේ..”
ඔහු පවසයි.සචිර අයියාගේ අම්මා සැබෑවටම අනෙක් දරුවන්ටත් මව්වත්කම බෙදනා ගැහැනියක බව මට දෙනෙත් පැවසීමට අවශ්‍ය නොවේ. ඇය එවන් ගැහැනියකි.නමුත් ඇගේ ආදරය යොදා ගෙන දෙනෙත් කරන්නට සූදානම් වූයේ අතිශය නීච ක්‍රියාවකි.
“ඔයා දැන් මට එව්වෙ වොයිස් මැසේජස්..ඒවගෙ තියෙන්නෙ ඔයාගේ වොයිස් එක.ඔයාව හොඳටම දන්න ඕනෙම කෙනෙක් ඔයාගේ වොයිස් එක අඳුරගන්නවා..”
ඔහු ලියා එවයි.මට ඔහු කියන කිසිම දෙයක් නොවැටහිණ.
“ඔයා අවුරුදු හත අටක කෙල්ලක් කාලේ ඉඳලා සචිරගෙ අම්මා දන්නවා.ඉතිං එයා ඔයාගේ වොයිස් එක හොඳටම අඳුරනවා කියලවත් දැනගෙන හිටියේ නැද්ද?”
දෙනෙත් කරන්නට යන දේ අනුමාන කරමින් මම ගල් ගැසුණෙමි.දෑසින් කඳුළු පනින තරම් සිනාසෙන මුහුණු බර ගණනක් එවමින් දෙනෙත් විශාල ආයුධයක් මවෙත එවී ය.
“සචිර ජීවිතේ ඕන දෙයක් කරන්න කලින් ආන්ටිගෙන් අහනවා.ආන්ටිගේ ලේලි තෝරගත්ත කියලා සචිර ගිහින් ආන්ටිට අනිවාර්යෙන් කියලා ඇති.ඒ උනාට ආන්ටිගෙ ලේලි ආදරේ කලේ වෙන මිනිහෙක්ට කියන එක මේ වොයිස් ක්ලිප්ස් වල තියෙනවා.මම මේවා ආන්ටිට යවනවා..”
දෙනෙත් උමතුවකින් ආදරය කරමින් ජීවත් වූ දුර්වල හසරැලි කෙනෙකු අතීතයේ සිටි බව ඇත්තකි.ඇය ජීවිතය ගැන වඩ වඩාත් ධෛර්යය උපයා ගත්තේ ද දෙනෙත් නිසාම ය.ඔහු කරන තර්ජනය බාල බොළඳ දියාරු තර්ජනයක් ලෙස මිසක අන් අයුරකින් මට නොදැනිණ.අතීතයේ ජීවත් වූ හසරැලි නම් මේ මොහොතේ හඬමින් අයියාගේ තුරුලට වැදෙන්නට ඉඩ තිබිණ.එහෙත් මේ මොහොතේ මට කිසිදු බියක් නොදැනිණ.
“ඔයා ඒක කරල බලන්න.කිසිම ප්‍රශ්නයක් නෑ..”
දෙනෙත්ට මා හා සම්බන්ධ විය හැකි සියලුම අවකාශ අවහිර කර දමන අතර මම එ පමණක් ලියා යැවුවෙමි.දැන් ඔහුට මා හමු විය හැක්කේ අපේ ගෙදරට පැමිණීමෙනි.ඔහු එතරම් තීරණාත්මක ගමනක් එන්නට ඉඩ නොමැත.
තාක්ෂණය නිසා බොහෝ යුවතියන්ට ජීවත් වීම වෙනුවට මරණය තෝරා ගන්නට සිදුවන බව මම දනිමි.ප්‍රේමවන්තයා අතිශය විශ්වාස කර ඔහුට යවන ඡායාරූප ද වීඩියෝ පට ද පමණක් නොව කෙටි පණිවිඩ පවා ගැහැණු ළමයින්ට තමන්ගේ ආත්ම ගෞරවය අහිමි කරන තැන් ඕනෑ තරම් ය.මා දෙනෙත් ආදරය කළ බව සත්‍යයකි.ඒ ගැන ඔහු සාක්ෂි එකතු කර ගැනීම මට කිසිදු ගැටළුවක් නොවේ.ආදරය කියන්නේ ලෝකයේ ඇති ඉමිහිරි ම හැඟීම ය.ඒ හැඟීම ඔහු නිසා අත්විඳි බව ඔහුට පැවසීම මට කොතැනකවත් ලැජ්ජා වීමට කාරණාවක් නොවේ.මා ඔහු සමග බෙදාගත් පෞද්ගලික පණිවිඩයක් රට වටා රැගෙන යාම ගැන ඔහු ලැජ්ජා විය යුතු වුවත් මා ලැජ්ජා විය යුතු බවක් මට සිතෙන්නේ නැත.
දෙනෙත්!
ඔබ දුර්වල පන්දුවක් රැගෙන පිටියටට පිවිස අවසන් ය.නමුත් දැන් මම දුර්වල පිතිකාරියක් නොවේ.තරගයේ ජයග්‍රහණය කාටදැයි ඉතා ඉක්මනින් දැන ගන්නට අපට හැකි ය.
දෙනෙත්!
අවශ්‍ය නම් ක්‍රීඩාවට මම ද සූදානම් ය.