හසරැලි වැස්සේ -60

කඳුලැලි පිරි වළාකුළු අහස් ගංගාව පුරා ඉතිර පැතිර තිබෙන්නට ඇත්තේ හසරැලි වස්සානයක් ව පොළොවට කඩා හැලෙන්නට ය.අම්මා ක්‍රමයෙන් සුවපත් වූවා ය.ඇය තවදුරටත් රැකියාවට යන්නට පවා මැලිවන තරමට අපට බැඳෙන්නට පටන් ගෙන තිබිණ.

“රස්සාව නම් අතාරින්න ඕන නෑ අනෝමා.ඔයා ආසාවෙන් කරපු රස්සාවනෙ.”

තාත්තා ඇයට පැවසුවේ ආදරයෙනි.ඔහු තමන් රැකියාවක් කිරීම ගැන මහත් සේ උරණ වන බවත් අම්මාගේ අධ්‍යාපන සුදුසුකම් විෂයෙහි ඊර්ෂ්‍යා සහගත බවත් අතීත දවසක අම්මා පැවසූ අන්දම මට සිහි වේ.ඒ සියල්ලම ඈ සිතින් මවා ගත් කාරණා බව දැන් පැහැදිලි ය.

“කෙනෙකුට ජීවිතේටම එක මනුස්සයෙක්ට ආදරේ කරන්න විතරයි පුලුවන් කියල මං හිතන් හිටියෙ.”

මම අයියා සමඟ පැවසුවේ එක් හැන්දෑවක ය.

“ජම්බු ගහෙන් වැටිලා අවුරුදු තුන හතරක් නෑ.මේකගෙ ලව් ටෝක්ස් බලහංකො.”

ඔහු මහ හඬින් හිනැහී මගේ කනකින් ඇද්දේ ය.අයියා මට සරදම් කිරීම ටික කාලයක් සහමුලින්ම නැවතී තිබුණු බව මට වැටහුණේ ඒ මොහොතේ ය.මා සිනාව වෙනුවට වේදනාව තෝරා ගත් පසු ඔවුන් මට සැලකුවේ වඩාත් ප්‍රවේසම් සහගතව ය.

“එහෙම නෑ සූකිරි.අපි නවතින්න ඕන අපේ ඉරණම ලියවුණු තැන.අම්මට මට ඔයාට ඔක්කොටොම එච්චරයි..”

මට ඒ අතර වෙනත් ප්‍රශ්නයක් හට ගති.

“අයියේ,ඔයා කවදහරි මැරි කරාමත් මම්මා අපි ගාව ඉන්නව නේද?”

අයියා මදෙස විමසුම් නෙතකින් බැලුවේ ය.මම්මා අපේ නිවසේ අම්මා වී දැන් වසර ගණනාවක් ගෙවා තිබේ.ඇය නොසිටියානම් අපට සමහර තැන් ගෙවා ගැනීම බොහෝ අසීරු වන්නට පවා තිබිණ.දැන් අපට අම්මා ලැබී තිබේ.මම්මාට ඇගේ ස්ථානය අහිමි වූ බවක් මට දැනෙන්නේ ඒ නිසා ය.

“මම්මා නැති ලෝකයක් අපට තියනවද?’

අයියා මගෙන් එසේ ඇසුවේ ය.සැබෑවකි.අනෙකුත් දරුවන් අම්මා සොයා නිවසට එද්දී අප නිවසට ආවේ මම්මා සොයමිනි.රාත්‍රියේ සිහිනයෙන් බිය වූ විට අප කොට්ටය ද රැගෙන ගියේ ඇගේ තුරුලට ය.
ඒ නිසා ඇය අතැර දැමීම හෝ ඇයගෙන් ඈත් වීම අපට දිවි ඇති තෙක් කළ හැකි වෙතැයි මම නොසිතමි.

“මං කවදහරි මැරි කරාම මම්මාව මං එක්ක යනවා..”

මම එසේ පැවසුවේ හදවතින් උපන් හැඟීමෙනි. අයියා උස් හඬින් හිනැහී මදෙස බැලී ය.මට ලැජ්ජාවක් ඉපදිණ.

“මැරි කරන්න.ඔව් මටත් ආරංචියි..”

අයියාට ආරංචි වූයේ කුමක්දැයි සිතමින් ළතැවෙන මොහොතේ මගේ දෙකම්මුල් රත් පැහැ වන්නට ඇත.අයියාගේ සිනාව වඩාත් පුළුල්ව නැගී එන්නට විය.ඒ දෙනෙත් ගැන දැනගත් මොහොතේ මුහුණට ආ බැරෑරුම් රැලි නොවේ.

“මොනවද අනේ..”

අයියාගෙන් දේවල් සැඟවීම අපහසු ය.ඔහු මගේ එක් බැල්මකින් බොහෝ දේ ග්‍රහණය කරගන්නට හපනෙකු බව මා නොදන්නවා නොවේ.දෙනෙත් ගැන සිහිනයක රැඳී එහි ගැලී සිටි මා ඉන් මුදවා ගන්නට අයියා කෙනෙකුගේ සැර ස්වරූපයක් රැගෙන මට තරවටු කරන්නට ඔහු ක්‍රියා නොකළේ ය.නමුත් ඔහු මා කෙරෙහි වඩා සැලකිලිමත් ව මා ඉන් විඳින පීඩා ගැන බොහෝ තැවුණු බව පැවසුවේ නිර්මාණි අක්කා ය.

“හසරැල් ඒ ප්‍රශ්නෙදි හරියට අවුල් වෙලා ඉන්නේ දෙනෙත් එයාගෙ යාලුවා නිසා..”

නමුත් එය අයියාට ළතැවීම පිණිස නොවන බව මා කියද්දී අක්කා පැවසුවේ වෙනත් යමකි.

“නංගිලා ඉන්න ගෙවල්වලට ගොඩක් කොල්ලො යාලුවන්ව වද්දා ගන් නෑ බබා.මොනව වුණත් කොල්ලන්ගේ හැටි දන්නේ කොල්ලොනෙ.ඒ නිසා වෙන්න ඇති.ඒ වුණාට ඉතින් හසරැල් එහෙම කරේ නෑනේ.එයා යාලුවන්ව ගෙන්නා ගත්තා.දැන් ඉතින් එයාටම දුකයි.”

නමුත් වරද ඇත්තේ මගේ ය.අයියාගේ මිතුරන් දෙදෙනාගෙන් මා කෙරෙහි සැබෑ ප්‍රේමය තිබු තරුණයා මඟ හරින්නට තරම් මම ඒකපාර්ශවික ප්‍රේමයකින් අන්ධ වූයෙමි.ඒ සිදුවීම තුන් යහළුවන් දෙපසට වෙන් කරන ලද සිදුවීමක් වන්නට ඇත්තේ ද එනිසා ය.

මෝටර් රථයක නළා හඬ මගේ සිතුවිලි අහුර බිම දැමී ය.අයියා එදෙස බලද්දී මම ද ඔහු අනුව විපරමට ගියෙමි.

ඒ සචිර අයියාගේ අම්මා ය!

දෙනෙත්ගේ තර්ජනය මගේ දෙසවන්හි දෝංකාර දෙන්නට ගත්තේ එවෙලෙහි ය.ගැහෙන අතකින් අයියාගේ අත අල්ලා ගත් මම ඊළඟට සිදු වන්නට යන්නේ කුමක්දැයි සිතමින් සසැලෙන්නට පටන් ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles