ආදරය සහ විවාහය කියන කාරණා තව දවස් කිහිපයකට මගේ කතාව ඇතුළේ ඔබට කියවන්න වෙන එකක් නැහැ.දහතුන් හැවිරිදි දැරියක් හිතුමනාපෙට ඉලන්දාරියෙකුට ලියුමක් ලියලා ඔහු එක්ක හාදකමක් ඇති කරගත්තු තැන ඉඳන් ඔහුගෙන් වෙන් වුණු තැන දක්වාත් සැහැල්ලුවෙන් ජීවත් වූ ගෑනු දරුවෙක් කසාදයක් බැඳලා මහා බර කන්දක් ඔලුවේ තියන් සත් අවුරුද්දක් ජීවත් වුණු හැටිත් දවස් ගාණක් ඔබ කියෙව්වා.
“ඉතින් අපිට මේ කතාවෙන් ගන්න තියෙන්නේ මොනවද?”
සමහරු සමච්චලේට අහන හැටි සහ ඒවාට ස්මාර්ට්ලේඩි කණ්ඩායම සීරුවෙන් උත්තර දෙන හැටි මම බලාගෙන හිටියා.ඇත්තටම ඉතින් කතාවෙන් ගන්න තියන දේවල් ඉස්සරහට එන බව දැනගෙන හිටියේ අපි දෙපාර්ශවය නිසා.කාන්තාවන් සවිබලගන්වන්න ඩිජිටල් මාධ්‍යයේ ප්‍රමුඛතම තැනක සවිමත්ව නැගී ඉන්න ස්මාර්ට්ලේඩි වෙබ් අඩවිය ආදර්ශයක් දිය නොහැකි ගැහැනියක් නොවුණානම් මගේ කතාව කීයටවත් ඔබට නොකියන බව මම දන්නවා.
ඉතින් දැන් මගේ ෆීනික්ස් කිරිල්ලක වීමේ කතාව ඔබට අහන්න පුලුවන්.
මම කොළඹ ප්‍රමුඛතම තරුපහේ හෝටලයකට පත් වීම ලැබුවා.මගේ මුල්ම වැටුප තුන්දහස් පන්සියයක්.ඒ කාලේ හැටියට මාර සල්ලියක් කියන්නත් බෑ.මේ මීට අවුරුදු පහළොවකට දහසයකට කලින් කාලයේ කතාවක්.ඒ කාලේ අපිට වැටුප ලැබුණේ “පඩි පැකට්” විදියට.ආයේම විවාහයක් ගැන තුන් හිතකවත් නොතිබුණත් මම ඒ හැම පඩි පැකට් එකකම කවරය ප්‍රවේසම් කරගත්තා.
“කවදහරි දරුවෙකුට හරි කාටහරි පෙන්නන්න ඕන..”
දැන් බොහෝ තරුණ ළමයින්ගෙ මූලික වැටුපම ඒ වගේ පස් ගුණයක්වත් වෙනවා.ඉතින් එහෙම තමයි.කාලය ගලා යනවා.දේවල් වෙනස් වෙමින් ඉදිරියට යනවා.
මම උදේ ඉඳන් රෑ වෙනතුරුම රැකියාවේ යෙදෙනවා.මට අනිත් අයට වගේ තිතට ඔෆ් වෙන්න ඕනෑ වුණේ නැහැ.ඒකට හේතුව රස්සාවට තිබුණු මාරම මාර ඇල්ම ම නෙවෙයි.ගෙදර ගියා කියලත් මොනවා කරන්නද? පාළුව පිරුණු ජීවිතේ මට රස්සාව කියන්නේ තිබුණු හොඳම සහනයට.මම කළයුතු හැම වැඩක්ම නිමා කරලා පහුවදා උයමන් වලට අවශ්‍ය ද්‍රව්‍ය පවා සකසමින් තිතට හැමදෙයක්ම අහවර කරනවා.ඊටත් පස්සේ මම නාගෙන පිරිසිදු වෙලා ගෙදරට එන්න පාරට එනවා.එකසිය තිස් අට පාරට ඇවිත් බස් එක ගන්න පුලුවන් වුණත් මම පිටකොටුවටම යනවා.ගිහින් නිදහස් බස් එකකට ගොඩ වෙලා දවසේ මහන්සිය අමතක කරන්න මගේ විනෝදාංශය තෝරා ගන්නවා.
මගේ රැකියාවට ගිහින් මාස කිහිපයකින් මම මගේ පළමුවැනි ජංගම දුරකථනය මිලට ගත්තා.දැන් වගේ මහ වැඩ ගොඩක් ඒ කාලේ කරන්න බෑ.ඇපල් ජංගම දුරකථනයක් වුණු ඒ ෆෝන් එකෙන් මට තිබුණු ලොකුම ප්‍රයෝජන තමයි රේඩියෝ ඇසීම සහ ගේම් ගැසීම.නෑ නෑ! එහෙම ගේම් නෙවෙයි.ජංගම දුරකථන ක්‍රීඩා මගේ මනස හරියට නිදහස් කරා.මම බස් එකේ අසුනකට බර වෙලා රේඩියෝ එක අහගෙන ගේම් ගහ ගහ ගෙදර යනවා.මට මාව හොයලා දුන්නේ ඒ වෙලාව.මගේ හිතේ තිබුණු පාළුව සහ තනිකම නැති වුණේ ඒ වෙලාවට.
මහා තනිකමක් දැනුණත් මම ඒ හැඟීම වාවාගෙන මගේ ජීවිතය ඔහේ ගලාගෙන යන්න ඉඩ හැරියා.මේ රැකියාවෙන් මම උපයා ගන්න ඕනෑ දේවල් මොනවද මම තවතවත් ස්ථාවර වෙන්න කළ යුතු මොනවද කියලා මම හිතන්න පටන් ගත්තා.
ඒ වුණාට සමාජය මගේ ඒ මානසික නිදහස තියාගෙන ඉන්න දුන්නා කියලා ඔබ හිතනවද? දික්කසාද තරුණ කෙල්ලෙක්ගෙන් අහන්න මොනතරම් දේවල් සමාජයේ මිනිස්සුන්ට තියනවද!!