“මං ඔයාට දෙයක් කියන්න හිටියා.ඒක කියන්න කාලේ තාම ආවේ නෑ කියල හිතුණාමත් මං මෙහෙට එන එක පරක්කු උනා කියල මට හිතෙනව..”
ඔහු ඒ කියන්නට යන දේ මම නොදැන සිටියා නොවේ.එහෙත් ඒ කාලය සැබෑවටම පැමිණ නැති බව මට ද සිතිණ.මා තවම දෙගිඩියාවක ය.බිළිඳු වියේ පටන් අහිමි වූ අම්මාගේ ආදරය ගැන තවම තැවෙමින් ය.මට ඒ නිසාම කුමක් හෝ හිස්බවක් දැනෙමින් තිබිණ.
“නංගිට මම කතාවක් කියන්නද?”
සචිර අයියා මගෙන් හදිසියේ ඇසුවේ ය.මම හිස සැලීමි.ඔහු කොහොමටත් කතා කරන දේ බොහෝ රසවත් ය.නමුත් ඔහු මෙවෙලෙහි පැවසුවේ රසවත් දෙයක් නොවේ.
“මගේ කසින් අක්කෙක් හිටිය.පවුලෙ ඔන්ලි චයිල්ඩ්.එයා ජීවත් වුණේ අම්මගෙයි තාත්තගෙයි රූකඩයක් වෙලා.එයාට ඇත්තටම අම්මලා ගොඩක් ආදරේ කළා තමයි.හැබැයි අම්මටයි තාත්තටයි දුක නොහිතෙන්න තමා එයා එක්සෑම් වුණත් පාස් වුණේ.මැරි කළාට පස්සේ ඒ අක්කා එයා ඉන්නෙ සතුටින් කියල ගොඩක් ලොකුවට පෙන්නුවා.ඇත්තටම එහෙම සතුටක් නෑ කියල මට මොකක්දෝ එකකට හිතුණා..”
අපේ අම්මා අඩුවැඩි වශයෙන් හිඳින ඒ කතාවේ තැනක මා ද ඇතැයි මම සිතුවෙමි.අම්මා දිනා ගැනීම වෙනුවෙන් මම මේ මොහොතේ පවා ජීවිතයේ සමහර තැන් කැප කරන්නට තීරණය කර ඇත්තෙමි.
“සමහර වෙලාවට අපි හුඟාක් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ට්‍රයි කරනවනම් එතන මොකක්ම හරි අවුලකුත් තියනව සූකිරි..”
එය මට වඩාත් තදින් දැනිණ.එය මට ද අදාළ කතාවකි.මා සමහරවිට උස් හඬින් හිනැහෙන්නේ හඬන්නට නොහැකිකමට ය.
“ඊටපස්සේ ඒ අක්කගෙ තාත්තා,මගේ මාමා නැති වුණා.මාමගෙ අවසන් කටයුතු වෙලාවේ අක්කා මාමාට ලාස්ට් කිස් එක දීලා කියපු කතාව මට හොඳටම ඇහුණා..”
මේ මොහොතේ තාත්තාගේ මෝටර් රථය ගේට්ටුවෙන් මෑත් වන්නේ නම් හොඳ බව මම සිතන්නට ගතිමි.තාත්තෙකු නැති ජීවිතයක් දියණියකට මොනතරම් අසීරුදැයි කියන්නට තබා සිතන්නටවත් නොහැක.
“අක්කා කිව්වේ,තාත්තේ මං ඔයාගේ සතුටයි හිතේ සාමෙයි නිසා හිත ඇතුළෙන් දුක් වින්දා.ලෝකෙට සෑහෙන දේවල් හැංගුවා.මෙතනින් පස්සෙ මං එහෙම වෙන එකක් නෑ කියල..”
ඊට ඉතා මෑත කාලයකට පසු ඇය සැමියාගෙන් දික්කසාද වූ බවත් රට අතැර යන්නට ගිය බවත් සචිර අයියා හෙළි කළේ ය.ආදරය ඇති සැබෑ තැන ද ජීවිතයට සැබෑවටම උවමනා දේ ද ඇයට හමුව තිබිණ.ඇය හිඳින්නේ සැබෑ සතුටක බව ඔහු මට පෙන්වූ ඡායාරූපයක් දෙස බලමින් මම ද සිතීමි.
“අපි ගන්න තීරණ ලෝකෙට ඕනෑ තීරණ වුණාම හරිම අමාරුයි.”
සචිර අයියා උද්‍යාන බංකුවෙන් නැගී සිටියේ එසේ කියමිනි.ඉනික්බිතිව ඔහු සුපුරුදු ලෙසම මගේ නළලට දබරැඟිල්ලෙන් තට්ටුවක් දැමී ය.
“මං ඔයාට ආදරේ කළා.ඇත්තටම ඒක අතීත කාල වාක්‍යයක් නෙවේ..මං මේ දැනුත් ආදරෙයි.ඔයා ආදරේ දෙනෙත්ට කියල දැනගෙනත් ඒක එහෙමම තිබුණා.හැබැයි මම දැන් පොඩ්ඩක් නැවතිලා ඉන්නෙ..”
ඒ දෙනෙත් ඇති කළ කුණාටු හන්දා බව මට සිතිණ.නමුත් එය එසේ නොවේ.කලබල නොවී ඉවසිලිවන්ත ලෙස කතාවේ යෙදෙන සචිර අයියා තවත් දෑ පැවසී ය.
“ජීවිතේ කිසිම වෙලාවක අනිත් අයට ඕනෑ තීරණ ගන්න වෙන් කරන්න එපා.අංකල් ,ආන්ටිලා,හසරැල් මට කැමති නිසා මාව තෝරා ගන්න එපා.දෙනෙත්ට රිද්දන්න තියන හොඳම පාර මාව තෝරා ගන්න එක කියලා උවනිලා කියන කතා විශ්වාසෙට ගන්නත් එපා.ඔයා තීරණය කරන්න..”
ඔහු මගෙ හිස මත බරක් තබා පිටව යන්නට සැරසුණේ ය.නමුත් එය බරක් නොව බර බිමින් තබනා මොහොත බව මට වැටහුණේ ඊළඟ වචන කිහිපය නිසා ය.
“අපි තීරණ ගන්න ඕන අපිට ඕන හින්දා විතරයි හසරැලි.අපිට ඕන හන්දා විතරමයි..කාලයක් යනකොට ඒක මොනතරම් වැරදි තීරණයක්ද කියන රිදවිල්ල දැනෙන්න ගත්තොත් ජීවත් වෙන එක පුදුම තරම් අමාරු වෙනවා.