හැන්දෑවේ කට්ටිය සූදානම් ව හිටියේ සාද දමන්නට යන්නට ය. ඒ නිසා ම කලින් වැඩ නිම කොට වොෂ් රූම් එකේ වැඩි වෙලාවක් ගත කරමින් කොණ්ඩා පීරන්නටත් පවුඩර් දමන්නටත් වූහ. අමාරසී ගේ නම් හිතේ තිබුණ සැහැල්ලුව ද බිඳී විසිරී ගොස් තිබුණේ ය. ඇය ඒ බවක් දිලිනි ට හෝ ඇඟවූයේ නැත. පුරුදු සිනහවෙන් කොල්ලන්ට විහිළු කරමින් සිටියා ය.
“චිකන් ඩෙවල් එකක් අරං එනව හරිද…හෙට අපිට කන්න”
ඇය නිරෝෂන් ට නෝක්කාඩු කීවා ය.
“බොස්ට කියහං”
“මොනාද…”
ඔවුන් සිටියේ කාර්යාල පරිශ්‍රයෙහි පිටත ය. දිසත් ගිනුම් අංශයෙන් පිටතට පැමිණියේ එතකොට ම ය. ඔහු ට අමා කී කතාව ඇසී තිබිණ.
“අ…නෑ මිස්ට දිසත්..මුකුත් නෑ”
ඇය නිරෝෂන් ට සිනහවෙන් ම රැවුවා ය.
“මේකිට ඩෙවල් එකක් ගෙනත් දුන්නැත්තං අපිට බඩේ අමාරු හැදෙයි බොස්”
යොහාන් ගේ යතුරු පැදිය නතර වෙනවා අමාරසී දුටුවේ ඒ වෙලාවේ ම ය. ගිනි බෝලයක් වගේ දෙයක් එක් වන පපුවෙන් පැන නැගිණ. ඊට හේතු හොයන්නට අවසර තමන්ට වුව නැති බව යටි හිත විසින් කොඳුරා කියන ලදී.
“මං යනව”
යි කියා ගෙන ඇය පඩි පෙළ බැස යොහාන් වෙත ගියා ය. ඔහු ඇය වෙතට හෙල්මට් එක දෙන හැටි පඩි පෙළ ඉස්මත්තේ හිඳ දිසත් බලා සිටියේ ය.
“අඩෝ රසීට කොල්ලෙක් ඉන්නවද බං…නෑ කිය කියනෙ හිටියෙ”
නිරෝෂන් හඬ ගෑවේ ය.
“අයිය කෙනෙක් ඉන්නව නේද…පොර ද දන්නෑනෙ”
දමින්ද කීවේ ය. කලිසම් සාක්කු දෙකෙහි අත් දෙක ඔබා ගත් දිසත් පඩි බහින්නට කකුලක් පෙරට තැබුවේ ය.
“යං නේ…”
කොල්ලෝ ටික පොල් පැටවූවා සේ දිසත් ගේ රියෙහි පැටවුණහ.
උගුරෙහි වියළි ගතියක් අමාරසී ට දැනිණ. නමුත් යොහාන් නිකමට හෝ ‘තිබහද’ කියා ඇසුවේ නැත. එසේ ඇසුවේ වී නම් වතුර බෝතල හතර පහක් හිස් කිරීමේ හැකියාව ඇය වෙත විය.
“වෙඩින් එකයි හෝම් කමින් එකයි කියල දවස් දෙකකට වියදං කරන්න ඕන නෑ රසී. ඔය දවස් දෙකේම එන්නෙයි කන්නෙයි එකම කට්ටියනෙ. ඒක නිසා කියන්න තියන හැමෝටම කියල අපි එක දවසක වෙඩින් එකක් ගමු. ඕන්නං ගොයිනවේ එකක් අඳින්න පුළුවන් නෙ රතු පාටින්”
යොහාන් සිය උත්සව සැලැස්ම හෙළි කළේ ය. අමාරසී, මුවට නැගෙන්නට ආ සිනහව ඇතුළත ම තියා ගත්තා ය.
“එතකොට අපි දෙන්නට පුළුවන් නෙ ඔක්කොම වියදං දෙකට බෙදා ගන්න”
අමාරසී අතින් කට වසා ගත්තා ය.
“ඇයි…”
“නෑ. මං හිතුව ඔයා කියන්න යන්නෙ ඔක්කොම වියදං එතකොට ඔයාට දරා ගන්න පුළුවන් කියලයි කියල”
ඔහු සිනහවක් පෑවා විතර ය. ඒ වෙලාවේ අජිත් ද ගෙදර සිටියේ ය. ඔහු විටින් විට කාමරයට ගොස් කට පිස දමමින් පැමිණේ. වරින් වර යොහාන් ගේ කතා වලට අජිත් කට දමත්දී නිර්මලා ගේ ඇඟේ ලේ වතුර වෙමින් තිබිණ.. නමුත් තාත්තා කියන්නේ ඇත්ත බව අමාරසී නම් දැන සිටියා ය.
“බැඳල ටික කලකින් අස් වුණානං අපිට පුළුවන් ඔයාගෙ ඊටීඑෆ් එක විතරක් නෙවෙයි ඊපීඑෆ් එකත් ගන්න”
යොහාන් එහෙම කියත්දී අමාරසී ට බැලුණේ තාත්තා දෙස ය. අජිත් අත් දෙක ඉණේ ගසා ගෙන සිටියේ ය..අමාරසී බිම බලා ගත්තා ය.
“ඈ ඕයි නිර්මලෝ…පබා කොහෙන්ද මේ හාදයව හොයාගෙන තියෙන්නෙ…”
යොහාන් නික්ම ගිය පසු අජිත් හඬ නගා නිර්මලා විමසුවේ ය. මුළුතැන්ගෙයි සිට වේගවත් ගමනෙන් විත් සාලයට කර පෙවූ ඇය ඔහු ට රවා නැවත ඊට ද වැඩි වේගයෙන් නික්ම ගියා ය. යහනට වැටී ඇස් පියා ගත් අමාරසී ට තාත්තා තව මොන මොනවාද කියවනු ඇසුණේ ය.
උදේ ම නිරෝෂන් අමාරසී වෙත පාර්සලයක් ගෙන ආවේ ය.
“ඔන්න බොස් උඹට දෙන්න කිව්ව. කට්ටියත් එක්ක බෙදං කන්න කියල..චිකන් ඩෙවල්”
“ආ…මාව මතක් වෙලා නේ කට්ටියට”
අමා ගේ මූණේ පිපුණ සූරියකාන්ත මල් සිනහව දෙස දිසත් බලා සිටියේ ය. ඒ සිනහවත් එක්ක ම ඔහු ගේ දෙතොල් ද මඳහසකට ඇද විය. අමාරසී ෆයිල් එකක් ද උස්සා ගෙන වීදුරු කුටිය තුළට ගොස් දිසත් ට ‘තැන්කූ’ කීවා ය.
“ඉඳගන්නකො”
කියා ඔහු ෆයිල් එකට මූණ ඔබා ගෙන කාලය ගත්තේ ය.
“බෝයි ෆ්‍රෙන්ඩ්ද ඒ..”
ටික දිනක සිට හුරු පුරුදු දැවීමක් අමාරසී ගේ උගුරේ සිට ආමාශය දෙසට ද පෙනහලු දෙසට ද බෙදී යන බවක් ඇය ට දැනිණ. මේ ගින්දර නිසා කිහිප වරක් ම දැන් ළඟ ළඟ ම පපුව තැම්බී තියේ. ඕ සන්සුන් සිනහවකින් බිම බැලුවා ය.
“බෝයි ෆ්‍රෙන්ඩ්…ඒ වචනෙනං හරිද මන්දා…ෆියොන්සෙ…එහෙම කියමු”
“ඒ කියන්නෙ…ප්‍රපෝසල් එකක්…”
“හ්ම්…”
“ඇයි…”
“ඇයි කිව්වෙ…”
“ඔයා…ප්‍රපෝස්ඩ් මැරේජ් එකකට කැමති වුණේ…”
“අනේ මන්ද”
ඇය දිසත් ගෙන් ඇස් සඟවා ගත්තා සේ ය. හරි නම් කිව යුතු වූවේ කැමති වූවා නොව එකඟ වන්නට සිදු වූවා කියා ය. නමුත් ඒ තරමට පෞද්ගලිකත්වයට අදාල කාරණයක් ඔහු වාගේ කෙනෙකු සමගින් පැවසීමේ අවශ්‍යතාවයක් නැතැයි වහා ම ඇය තීරණය කළා ය.
කියන්නට දේවල් මහා හුඟක් දිසත් ගේ හිත ළඟට ඇවිත් පෙළ ගැසිණි. විවාහ ජීවිතයක් කියන්නේ විශ්ව විද්‍යාලයේ අන්තිම වසරේදී හෝ ඔහු සිතා ගෙන සිටි දේ නොවේ. එය මොන තරම් සංකීර්ණ සිතිවිලි, හැඟීම් හා සිදුවීම් සමුදායක් ද කියා තේරුම් යන්නට ගත්තේ විවාහයට ටික කලක් ගෙවෙන්නට ගත්දී ය. හරියට එය මී ගුලක් වාගේ දෙයකි. එළියේ ඉන්නා අය ඇතැළට රිංගා ගන්නට ම තැත් කරති. නමුත් ඇතුළේ ඉන්නා අය එළියට එන්නට විදිහක් නැතිව විඳවනා තරම ඔවුන් දන්නේ නැත.
විශ්ව විද්‍යාලයේ දී කේෂි පෙන්වූ ආදරය සැබෑවක් ද ව්‍යාජයක් ද කියා දැන් නම් සිතා ගන්නට හෝ නුපුළුවන. බොහෝ දුරට එය ආකර්ෂණයක් පමණක් වන්නට ඇතැයි දැන් දැන් දිසත් ට සිතේ. ආකර්ෂණය කියන දේ පවතින්නේ යමක් තමන් සතු කර ගන්නා තාක් කල් පමණි. සතු වූ පසු ඒ දේ ගැන තිබූ ලෝභී සිතිවිලි ක්ෂය වී යාම ලෝක ධර්මතාවයකි. කේෂි ට වූයේ ද එයයි.
නමුත් විවාහය කියන සැබෑව තුළ වන යථාව අවබෝධ කර ගත්තේ වී නම් විවාහය යනු තිත්ත අබිං කෑමක් නොවන්නට පුළුවන් යයි ඔහු තවමත් සිතයි. ආදරය ක්ෂය වී යන හිතට ගෞරවය හෝ පිරෙන්නට හැරිය හැකි නම් එතැන බැඳීමෙහි බිඳීමක් නොමැති ව පවත්වා ගත හැකි වනු ඇත.
“මිස්ට දිසත්”
අමාරසී කතා කරත්දී දිසත් හිටියේ හිතෙන් දුර ගොස් ය. “ම්..” කියා ඇදෙස බැලූ ඇස් වල ලොකු කැළඹීමක් තිබිණ.
“හරි අමා. ඔයා යන්න”
ඔහු පපුව පත්ලෙන් ම සුසුමක් හෙළුවේ ය. ඒ සුසුමින් සුළි සුළඟක් මවා ගැනීමේ හැකියාව අමාරසී ට තිබිණ. ඔහු කැදලි හැදූයේ සුළං කපොල්ලක බව ඇය ට කියා තේරුමක් නැති බව දිසත් සිතුවේ ය.
“මිස්ට දිසත් ගෙ ෆැමිලි ලයිෆ් එකේ මොකක් හරි අවුලක් තියෙනව වගේ. මට දැනෙන හැටියට එයා ඉන්නෙ මොකක් හරි දුකකිං පපුව පුරෝගෙන”
කෑම විවේකයේ දී අමාරසී දිලිනි ට කෙඳිරුවා ය. යෙහෙලිය දෙස දිලිනි බැලුවේ ඇස් පුංචි කොට ය.
“දුක් ගන්නා රාළ කෙනෙක් වෙන්න යන්නනං එපා”
එය අසීමිත ආදරයක් තැවරී ගත් අවධාරණයකි. නමුත් අමාරසී ට තුනී ලැජ්ජාවක් දැනිණ.
“මට මුකුත් කිව්වෙ නෑ. මට එහෙම දැනුණා”
ඇයි දැයි නොදැනෙන හේතුවක් මත ඇය සංවේගයක අතරමං ව හිටියා ය. ගෑනු ළමයෙකු ගේ හිතක ආදරයක් ගැන හීන බලාපොරොත්තුවක් ඇති වන්නට ගන්නේ කවදා දැයි ස්ථිර ව කිව නො හැකි ය. කැමති විදිහේ පිරිමියෙකු ගැන බලිකුරුටු චිත්‍රයක් මැවෙන්නට ගන්නා දවස් ගැන, ඉරක් ඇඳ සීමා ලකුණු කොට පෙන්විය නොහැකි ය. නමුත් ඇය ලං වූ පිරිමින් දෙදෙනා ම ඒ බලි කුරුටු සිතුවමේ උන් පිරිමියා ට රුවෙන් කෙසේ වතුදු ගති ස්වභාවයන් හා පෑහුණේ නැත. එය වූ කලී මහා පව්කාරකමකි. එවන් අපේක්ෂා භංගත්වයකින් පසු ජීවිතය මැද්දේ හිට ගන්නා ගැහැනු ආත්මය සෙල්මය වීම දරුනු ම අවාසනාවයි. පෙර කාලයේ දී සත් සමුදුරු පරයන්නට හැඬූ ඇස් වලට ඉන් පසු කඳුළක තෙත හෝ කාන්දු වෙන්නේ නැති වෙනකොට හිතෙන්නේ මැරෙන්න ය.
යොහාන් හා විවාහ වන්නට, ඔහු ගේ රුව දකින්නටත් පෙර එකඟත්වය ප්‍රකාශ කළේ එකී යකඩ ගැහැනිය යි. යකඩ වුණත් උණු වන්නේ ය. අමාරසී ද පිටතින් කෙසේ වතුදු ඇතුළතින් දිය වෙමින් ද වැගිරෙමින් ද සිටියා ය. නමුත් ඇය සිය සියුමැළි හිතෙන් ඇගේ හැඟීම් තර කොට අල්ලා ගෙන සිටියා ය. ඒවා දුර්වල නොවනු වස් ඒවා වෙනුවෙන් පෙනී සිටියා ය.
යොහාන් ඒ හැන්දෑවේ ද අමා ගේ ගෙදර ආවේ ය. ඔහු කාර්යාලය අසලට එන්නට හැදුවත් ඇය ඊට ඉඩ දුන්නේ නැත.
“මට බයික් එකේ යනකොට කොන්දෙ අමාරුවක් එනව. ඊයෙ ගිහිං හරි අමාරුයි”
ඇය බොරුවක් කීවා ය..ඒ බොරුව යට තිබුණ හේතුව ඇගේ ගැහැනු හද පිරිමදිමින් තිබිණි.
“අපි ඉක්මනට රෝද හතරකට යමු. වෙඩින් එකෙන් පස්සෙ ලීස් එකක් දාල වෑන් එකක් ගන්න තමයි ඉන්නෙ. සෝබනේට කාර් අරං වැඩක් නෑ. බිස්නස් එකට වුණත් හොඳයිනෙ වෑන් එකක්”
කකාව තවත් දුර යන්නට පෙර අමාරසී නැවතීමේ තිත තැබුවා ය.
එදා යොහාන් ගේ අවධානය යොමු වී තිබුණේ හෝටල හා ඒවායේ බත් පතක් වෙනුවෙන් වැය කළ යුතු මුදල ගැන ය.
“මට හිතෙනව බෝතල් ඕනම නෑ කියලත් අප්ප. මාර වියදමක් යන්නෙ. හැබැයි එහෙම වුණහම අපේ එවුං එන්වෙලොප් එකට දාන්න හිටිය ගාන අඩු කරනව”
මහත් හිස් කමක් අමාරසී ගේ හදවත වෙලා ගෙන තිබිණ. යොහාන් ගිය පසු ඇය මිදුලේ බංකුව මතට වී අඳුරේ ම කල්පනා කරමින් සිටියා ය. යොහාන් හා විවාහ විය යුත්තේ ඇයි? ඇය විවාහ විය යුතු ම ද? නැත. ඇයට නම් එවැන්නක අවශ්‍යතාවයක් නැත. නමුත් පවුලේ අය වෙනුවෙන් එසේ කළ යුතු ය යන තැනට ඇය අඩිය තියා හිටියා ය. සමාජය මිනිසෙකුට තමන් ගේ ජීවිතය ගැන තීන්දු තීරණ තමන් රිසි පරිදි ගන්නට දෙන්නේ ම නැත. හැම කෙනෙකු ම ඇය ව දුටුවොත් අහන්නේ ‘දැන් බඳින්න කල් හරි නේද…තාම මොකද බඳින්නැතුව ඉන්නෙ’ වැනි ප්‍රශ්න ය. ඇය ට මේ ප්‍රශ්න වලට උත්තර දී ඇති වී තිබේ. අම්මා හා නංගී ද මේ ප්‍රශ්න නිසා අසහනයට පත් ව හිඳිනා බව අමාරසී දනී. මේ වතාවේ ඇය තමන් ගැන නොහිතා ඔවුන් ගැන හිතන්නට හිත හදා ගත්තේ ඒක ය.
“පුතේ”
එහඬින් අමාරසී ගැස්සී ගියා ය. අජිත් ඈ ඉදිරියේ හිට ගෙන සිටියේ ය. ඔහු කතා කරත්දී මත් පැන් වල සැර දුගඳ හමා ආවේ ය. නමුත් මේ වෙලාවේ ඒ ගැන කේන්ති ගන්නට තරම් ඇයට සිතක් පහල වූයේ නැත.
“තාත්තෙ”
ඇයිදෝ මන්දා අමාරසී ගේ හඬෙහි බිඳීමක් විය.
“පුතා මේ මගුලට කැමති නෑ නේද…”
අජිත් සිය දියණිය ළඟින්, බංකුවේ අනිත් කොන අසුන් ගත්තේ ය. හදවත පලා ගෙන එන වේදනාවකින් අමා දෙදරා යන්නට වූවා ය.
“තාත්…තෙ…”
බහ තෝරන්නට පටන් ගත් දා පටන් කියූ ඒ වචනය කියා ගන්නට මේ මොහොතේ කෙතරම් නම් අසීරු වූවාද කියා දන්නේ ඇය ම පමණකි. අජිත් ගේ ගොරෝසු අතක් අමාරසී ගේ හිස මත නතර විය.