(අ)හිමි සිහින -51

ඈත ගම් දනව්වල ජනතාව මට එතරම් සමීප වෙන්නට හේතුවක් තිබුණා.ඒ මම උපකරණවලින් හදලා පෙන්වූයේ ඔවුන්ගෙම කෑම වර්ග.ඔවුන්ට සපයා ගන්න අසීරු අමුද්‍රව්‍ය එක්ක නමවත් අහලා නැති කෑම ජාති හදනවට වඩා මයික්‍රොවේව් අවන් එකෙන් කිරිකොස් මාලුවක් හදන්න කියා දෙනවට ඔවුන් ආස වුණා.

“කසාදයක් බැඳගෙන මෙහෙ පදිංචියට එන්න නෝනෙ..”

වයස්ගත ආත්තම්මලා මට ඒ තරම් ආදරේ කරන්න පටන් ගත්තා.කොහොමටත් මං උයමන විතරක් කරේ නැහැ.ජීවිතය ගැන මා දන්නා මොනමොනවා හෝ දේවල් ඒ වැඩසටහන් වලදී බෙදා ගත්තා.ආදරය දෙන තරමටත් වඩා පෙරළා මට ලැබුණේ ඒ හින්දාම වෙන්නැති.තමන් මෙච්චර කාලයක් බිරිඳක් විදියට කරපු සමහර දේ ගැන ආයෙ ආයෙම හිතලා බලන්න පොරොන්දු වෙලා මගෙන් සමු ගත්ත තරුණ වගේම මැදි වියේ බිරින්දෑවරුත් මට අනන්තවත් මුණගැසුණා.

“චෙෆ් ඇඳුමකින් ආවම අපි බය වුණා.දන්නේ නැති දේවල් කියයි කියලා..”

මට එවැනි ප්‍රතිචාර ලැබිලා තියනවා.ඒත් රයිස් කුකර් එකේ කේක් හදන්න වගේ ලද දෙයින් සතුටු වෙන දේවල් කියලා දුන්නාම ඔවුන් මට බොහොම ආදරය කරන්න පටන් ගත්තා.

යුද හමුදාවේ සේවය කරන තරුණයන්ට කුකරි පාඨමාලා පැවැත්වුවාට පස්සේ “මේ නිවාඩුවේ ගෙදර ගිහිල්ලා අම්මටත් තාත්තටත් කෑම හදලා දෙන්න”පොරොන්දු වුණු තරුණයෝ ඉන්නවා. ගෘහ විද්‍යාව හදාරන දරුවන්ට පාඨමාලා පවත්වන්නත් මට අවස්ථාව ලැබුණා.ඒත් ඒ එකම දෙයක් වෙනුවෙන්වත් මට ආයතනයෙන් ලැබුණු වැටුපට අමතරව එක සත පහක් වත් නොගන්න මම වගබලාගත්තා.ඕනෑනම් ඒ වැඩසටහන්වලට මට ආයතනයට නොදන්වා සල්ලි ගන්න තිබුණා.නමුත් මම කිසිම කෙනෙකුගෙන් කිසිවක්ම අරන් නෑ.

“ආයතනය හරහා අපිට වැඩසටහනක් කරන්න පුලුවන්ද?”

අහන හැමෝටම මම සම්බන්ධ කළේ ආයතනයේ සම්බන්ධිකරණ නිලධාරින්ව.ඒ නිසා මම ඒ වැඩසටහන් වලට හිස කෙළින් තබාගෙන ගියා.

“ඇත්තටම මම කාටවත් ණයත් නෑ.බයත් නෑ..”

මම හොරරහසේ දේවල් කරගත්තානම් මට තියෙනවා තිගැස්මක්.හැංගිලා බයෙන් සැකෙන් ජීවත් වෙන්න මට සිදු වෙනවා.නමුත් ඇත්තටම මම එවැනි බයකින් පෙළුණේ නැහැ.මහා විසාල සල්ලියක් උපයා නොගත්තට මම හිස කෙලින් තබා ගත් අභිමානවත් කාන්තාවක් හැටියට ජීවත් වුණා.

“මගෙ ජීවිතේ අතරමැදක නැවතිලා කියලයි මම හිතාගෙන හිටියේ.අනුරාධා මහත්මියත් ආයේම නැගිටින්න පටන් ගත්තේ අවුරුදු තිහේදී කිව්වම මට හරි සතුටක් දැනුණා.මටත් දැන් තිහක්.ජීවිතේ ආයේ ට්‍රැක් එකට වැටෙන්න මාත් ට්‍රයි කරන වෙලාවක් මේ.මේ කතාව කියන ඇයටත් ලියන ඔයාලාටත් හුඟාක් ස්තූතියි!”

ඊයේ මාවත් ස්මාර්ට්ලේඩි කණ්ඩායමත් බොහොම සතුටට පත් කළ පණිවිඩයක් ඒ.මා බොහෝ දුරක් ගිය ක්ෂේත්‍රයේ ම හෙමින් පියවර තබමින් එන පුංචි කෙල්ලක් මට එහෙම පණිවිඩයක් එවා තිබුණා.

ඒ තමයි මට අවශ්‍ය දේ.කොහේ කොතැනක හෝ ඔබ හිරවෙලා නතර වෙලා කියලා හිතුණොත් මං ඔබත් එක්ක බෙදා ගන්න මේ කතාව ආයේ ආයෙම කියවන්න.

හිස කෙලින් තබා ගත් ගැහැනියකට වෙන්න ඔබට පුලුවන් නම් තව මොනවද! ඇත්තටම එහෙම අභිමානවත් ගැහැනියක වෙන්න හැකි බව මම විශ්වාස කරනවා.ඒ ධෛර්යමත් කතාව එක්ක හෙටත් මුණ ගැහෙමු.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles