ඔබ දකින තුරා – 10

පබසරා පොඩි එකාවත් ඔක්කේ ගසා ගෙන මහ ගෙදර එත්දී අමාරසී හිටියේ යහනේ වැතිර බිත්තිය පැත්තට හැරී ගෙන ය. දෙගිඩියාවක ගැස්ම සේ ම මිහිරක ඉසියුම් රසය ද ඇගේ හදවතේ සිට සංස්ථානික මහා ධමනිය ඔස්සේ සිරුර පුරා රුධිර දහර ට කාන්දු වෙමින් තිබිණ. කාමරයේ දොර තිරය මෑත් කොට බැලූ පබා, අක්කා නිදතැයි සිතා තිරය අතෑරියා ය. දරුවා ගේ ලාලනයක් ඇසී අමාරසී හැරී බලනකොටත් පබසරා පිට ව ගොස් තිබිණ.

“මොකද්ද අම්මෙ ඒ කරල තියන ජරා වැඩේ…”

පබා ගේ හඬ කුස්සිය පැත්තෙන් උස් ව නැගුණේ ය. පොඩි එකාව වඩා ගන්නට හිතා ඇඳෙන් බහින්නට ගිය අමා එහෙම ම ගල් වූවා ය.

“යොහාන් ඇවිත් මට හොඳටම බැනල ගියා. අම්මල එකතු වෙලා එයාව ගෙදරිනුත් පන්න ගත්තා කිව්ව”

පබා දරුවා ව කුස්සියේ බිම තැබුවේ ඇය කේන්තියෙන් වෙව්ලමින් සිටි නිසාවෙනි.

“ඒ වගේ එකෙක්ට අක්කව දෙන්න කියලද පබා ඔයා කියන්නෙ…කවුරු කැමති වුණත්..රසී කැමති වුණත් දැං මං ඒකට කැමති නෑ”

“ඔය තරං අකමැති වෙන්න මොකද්ද ඒ කොල්ල කළේ…දැං ඔයා හරි සතුටෙන් හිටියෙ ලෝකෙ ඉන්න හොඳම බෑණා ඔයාට ලැබුණා වගේනෙ”

“මං එහෙම හිතුවා තමයි. අද උදේනෙ මිනිහ කවුද කියල තේරුණේ. අක්ක මේකට අකමැතියි කියල තාත්ත බොහොම කරුණාවෙන් පහදල දුන්න. මං ළඟ හිටියනෙ. නො හිටියනං කියන්න තිබුණා ඔන්න තාත්තා නාහෙට නාහන දෙයක් කියලයි කියල. තාත්තට ගේට්ටුවෙන් එහාට යන්න හම්බුන්නෑ මේකා ඌගෙ කසාද ගෑනිව මට්ටු කරන්න වගේනෙ රසීව මට්ටු කරන්න ආවෙ. යකෝ තාම කසාද බැඳලත් නැතුව අපේ ඇස් පනාපිට මෙහෙමනං…පස්සෙ කොහොම වෙයිද…නෑ නෑ ඕන නෑ. බඳින්න බැරිනං හැමදාම ඔහොම ගෙදර හිටපුදෙං. ඔය වගේ පිරිමින්ට මගෙ කෙල්ලව දෙන්නෙ නෑ”

“අනේ මේ අම්මගෙත් මෝස්තර. වයස පනින්න කලින් කවුරු හරි මිනිහෙක් එක්ක යවනව මිසක් තෝර තෝර ඉන්න පුළුවන්ද…අනික තාත්තා වගේ මනුස්සයෙක් එක්කත් අම්මා ඔය ඉන්නෙ”

“කට කට පබා. තාත්තා ටිකක් බිව්වයි කියල නරක මිනිහෙක් නෙවෙයිනෙ”

පබසරා හයියෙන් සිනහ වූවා ය. එය වියරු සිනහවකි. මේ මොහොතේ ඇය මව ගැන හිතුවේත් ද්වේශයෙනි.

“මරු ටික…හරිම ටිකයි එයා බොන්නෙ. ඒක වෙන්නැති අයියත් ගෙදරින් දොට්ට බැහැල ගියේ. මට ඕවයිං වැඩක් නෑ අම්මෙ. මං මේක කියල යන්නයි ආවෙ. ආයෙත්නං කිසිම දවසක මට කියන්නෙපා අරයට මනමාලයො හොයන්න කියල”

පබසරා ගේ හඬෙහි වූයේ කේන්තියකි. නිර්මලා එකවර කතා කළේ නැත. ලොකු දුවට මේ කතා ඇහෙනා එකත් හොඳ නැතැයි ඇය සිතුවා ය. අමාරසී ට තිබෙන්නේ ඇගේ අනිත් දරුවන් දෙදෙනාට වඩා සියුම් හිතකි. ඇය ට සිනහ වෙන්නට සේ ම හඬා වැටෙන්නට ද ඉතා කුඩා දෙයක් ප්‍රමාණවත් ය. මේ වෙලාවේ තවත් ඇගේ හිත නො රිදවිය යුතු යයි නිර්මලා සිතා ගෙන ඉවර ය.

“ඔව්. මාත් හිතුවා පබා. අක්ක අපි වගේ නෙවෙයි. එයා කැමති කෙනා කවද හරි දවසක එයාම හොයා ගත්තදෙං. නැත්තං ඔහොම හිටපුදෙං”

“හැබැයි අර යොහාන් ට යකා වැහිල ඉන්නෙ. ඇයි ඉතිං ඒ කොල්ලගෙ ජීවිතෙත් එක්කනෙ සෙල්ලං කළේ. අපේ මනුස්සය එහෙං මාව කන්න හදනව. අනුන්ට මගුල් හොයන්න ගිහිං මගෙ මගුලයි දැං කැඩෙන්නෙ. යොහාන් මොන ප්‍රශ්න දාන්න ආවත් මටනං කං කෙඳිරි ගාන්න එපා අම්මෙ. අදින් පස්සෙ මං ඕවට නෑ”

පොඩි දුව කවදටත් කොහොමටත් ආත්මාර්ථකාමී බව අම්මා වශයෙන් නිර්මලා හොඳින් දනී. කවදත් ඇය සිතුවේ ඇගේ යහපත ගැන ය. ඈ සිය පෙම්වතා ව ගෙදරට හඳුන්වා දී විවාහය ගැන කතා කළ වෙලාවේ නිර්මලා කීවේ එක දෙයකි. ඒ, අක්කා විවාහ වී ගෙදරින් යන තුරු කලබල නොවී ඉන්නයි කියා ය. නමුත් පබා ඊට එරෙහි ව ලොකු අරගලයක් කළා ය. අන්තිමට ඉන් ජය ගෙන අක්කාට පෙර දීග ගියා ය. නිර්මලා කෙසේ වතුදු අමාරසී නම් ඒ ගැන පබා ගේ වරදක් නොදකී. වයස් පිළිවෙලට දීග යන්නට හිටියා නම් පබාටත් සිය සිහින හකුළා ගන්නට සිදු වනු ඇත. 

අමාරසී කුස්සියට විත් දරුවා වඩා ගත්තා ය. පබසරා ඇයට කිසිත් පවසනු තබා ඇදෙස බැලුවේ හෝ නැත. 

අඳුරත් එක්ක ඔෆිස් බෑග් එක ද එල්ලා ගෙන ගේට්ටුවෙන් ඇතුල් වෙන තාත්තා කියන්නේ අමාරසී ගේ ජීවිතයේ ඈ නොදන්නා රිදුම ය. ඒ දකින හැම වතාවක ම ඇගේ පපුවෙහි අනියත දැවුමක් ඇති වේ. තව ටිකකින් ඔය සිටින තාත්තා ගේ වේශය වෙනස් වන්නේ ය. එතකොට පපුවෙහි පැතිර යන දැවිල්ලේ වෙනසක් නැතත්, එහි ස්වරූපය වෙනස් වේ. 

ඇඟ සෝදා ගෙන විත් කුස්සියේ පොඩි පුටුවේ මඳ වෙලාවක් හිඳ ගෙන නිර්මලා එක්ක වචනයක් දෙකක් කතා කරමින් තේ එකක් බීම අජිත් ගේ සිරිතකි. උගුර තෙමා ගන්නට මත් පැන් නොවේ නම් ඔහු ට තේ ඕනේ ය.සති අන්තයේ දිවා කාලයේ නිර්මලා හදනා තේ කෝප්ප ගණන ගණන් කළ නො හැකි තරමි. ඇල්කොහොල් වලින් පදම් වන්නේ ඉන් අනතුරුව ය. 

අජිත් ගේ ශරීර අවයව වලට ද ඇල්කොහොල් නිසා හානි සිදු වී තිබේ. ඒ වුණාට ඔහු සිය පුරුද්ද නතර කරන්නේ නැත. කිසිවෙකු ඒ ගැන අදහස් ප්‍රකාශ කරනා වෙලාවක කියන්නට නිදහසට කාරණයක් ද ඔහු සතුව තියේ.

“දොස්තර මහත්තයත් කිව්වෙ ටිකක් ගත්තට කමක් නෑ කියල”

ප්‍රශ්නය නම් ඒ කී ‘ටික’ ගැන අදහසක් ඔහු ට නොවීම ය.

“තාත්තෙ”

කුස්සිය පුටුවට අජිත් පැමිණි ගමන් අමාරසී එහි පැමිණ බිම හිඳ තාත්තා ගේ දෙදණහිස් වලින් අල්ලා ගත්තා ය.

“අනේ තාත්තෙ අද බොන්න එපා”

අජිත් ගේ පපුවට මොකක්දෝ විය. ඔහු දකුණතින් පපුව අල්ලා ගත්තේ ය. මේ කතාව එක එක විදිහට අපමණ වතාවක් ඇය කියා තිබෙනවා ඇත. නමුත් ඒ කීවේ ‘බොන්න එපා තාත්තෙ ‘ කියා ය. ඊට ‘අද’ කියන වචනය විශේෂයෙන් එක් වූයේ අද ය. ඒ නිසා ඒ ප්‍රකාශයෙහි මහත් බරක් අජිත් ට දැනිණ. ගෑස් උඳුන මතින් වතුර කේතලය ගන්නා ගමන් නිර්මලා ද හැරී බැලුවා ය.

“ඇයි පුතේ..”

අමාරසී ගේ ඇස් දවමින් තිබි කඳුළ, ඇය වේගයෙන් ගැසු ඇස් පිය නිසා ඇස් මත්තේ ම ගබ් සා විණි. ඒ ඉසිහින් කඳුළු පිනි බිඳක් විසි වී අජිත් ගේ ගොරෝසු අතක පැටළුණේ ය.

“මට බයයි තාත්තෙ”

“කාටද බය පුතේ…මොකටද බය..මේ තාත්ත ඉන්නකල් පුතා කිසි දේකට බය වෙන්න එපා”

“තාත්ත ඉන්නකොට මට බය නෑ”

“ඉතිං ඒකනෙ”

“ඒත් ඒ තාත්ත බීල නැතුව ඉන්නකොට”

අමාරසී අජිත් ගේ දණහිස මත්තෙන් සිය නිකට තබා ගෙන දෑතින් ම ඔහු ගේ දෙපා වැළඳ ගෙන සිටියා ය. වචන වලින් කියා ගන්නට බැරි තරම් බියක් ඇගේ ගැහැනු පපුවෙහි විය. කොයියම්ම මොහොතක හෝ යොහාන් ගෙදරට කඩා පත් වනු ඇත කියා ද තාත්තා බීමත් ව සිටිතොත් ලොකු විනාශයක් වන්නට බැරි නැත ය කියා ද ඇය ට දැනේ. මේ වගේ ගැස්මක් එක්ක වෙන වැඩක් කරන්නට තබා හුස්ම ගන්නට හෝ ඇය ට බැරි ය. පුංචි කාලේ දී තාත්තා බීමත් ව ගෙදර පැමිණ අම්මා සමගින් දබර කර ගනිතැයි සිතනා වෙලාවක ද ඇගේ ඇතුළාන්තයෙහි වූයේ මේ ගැස්ම ම බව අමාරසී ට සිහි කර ගත හැක. 

“බැරි වෙලාවත් යොහාන් ආවොත්…අනේ තාත්තෙ…බොන්නෙ නැතුව ඉන්නවද…”

ඇය පියා ගේ කකුල් වැළඳ ගත්තා ය. නො දැනුවත් ව ම කඳුළු ද ඉස්සර වී තිබිණි. අජිත් සිය බාරිය ගේ මූණ බැලුවේ ය. නිර්මලා සිය ස්වාමි ගේ මූණ බැලුවා ය. 

“බය වෙන්න එපා පුතේ. මං බොන්නෑ”

ඒ වාගේ පොරොන්දුවක් දෙන්නට ඔහු මේ තරම් ඉක්මන් වූයේ කොහොමද කියා හෝ සිතා ගන්නට නිර්මලා ට නම් හැකි වූයේ නැත. විවාහ වී වසර තිහක් ගත වී තිබිණි ද ඔය වචන ටික ඔහු ගේ මුවින් පිට කර ගන්නට ඇය සමත් වූයේ නැත.

“මගෙ හොඳ තාත්ත”

කඳුළු අතරින් ම අමාරසී කීවා ය. නිර්මලා තොල් දෙපට තද කොට සිනහ වූවා ය.

“පොරොන්දු වුණා වගේ නෙවෙයි..ඉෂ්ට කරන්නත් ඕනෙ”

සැබවින් ම සිය සැමියා එක දවසකට වුව ඒ පොරොන්දුව ඉටු කරාවිද කියා විශ්වාසයක් නිර්මලා ට වූයේ නැත.

“මං වචනයක් කිව්වොත් කිව්ව තමයි”

අමාරසී ගේ පපුවට සැනසීමක් දැනුණේ ඉනික්බිති ය. වසර තිහක් පුරාවට අසනීප වී රෝහල් ගත වූ අවස්ථාවක හැරෙන්නට අජිත් මී විතක් තොල නොගා නිදා ගත් දවසක් නිර්මලා ට නම් මතක නැත. ඒ වුණත් එදා හෙතෙම ලොකු දුවට වූ පොරොන්දුව රැක්කේ ය. 

නිර්මලා හිටියේ කියා ගන්නට නොතේරෙන සතුටකිනි. ඊට හේතව යහනේ පසෙකින් මත් පැන් වල සැර ගඳ නො හැමීමයි. හැම නරකක ම හොඳ පැත්තක් ද තිබිය හැකි බව ඇය ට සිහි විණ.

අමාරසී බිය වූවා ට රාත්‍රියේ යොහාන් ගෙදරට පැමිණියේ නැත. ඇය උදේ කාර්යාලය ට යන්නට සූදානම් වූයේ දැන් දැන් ඔහු ගෙදරට කඩන් පාත් වනු ඇතැයි සැක සංකා ඇතිව ය. නමුත් එවැන්නක් ද නොවිණ. ගොරවන තරමට වහින්නේ නැතැයි සිතා ඕ තාත්තා සමගින් ම බස් නැවතුමට ගොස් බසයක නැගුණා ය. 

ඇය කාර්යාලයට ආවේ ම සිනහ වී ගෙන ය. නිරෝෂන් කළ විහිළුවකට අමාරසී හඬ නගා සිනාසුණා ය. එක වර කාර්යාල පරිශ්‍රය පුරාවට සූරිය කාන්ත මල් යායක් ම පිපුණ සෙයක් දිසත් ට දැනිණ. 

“කියන තරං යක්කු කළු නෑ. හැබැයි ඉතිං සර්පයා සර්පයාමත් තමයි. ඒක නිසා මේ පැය ගාණට යොහාන් ගෙ කිසි රිඇක්ශන් එකක් නෑ කියල ගණං නොගෙන ඉන්නත් හොඳ නෑ”

දිලිනි සිය මිතුරියට උපදෙස් දුන්නා ය. 

“අරයගෙ අර හිනාව ඊයෙනං තිබුණෙ නෑ. හරියට නිකං කර වෙච්ච මාළු පාං එකක් වගෙයි පෙනුණෙ”

ඒත් එක්ක ම ඇය වීදුරු කාමරයේ ,කිසිවෙකු සමගින් සිනා සී කතා කරන දිසත් ව ද ඇස් වලින් පෙන්නුවා ය. අමාරසී, නැගෙන්නට ආ සිනහව  උපන් ගෙයි ම මියෙන්නට හැරියා ය. 

යොහාන් ගැන සැකයක් හිතේ තිබුණත් ඔහු කාර්යාලය වෙත පැමිණෙතැයි අමාරසී සිතා තිබුණේ නැත. හැන්දෑවේ ගෙදර යනු පිණිස ඇය දිලිනි සමගින් දිගු පිය ගැට පෙළ බසිත්දී, යොහාන් ගේ බයිසිකලය නැවතී තිබෙනු පෙනිණ. දිගු දෙපා දෙදපසට විහිදා බිම තබා ගෙන ඔහු ඒ මත ම හිඳ සිටියේ ය. එක අතක වැලමිට සන්ධියෙහි අමතර හෙල්මට් එක එල්ලී තිබූ අතර අනෙක පැති කණ්ණාඩියෙහි රඳවා තිබිණ. යුවතියන් දෙදෙන තවත් පිරිස අතරින් පහලට එන හැටි ඔහු බලා සිටියේ ය. නො දැක්කා සේ ඇය යන්නට පුළුවන් නිසා, පියගැට පෙළෙන් බිමට පය තබත්දී ඔහු ‘රසී’ කියා ඇය ට කතා කළේ ය. අමා එතැනට ආවේ අමතර ගමන් වේගයක් ඇති කර ගනිමිනි.

“මොකටද මෙතනට ආවෙ…කියන්න තියෙන දේ මං කියල ඉවරනෙ”

ඉතා හෙමිහිට වුව ඇය කීවේ දැඩි ස්වරයකිනි.

“ඒව ගැන කතා කරමු. නගින්න බයික් එකට”

ඔහු හෙල්මට් එක දිගු කළේ ය. අමාරසී කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“නෑ මට ට්‍රාන්ස්පෝට් දෙන්න පෙට්‍රල් පුච්ච ගන්න එපා. අපි යමු දිලිනි”

යොහාන් වහා බයිසිකලයෙන් පැන ඇගේ මග හරස් කළේ ය.

“මේ මොන විකාරයක්ද…පැත්තකට වෙලා යන්න දෙන්න”

නමුත් යොහාන් ඒ වචන කනකට ගත්තා නොවේ. ඔහු තව දුරටත් ඇගේ මග හරස් කරමින් සිය යතුරු පැදියට ඇය ගොඩ කර ගන්නට ම බැලුවේ ය. අමාරසී කේන්තියෙන් රතු ව යමින් සිටියා ය. එක් වර ම ඇගේ අතක මැණික් කටුව ළඟින් කිසිවෙකු අල්ලා ගනු දැනුණි. ඔහු අතින් අල්ලා ගත් වන ඇය ව ඔහු ගේ පසෙකට කරමින් ඈ අවුරා සිට ගත්තේ ය. දිසත්!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles