(අ)හිමි සිහින -56

ඉතා හිරිමල් කෙල්ලක කාලයේ ආරම්භ කළ ප්‍රථම ප්‍රේමය මගේ හිතින් කවදාවත්ම කොහොමවත්ම මකා දමන්නට බැහැ.ඔහු වෙත යන්නටම හිතුණු ඉතා කටුක කාලයන් පවා මම කෙසේ හෝ ගෙවා දැම්මා.ඒ නිසා මට මේ මොහොතේ කොහොමටත් නැවත සුධාරකට යළි යළිත් අමතන්න උවමනාවක් ආවේ නැහැ.මම හිඳින්නේ තනියම.විවාහයෙන් අයින් වූ දික්කසාද කාන්තාවක් වෙච්ච මට ආයේ ආදරේ කරන්න කිසිම බාධාවක් නැහැ.ඒත් සුධාරක කියන්නේ දියණියන් සිටින තාත්තා කෙනෙක්.ඒ ලෝකයට අනවසරයෙන් පිවිසෙන්න මට කිසිසේත්ම උවමනා වුණේ නැහැ. මම තවදුරටත් ඔහුට ආදරය කළ යුතු නැති බව මම දැනගෙන හිටියා.හදවතේ උපන් මහා ආදරය මම මිය යන තුරුම අවසන් නොවන බව සත්‍ය වුණත් මම ඔහුට ආදරය කරන බව ඔහු දැනගත යුතු නැති බව මම විශ්වාස කළා.

කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇති
මගේ නොවුනට කම් නැතී

ආයෙ ආයේම මට ඒ ගීතය මතක් වෙනවා.ඔහු විවාහ යෝජනාවකින් විවාහ වූ බව ඇත්ත.මා අහිමි වූ පසු ඉතා වේදනාත්මක කාලයක් ගෙවූ බව ඇත්ත.නමුත් ඒ අතීතය.

“සුධාරක ඒ කාලේ තරම් බිව්වේ නෑ කිසිම කාලෙක..පුදුම වේදනාවකින් ජිවත් වුණේ.”

ඔහුගේ මිතුරන් මට එහෙම කියපු කාලයක් තිබුණා.ඒත් මට සතුටු දැනෙන්නේ ජීවිතය පවා අමතක කර දමා සිටි,සතුරන් අතින් ඝාතනය වෙන්නට සිතමින් සටන් පෙරමුණට ගිය සුධාරක දැන් තාත්තෙකු වෙන තරමට ඔහුගෙ පෞද්ගලික ජීවිතය ගොඩ නගාගෙන සිටීම ගැන.ඔහු සැබෑවටම සතුටින් සහ සැනසීමෙන් ජීවත් වෙනවා කියලා හිතමින් මම සතුටු වෙන්න පටන් ගත්තා.

“ඇත්තටම එයා හිටියේ සතුටින්ද?”

මගේ කතාව ලියන්නිය එහෙම අහනවා.සමහරවිට මේ කියන දේ සහ මා මේ මොහොතේ ජීවත් වෙන වර්තමානය ගැන ඇය සසඳන්නට ඇති.

“අපි ඒක ඉස්සරහට කියමු නේද?”

විවාහය කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්.ඇතැම් වෙලාවක බොහොම සතුටින් ජීවත් වෙනවා යැයි අප හිතන පවුල්වල සත්‍ය කතාව එය නොවන බව මම ඉගෙන ගත්තේ මා තුළින්මයි.මගේ සහ අසංකගේ ජීවිතය පිටතින් බලමින් සතුටු සාගරයක් බව සිතු අය ඕනෑතරම්.එහෙත් ඒ කතාවේ ඇතුළත ගැන අප තරම් කිසිවෙක් දැනගෙන හිටියාද!

“ඔහොම ඉන්න බෑ අනුරාධා.ආයේ බඳින්න..”

එහෙම කියන අය ගැන මට කේන්ති ආව තරම්.වයස පහු වෙන්න කලින් බඳින්න ළමයි හදන්න කියලා සමාජ පීඩනය ගැහැනු ළමයින්ට කොච්චරක් නම් එනවද? ඊට කිහිප ගුණයක් වැඩියෙන් දික්කසාද වූ ගැහැනියකට ලැබෙනවා. ඇය වහාම විවාහ විය යුතු බව හිතන මිනිස්සු ඕනෑතරම්.නමුත් ඇගේ බිඳුණු හිත පිළිසකර කරගන්නට ඇයට පහසුවෙන් පුලුවන්ද කියලා ඒ කිසිම කෙනෙකුට වගක් නැහැ.

අන්න ඒ පීඩනය මට තදින් දැනෙන්න ගත්තේ ඒ කාලේ! ඒක මහ පීඩාවක් වුණත් මාත් හිටියේ පත්තරේ මංගල දැන්වීම්වලට ඇහැ අලෝගෙන.හැබැයි ඒ මම වෙනුවෙන් නම් නෙවෙයි.හැමදාම වගේ මම වෙන කෙනෙකුගේ බරක් මගේ ඉහ මත තියාගෙන හිටියා.

ඔන්න ඉතින් ජීවිතේ අලුත්ම අලුත් පරිච්ඡේදයක් ආයේ පටන් ගන්න සැරසෙමින් තිබුණා.අලුත් මාසයේදී ඒ ගැන කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles