මගේ කාර්යාලයේ මිතුරියක් හිටියා.ඇය යම් ආබාධයක් තිබුණු කෙල්ලක්.ඒ වගේම ඇගේ මුළු පවුලම යැපුණේ ඇයගෙන්.ඒ නිසා ඇයට ගෙදර අයගෙන් බරපතල අසාධාරණයක් වෙමින් තිබුණා.යැපීමේ මාර්ගය අවහිර වෙනවට බයෙන් වෙන්න ඇති ඔවුන් ඇයට විවාහයක් කර දෙන්න උනන්දුවක් දැක්වුවේ නැහැ.ඒ නිසා ඇය හිටියේ අනාගතය ගැන බියකින් සහ තිගැස්මකින්.
“අනේ හිතන්න එපා ළමයො.අපි ඔයාට මනමාලයෙක් හොයමු.”
මටත් වඩා වසර කිහිපයකට වැඩිමහල් මගේ මිතුරියට මනමාලයෙක් හොයන කටයුත්ත වෙනුවෙන් මම පෙරමුණ ගත්තා.මම අපේ ගෙදර ලිපිනයම යොදමින් පුවත්පත් වලට මංගල දැන්වීම් ලියන්න ගත්තා.ඒ වගේම හැම ඉරිදාම පත්තර අරගෙන මිතුරියට ගැළපෙන දැන්වීම් ගැන හොයන්න මම වගබලා ගත්තා.
ඒ හොඳ සමාජ විශ්ලේෂණයක් කරපු කාලයක්.මිනිස්සු කසාදේ කිව්වම ඇත්තටම මොනතරම් දේවල් හොයනවද කියල මම ඇත්තටම තේරුම් ගත්තේ ඒ කාලේ.තම තමන්ගේ ව්‍යාපාර දියුණු කිරීම වෙනුවෙන්,ඉන්න ගෙයක් හොයා ගැනීම වෙනුවෙන් ගෙදර වැඩ කර ගන්න වගේ දේවල්වලට කසාදයක් කර ගත්තම හරි කියලා හිතන මිනිස්සු මට මංගල දැන්වීම් එක්ක ඉසේ කෙස් ගාණට මුණ ගැහෙන්න පටන් ගත්තා.
සුදාරකගේ ආදරයේ ජීවිතය විඳපු මිහිරිම අත්දැකීමක් උනාට මගේ කසාද ජීවිතය නිසාම මට පිරිමි පෙන්නන්න බෑ.ආත්මාර්ථකාමී මිනිහෙක් එක්ක ජීවිතය ගෙවන්න බෑ කියල හිතපු නිසා මම ආයෙ කවමදාවත් විවාහ නොවන තද තීරණයක හිටියා.ඒත් මංගල දැන්වීම් එක්කම ඉන්න හින්දද මන්ද මගේ
හිත වෙනස් වෙන්න පටන් ගත්තා.
“ඇත්තටම මම හැමදාම මෙහෙම ඉන්නවද? මටම කියලා පවුලක්! මගේ කුසින් උපදින දරුවෝ!”
මට සිහින ඇති වෙන්න පටන් ගත්තා.මම පවුලේ එකම දියණිය.නෑදෑයෝ කොච්චර හිටියත් අම්මා තාත්තා නැති දවසක මට මහා තනිකමක් දැනේවි කියලා සමහරවිට මට හිතෙන්න ඇති.අම්මා කෙනෙක් වීම වගේ සිහිනත් මගේ හිත ඇතුලේ පොර බදින්න ඇති.ඒ නිසා නැවත විවාහ වුණොත් මොකද කියන අදහස මගේ ඔළුවට එන්න පටන් ගත්තා
මම ඒ මංගල දැන්වීම් අතරේ මට ගැළපෙන කෙනෙක් ඉන්නවද කියලා පිරික්සන්න පටන් ගත්තා.මම විවාහ දෙකකින්ම දික්කසාද වූ ගැහැනියක්.ඒ නිසා වයස කොහොම වුණත් මට කොල්ලෝ හරියන්නේ නෑ කියලා මම හිතුවා.ඒ නිසා දික්කසාද වුණු කෙනෙක් මම විවාහය වෙනුවෙන් හෙව්වා.මම හොයන උස ගතිගුණ සහ දික්කසාද වූ කෙනෙක් හොයාගන්න කිසිසේත්ම පුළුවන් වුණේ නම් නෑ.ඔක්කොම සාධක ගලප ගත්තාම භයංකාර රූප තියෙන මිනිස්සු පවා මට මුණ ගැහුණා.අනේ මෙන්න මේ කසාද වැඩේ හරියන්නේ නෑ කියලා හිතෙන තරමට එතනදිත් මට විවාහය එපා වෙලා යන්න පටන් ගත්තා.
ඊට පස්සේ අලුත් සෙල්ලමක්.මම මිතුරියට විවාහය සොයනවා ඇය මට හොයනවා.ඉන් එක යෝජනාවක් මට කතා කරන්න පටන්න ගත්තා.මට ඇත්තටම ආබාධයකට ලක් වූ රණවිරුවෙකුට කැමැත්තක් තිබුණා.
“චමල්”
මට කතා කරන්න ගන්නේ ඒ නිසා.මම වගේම විහිළු තහලුවට කැමති නාවික හමුදාවේ සේවය කළ කකුලක පොඩි ආබාධයක් තිබුණු චමල් විවාහයට ගැළපෙනවද කියල මම හිතන්න අරන් තිබුණා.