(අ)හිමි සිහින -62

දම් පාට වෙලා ගිහින් තිබුණු මගේ කකුල එකම තුවාලයක්.සැරව ගලමින් ඉදිමිලා තිබුණු ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටිය වෛද්‍යවරයෙක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

“ඇත්තටම ඔයා හොඳින්ද? කලන්තයක් එහෙම දැනෙන්නේ නැද්ද?”

මම ඉඳලා තියෙන්නේ උග්‍ර දියවැඩියා මට්ටමක.කුඩා තුවාලයක් මහා විශාල වණයක් වෙන්න හේතුව ඒකයි.ඒ වෙනකොටත් හයසිය ගණනකට මගේ සීනි නැගලා තිබුණු බව කියමින් වෛද්‍යවරු මහත් කලබලයකට පත් වුණා.පොතේ හැටියට නම් මම දැන් කෝමා එකකවත් ඉන්න ඕන.ඒත් මගේ රුධිර පීඩන මට්ටම පවා සාමාන්‍ය තත්ත්වයක.මට කිසිම වෙනත් අමාරුවක් නෑ.

අන්තිමට මාව පරීක්ෂා කරපු වෛද්‍යවරයා අවසාන තීරණය ලබා දුන්නා.

“ඔයාගෙ කකුල කුණු වෙලා තියෙන්නේ.දැන්මම තියටර් එකට අරගෙන කකුල කපන්න ඕන..”

මම වහාම හිත ශක්තිමත් කරගත්තා.බය වෙන එක හෝ කකුල කපන එක මේකට විසඳුම නෙවෙයි කියන එක මම තීරණය කළා.ඇත්තටම බය වීම කියන්නේ අපිව මහා විශාල ප්‍රශ්න තොගේකට ඇදලා දාන හේතුවක්.මම වහවහා හිතට ශක්තිය ගත්තා.ඒ වගේම මේ නොදන්න රටකට වෙලා මගේ කකුල කපාගන්නවා වගේ ලොකු තීරණයක් නොගන්නත් මම හිතා ගත්තා මගේ කකුල කපන්න වියදමක් යාවි, තාත්තටත් චමල්ටත් එතකන් නැවතෙන්න මුදල් කොහෙන්ද,ඒ දේවල් කරගන්නේ කොහොමද වගේ ප්‍රශ්න ගණනාවක් මගේ ඔලුවට ආවා.

නෑ!මම කකුල කපන්න ඕන නෑ! මට මගේ රටේ සෞඛ්‍ය සේවය මීට වඩා විශ්වාසයි.මම මේ තුවාලෙත් අරන් ආපහු ලංකාවට යනවා.

“මට මෙහෙම දෙයක් කරලා දෙන්න.මම තව දවස් තුනකින් ලංකාවට යනවා.මේ තුවාලේ දැනට දවස් හයක්.මම ලංකාවට ගිහින් කකුල කපන්නම්.මට මේ කකුලට බෙහෙත් දාලා දිය හැකි උපරිම මාත්‍රාවලින් වේදනා නාශක දෙන්න.”

එළඹෙන තත්පරයක් පාසා තත්ත්වය බරපතල වෙන බවත් මට දැනෙන අමාරුකම් වැඩි බවත් දැන දැනම මම එහෙම තීරණයකට ආවේ හිත ශක්තිමත් කරගෙන.මොකක් හෝ වාසනාවක් මට තියනම් ඒක උරගා බලන්න මම හිතා ගත්තා.නමුත් වෛද්‍යවරයා එය තරයේම ප්‍රතික්ෂේප කළා.

“ඔබව කීයටවත් ප්ලේන් එකට ගන්නෙ නෑ ඔහොම.සුළුපටු විෂබීජ තොගයක්ද මේ.හොඳටම වණ වෙලා..”

ඔහු මගේ ඉල්ලීම තරයේම ප්‍රතික්ෂේප කරා

“මම කතා කරන්න පුලුවන් තැන්වලට කතා කරලා හෝ ඒක කරගන්නම්.මාව මේ රෝහලෙන් නිදහස් කරන්න.”

මම රෝහලේ නේවාසික රෝගියෙකු නොවී ඒ ඉල්ලීම දිගටම කළා.අන්තිමට වෛද්‍යවරයා මගේ ඉල්ලීම පිළි අරගෙන මට දියහැකි උපරිම මාත්‍රාවේ බෙහෙත් ලබා දුන්නා.කකුලටත් බෙහෙත් දැම්මා.මම ඒ සටන ලංකාවට ඇවිල්ලා විසදා ගන්න හිතා ගත්තා.ආපහු හෝටලයට ආවට පස්සේ මම තාත්තාට සහ චමල්ට කතා කළා.ඉතුරු දවස් තුන ඉතිරි සාප්පු සවාරියටයි.

“ඔයාලා කැමති දේවල් ඕන කෙනෙකුට ගන්න..මට කිසිම දෙයක් ගන්න එපා.හොඳ රෝද පුටුවක් විතරක් ගන්න.”

කකුල කැපීම ගැන මගේ ඔලුවේ නිහඬ සටනක් තිබුණා.තවදුරටත් වෝකින් ස්ටික් එකකින් යා නොහැකි තරම් මගේ කකුල වේදනාවෙන් පීඩිතයි.සමහරවිට ලංකාවට ගියාම මට ගන්න වෙන අන්තිම තීරණය කකුල කැපීමම වෙයි.එහෙම වුණොත් මට අනිවාර්යයෙන් ම රෝද පුටුවක් උවමනා බව මම පැහැදිලි ව දන්නවා.මම ඒ නිසා ඒ තීරණයට ආවා.

ඒ දවස් තුනත් බොහොම අසීරුවෙන් මම ගෙවා ගත්තා.චමල් තමයි මගේ සියලුම කාර්යයන්ට උදව් දුන්නේ.මගේ පෞද්ගලික වැඩ සියල්ලම ඔහුගේ වාරුවෙන් කරගන්න මට සිද්ධ වුණා.ඒ දවස් වල මට සියල්ලමට උදව් කළේ ඔහු බව මම ජීවිතය තියන තුරුම අමතක කරන්නේ නැහැ.

පදක්කමත් අරගෙන රෝද පුටුවෙන්ම ලංකාවට ආව මම කෙලින්ම ගියේ ජයවර්ධනපුර රෝහලට.අපේ රටේ ඉහළ පුටුවල ඇත්තෝ අපේ සෞඛ්‍ය සේවය ගැන විශ්වාස නොකර සිංගප්පූරු ගිහින් වෛද්‍ය සේවා ලබා ගත්තට එහි ප්‍රතිවිරුද්ධ දේ කරන්න මම තීරණය කරේ අන්න එහෙම.ඒ වගේම අපේ වෛද්‍යවරු කියන ඕනෑම තීරණයක් බාර ගන්නත් මම හිතා ගත්තා.

ඉතින් අන්තිමට මගේ කකුල කපන්න වුණාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles