“ආරණ්‍යා..මොන සිහියෙන්ද ජීවත් වෙන්නේ?”
නිසලි සෑම මොහොතකම උස් හඬින් බැන වදින තරමට ආරණ්‍යා වෙනත් සිහියක ගිලී සිටියා ය.ඇය සිටින්නේ මොන කල්පනාවකදැයි දැන ගන්නට නිසලිට දැඩි උවමනාව තිබිණ.
“තමන්ගේ සිහිනයක්!!”
ආරණ්‍යා සිටියේ එවැනි සිහිනයක ගිලෙමිනි.නැවත ගොඩබිමක් නොපෙනෙන තරමට ගැඹුරු සාගරයක ගිලෙමිනි.ඇයට මේ කතාන්දරය කියන්නට කෙනෙකු ඕනෑ බව සිතේ.එහෙත් පාසල් කාලයේ පටන් එකට බැඳී එකට සිටිය ද නිසලි එවැනි කතාවක් කියන්නට තරම් ආරණ්‍යාට විශ්වාස නොවේ.
“මෝක්ෂ අයියා කොහෙද ඉන්නේ?”
ආරණ්‍යා බොහෝ වෙලාවක් කල්පනා කරමින් සිට අනතුරුව ඇමතුමක් ගත්තා ය.ඔහු අමතන ඕනෑම මොහොතක සත් සමුදුර වුව තරණය කර ආරණ්‍යා වෙත ඉගිල එන්නට සමතෙකි.ඉතා කුඩා බිළිඳියක කාලයේ ආරණ්‍යාගේ හැඬුම් හඬ පවා වහා තේරුම් ගන්නට සමත් වූ කුඩා කොලුවා ගැන අම්මා කතා කරන්නේ ආදරයෙනි.
“ඔයාගෙ අම්මට අයිඩියා එකක් නැද්ද ඔයයි මෝක්ෂ අයියයි සෙට් වෙනව බලන්න..”
නිසලි එසේ අසද්දී ආරණ්‍යා හිනැහෙන්නී ය.අනතුරුව ඇය ඇගේ අම්මාගේ වචන නොව මෝක්ෂගේ අම්මාගේ වචන වලින් නිසලිට දමා ගසන්නී ය.
“කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර තියෙන්න පුලුවන් එකම එක එක සම්බන්දෙ ආදරේ විතරද? මං අම්මගෙ බඩේ ඉන්න කාලේ ඉඳන් මෝක්ෂ අයියට ආදරෙයි.ඒක මගේ මල්ලාට තියන ආදරේ නෙවෙයි.අප්පච්චිට තියන ආදරෙත් නෙවෙයි.වෙනම එකක්..”
එවැනි මොහොතක ආරණ්‍යා දෙස බලන නිසලි “ඒක තමා ඉතින් ආදරේ” කියන්නී ය.නමුත් මනුෂ්‍ය සම්බන්ධතා එවැනි පහසු ලඝු කිරීම් වලට යටත් නොවන බව ආරණ්‍යාට ඉගැන්වූයේ මෝක්ෂගේ අම්මා,බිනරි ය.
“මිනිස්සු අතරේ තියන හැම බැඳීමකට නමක් නෑ චූටි දූ.අනිත් එක ජීවිතේට කවුරු නැතත් හොඳ යාළුවෝ නැති කරගන්න එපා.ඔයා මොන ජරා වැඩක් කරත් ඔයා අතින් මොන වැරැද්දක් වුණත් කිසිම ජජ් කිරිල්ලක් නැතුව ඔයා දරා ගන්න යාලුවෙක් ඉන්න ඕන..එක්කෙනෙක් හරි ඉන්න ඕන.”
මෝක්ෂ ඒ තැනට ආවේ ඔහු ඒ වචන ආරණ්‍යාට ඉගැන්වූ බිනරිගේ පුතු නිසා නොවේ.ඔහු ඒ වචන සැබෑවක් කරන තරුණයෙකු වූ නිසා ය.ඔහු සෑම මොහොතකම සැහැල්ලු සහ ප්‍රීතිමත් තරුණයෙකු වූ නිසා ය.
“මෝක්ෂ අයියා කිසිම කිසි දවසක මගේ හස්බන්ඩ්වත් මගේ ළමයින්ගෙ තාත්තාවත් වෙන්නේ නැහැ.ඒ හැමෝම අතින් මගේ හිත රිදෙන වෙලාවට මාව හග් කරලා සේරම හරි චූටෝ කියන්න කෙනෙක් ඕන..”
ආරණ්‍යා එසේ කීවේ ආදරය ගැන තේරෙන වයසට පැමිණි දා පටන් ය.එය තවමත් එහෙම ය.
මෝක්ෂ සැබෑවටම සිටියේ තදබල රාජකාරියක ය.නමුත් ආරණ්‍යාගේ ඇමතුමක් මඟ හරින්නට ඔහුට විසි එක් වසක් තිස්සේම හැකි වූයේ නැත.ඒ ඔහුගේ ස්වභාවය ය.
“මං කෙනෙකුට ආදරෙයි..”
ආරණ්‍යා මහා බර හඬකින් කියද්දී මෝක්ෂ උස් හඬකින් හිනැහුණේ ය.ඊටත් පසු ඇගේ හිසකෙස් අවුල් කර හිනැහිණ.
“ඉතිං හොඳයිනෙ.”
ඔහු කියන තරමට එහි හොඳක් නැත.ඈ ආදරය කරන යෞවනයා ඒ වගක් දන්නේ නැත.ආරණ්‍යා එය කියන්නට තරමක වෙලා ගත් අතර ඉන්පසු මේඝගේ පළමු හමුවීමේ පටන් කතාව කියාගෙන යන්නට පටන් ගත්තා ය.
“ඉතිං..මං මේකලා නැන්දා ගැන බලාගන්නං..ඔයා හෙමින් හෙමින් කතා කරලා බලන්න.”
මෝක්ෂ කියන්නේ සැහැල්ලුවෙනි.අම්මාගේ සමහර තදගති ඉතා ඉක්මනින් මකා දමන මන්තරයක් මෝක්ෂ දැන හිඳිනා බව ආරණ්‍යා දනියි.නමුත් මේ සම්බන්ධයෙන් ඇයට විශ්වාසයක් නොවේ.
“අයියේ, මේඝට ගෑනු ළමයෙක් ඉන්නව..”
ආරණ්‍යාගේ හඬ බිඳෙන්නට පටන් ගත් අතර නේහා සහ මේඝගේ සේයාරූ කිහිපයක් දෙස මෝක්ෂ නෙත් අලවා බලා හුන්නේ ය.ආදරය පිපෙන්නේ කිසිම දෙයක් ගැන වග විභාගයකින් තොරව බව ඔහු දනියි.නමුත් ඔහු මේ ලෝකයේ වඩාත් ආදරය කරන කුඩා කෙල්ලක ගොඩබිමක් පෙනෙන්නට නැති සයුරක පදවන යාත්‍රාව ගැන මෝක්ෂට බිය දැනෙන්නට විණ.
“ආදරේ කියන්නේ ආපහු ලැබෙයි කියලා බලාපොරොත්තුවකින් කරන්න ඕන දෙයක් නෙවේ..”.
මෝක්ෂ එසේ පැවසී ය.නමුත් ඔහුට පෙරළා කියන්නට ද කාරණාවක් තිබිණ.
“ඒත් තමන්ට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන එක ටිකක් අමාරු අත්දැකීමක්..”
ආරණ්‍යා ඒ වචන කිහිපය නොඇසුණා මෙන් සිටියා ය.දැන් ඈ හිඳින්නේ ඒවා අසන මානසිකත්වයක නොවේ.