බබා ලැබෙන්න ඉන්නා විට සන්සුන් මනසකින් ඉන්නට අණ ලැබෙද්දී හොල්මන් කතා පොත් කියවූ අම්මා කෙනෙක් මම.දරුවා ලැබෙන්නට ඉන්නා නිසා හැකිතාක් විවේක ගන්නට අණ ලැබෙද්දී මගේ ආයතනය සමඟ රට වටා සංචාරයේ නියුතු වූ ගැහැනියක් මම.බර උස්සාගෙන වැඩ කළ ගැහැනියක් මම.හොඳම අම්මා කෙනෙකුදැයි කියන්නට නොදන්නා නමුත් මේ අම්මාත් ගැහෙමින් බලා සිටි දවසක් උදා වුණා.
කලින් ආයතනයෙන් ලබා ගත් ETF මුදල මට මගේ පුංචි සුරංගනාවියගේ බඩුමුට්ටු සපයා ගන්න විතරක් නෙවෙයි.ඇය ලැබෙන්නට පෞද්ගලික රෝහලක නේවාසික වෙන්නටත් මට සෑහුණා.දූගේ තාත්තට සල්ලිත් නැහැ.ඔහු ඕවා ගැන විමසිල්ලකුත් නෑ.ඒකට මොකද! මට ඒ ගැන කේන්තියක් තිබුණේ නෑ.
අම්මා කියන ගොඩ වෙදකම් කිසිවක්ම නොකළට ඇය බොහෝ සුන්දර ළදැරියක වග මට පෙනුණා.ඇත්තටම ඉතින් වෛද්‍ය විද්‍යාවට අනුව ඔය දේවල් දිහා බැලුවම ඇති! ෂාරුක් ඛාන්ගේ චිත්‍රයක් බිත්තියේ ගැහුවට බබා ෂාරුක් ඛාන්ගේ රූපය දරන්නේ නෑනෙ.ඒ වගේ තමයි. හැමදෙයකටම වඩා විද්‍යාව විශ්වාස කරන්න.වැඩිහිටි කාන්තාවන් කියන මිථ්‍යා කතා වල එල්බගෙන ඕනෑවට වඩා වද විඳින්නට එපා.කවුරුත්ම කියන දේවල් ඕනෑවට වඩා විශ්වාස කරමින් බියට පත් වෙන්න එපා.ගර්භනි භාවයන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්.අනෙකාගේ ගැටලු තමන්ට ආදේශ කරගන්න එපා.වගකියයුතු වෙබ් අඩවියකින් හෝ වෛද්‍ය සඟරාවකින් ගන්නා දේවල් ගැන හිතා බැලීම එකක්.ගොඩ වියදම් තවත් එකක්.මමත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුණු පොත් බොහොමයක් කියවලා දැනුම රැස් කරගත්තා.ගර්භනී කාලය ගැන ඒවායින් තේරුම් ගත්තා
මම දූ වෙනුවෙන් පත්තිනි දේවාලයට හදවතින් බාර වුණා.මම විවාහ කිහිපයක් කරගත් ගැහැනියක් කියලා පත්තිනි දේවාලයට නොගොස් ඉන්න මට ඕනෑ වුණේ නැහැ.මම ඒ හැම කෙනාටම අවංක වුණානම් මම විවාහ ජීවිතය අවංකව ගත කළානම් පත්‍තිනි මෑණියන්ගේ පිහිට මට නොලැබෙන්නට හේතුවක් නෑ.මම හිතුවේ එහෙමයි.සියළු දේව ආශිර්වාදය මගේ දරුවාට ලැබෙන්නට පතමින් මම ශල්‍යාගාරයට ගියා.
“සිසේරියන් සැත්කමට හිරි වට්ටන්න විදින බේත මැරෙන තරම් අමාරුයි..”
ඔය වචන පේළිය මම සිය පාරකට වඩා අහලා තිබුණා.මට තිබුණේ පුදුම බයක්.යකෙකුටවත් බය නැති මම ඒ කතාවට නම් අසූහාරදාහට බය වුණා.කොන්ද හොල්ලා ගන්නවත් නැති වුණොත් මම රැකියාව කරගන්නේ කොහොමද!! මම බයෙන් හිතන්න ගත්තා.
“ඉඳගන්නකො ඉන්ජෙක්ෂන් එක දෙන්න.”
මට නියෝගයක් ලැබුණා.මම සතරවරම් දෙවියෝ සිහි කරම්න් හිටියා.හාන්සි වෙන්නට උපදෙස් ලැබුණා.
“එතකොට ඉන්ජෙක්ෂන් එක?”
වෛද්‍යවරයා උස් හඬින් හිනා වෙන්න පටන් ගත්තා.
“ඒක ගහලා ඉවරයි..”
ඔන්න ඔහොම එක භීතිකාවක් අවසන් වුණා.
ශල්‍යාගාරයේ වීදුරු වහලයෙන් මට මගේ සැත්කම පෙනෙනවා.මම වෛද්‍යවරයා සමඟ කතා බහ කරමින් ඒ දිහා බලාගෙන හිටියා.මම ඒ දිහා බලාගෙන හිටියා.විනාඩි කිහිපයකින් විශාල හැඬුම් හඬකින් ශල්‍යාගාරය දෙදරන්න පටන් ගත්තා.
මගේ සුරඟන! ඇය මගේ දෝතට ආවා.ලෝකයේ ඇති සෑම මිහිරි හැඟුමකම එකතුවක් ගුමු ගුමු හඬ නගන කුඩා පොදියක් වී මගේ දෑතට ලැබුණා.හඬන්නදැයි හිනැහෙන්නදැයි තෝරා ගන්නට නොහැකිව මම ඒ මුහුණ දෙස බලා ගත්තා.කුඩා කඩල ඇටයක් තරමට පළමු ස්කෑන් පරීක්ෂණයේ දුටු මගේ ජීවිතය දැන් ළදැරියක වී මගේ අතට පැමිණ අවසන්.දුවෙකු ගැන සිහින දුටු මට නිරෝගි බිළිඳියක ලැබීම මහත් ආනන්දජනක හැඟීමක්.දින දෙකක් තිස්සේ රෝහලේ නැවතී සිටි මම මගේ සුන්දර දියණියත් තුරුළු කරගෙන ගෙදර ආවා.
“හදවතට සමීප ජීවිතය පුරා ළඟ සිටින යෙහෙළිය” මම ඇයට නම තැබුවේ ඒ අරුත ඇතිවයි.ඇය මගේ ජීවිතය පුරාවටම මගේ හොඳම යෙහෙළිය වීම මගේ එකම පැතුම වුණා.ඒ නම මොනතරමට සර්ව සාධාරණදැයි නව වසරකට පසුත් මට දැනෙනවා.තව වසර දහයකින් එය මීටත් වඩා දැනේවි.