ඔබ දකින තුරා -33

පරාක්‍රම කියන්නේ හැම දාමත් සිය දියණියට වඩා බෑණා නිවැරදි යයි සිතූ කෙනෙකි. දිසත් කේෂි ගෙන් නීත්‍යානුකූල ව වෙන් වෙන්නට තීරණය කළ එක ගැන ද හෙතෙම දොසක් නොකීවේ දිසත් නොව කේෂි වැරදි බව ඇසින් දුටු බැවිනි. කනින් ඇසු බැවිනි. නමුත් දිසත් සිය කාර්යාලයේ තරුණියක සමග පෙම් සබඳකමක් ඇති කර ගෙන ඇති බවත්, ඇගේ ගෙදරදී ම ඔහු ව සියතට හසු වූ බවත් කේෂි ගෙන් දැන ගත් පරාක්‍රම දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු සේ කිපුණේ ය.

“අංකල්”

පරාක්‍රම ගේ මූණ හොඳ නැති බව දැන වුව දිසත් පුරුදු ස්වරයෙන් ඔහු ඇමතුවේ ය.

“බලු වැඩ කරන්නෙපා මිනිහො”

නමුත් පරාක්‍රම හැසිරුණේ වෙනදා සේ නොවේ.

“හැම දේම දැනගෙනයි මං මේ ගමන ආවෙ. තමුසෙ මං ඉස්සරහට ඇවිත් කේෂිගෙ වැරදි කිව්වෙ හරි සුද්දවන්තය වගේ. මාත් හිතුවෙ ඒ ඔක්කොම කතා ඇත්ත කියලයි. බලං යනකොට තමුසෙට මේ හදිස්සියෙ දික්කසාදෙ ඕන වෙලා තියෙන්නෙ කේෂි ගෙ වැරැද්දක් නිසා නෙවෙයි. වෙන ගෑනියෙක් එක්ක පෙම් කෙළින්න පටං ගත්ත නිසා”

පරාක්‍රම ගේ උස් හඬ පහළ මහලට ද ඇසේවියි දිසත් තුළ චකිතයක් ඇති විය. 

“අංකල් ඇතුළට ඇවිත් ඉඳ ගන්නකො”

ඔහු හෙමිහට කීවේ මේ ආරවුලක් නොවන බව ගෙහිමියන් ට දැනිය  යුතු නිසාවෙනි.

“අංකල් මේ කේෂි කියන දේවල් පිළි අරගෙනනෙ ඇවිත් තියෙන්නෙ. මගෙ පැත්තෙන් කියන්න තියෙන දේවලුත් අහන්න අංකල්”

“මොනා අහන්නද මිනිහො. උපාසක බළල්ලු දෙන්න දෙන්න අල්ලනව කියල කියන්නෙ තමුසෙ වගේ එවුං ගැන තමයි. හැබැයි මේකනං මං ලේසියෙං අත් අරියි කියල හිතන්න එපා. තමුසෙ දැන ගන්නව මේ නයාට ගහලයි පොල්ල වරද්ද ගත්තෙ කියල. මං කියල යන්න ආවෙ මේකයි. හිතන තරං ලේසියෙං තමුසෙට තව කසාදයක් කර ගන්න මං ඉඩ තියන්නෑ”

“අංකල් මීට වැඩිය අවබෝදයක් තියන කෙනෙක් කියලයි මං හිතුවෙ”

“මොකද්ද අයිසෙ අවබෝදෙ…තමුසෙ වෙන ගෑනියෙක් යාළු කර ගත්තහම සද්ද නැතුව අපි ඩිවෝස් වෙලා යන්න ඕනයි කියන එකද…තමුසෙ දැන ගන්නව. මාව එහෙම තම්බන්න බෑ හරිද…මං හොඳට හොඳයි හැබැයි නරකට බොහොම නරකයි”

පරාක්‍රම නික්ම ගියේ දිසත් ට කතා කරන්නට ඉඩක් නොතබා සිය මතය පමණක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ය. ධනය හා බලය අතින් සන්නද්ධ පරාක්‍රම ට කරන්නට බැරි දෙයක් නැති බව දිසත් දනී. මෙතෙක් ඔහු දිසත් ඉදිරියේ පූස් පැටවෙකු සේ හැසිරුණේ සිය දියණිය ගේ කල්ක්‍රියාව යහපත් නොවන බව දන්නා නිසාවෙනි. නමුත් දිසත් වෙනත් කාන්තාවක් සමග ඇසුරක් පවත්වන බව දැන ගැනීමත් සමග ඔහු ගේ ශීල ප්‍රතිපදා සියල්ල බිඳ වැටිණ.

ප්‍රශ්නය හිතුවාටත් වඩා කලින් උග්‍ර වෙමින් පවත්නා බව දිසත් ට වැටහිණ. දික්කසාදය ලබා ගැනීම බෙහෙවින් දුෂ්කර කාරියක් කරන්නට පරාක්‍රම ලා කටයුතු කරනු ඇත. අකමැත්තෙන් මුත් කේෂි ගේ අනියම් සබඳකම් ගැන සාක්ෂි ගොනු කර ගන්නට ඔහු හිතා ගත්තේ ය.

 අමාරසී බිය වනු ඇතැයි සිතුණෙන් මේ ගැන ඇය ට නො කියා ඉන්නට දිසත් සිතා ගත්තේ ය. නමුත් ඒ රාත්‍රිය ඔහු තුළ ඉතා බියකරු සිතිවිලි ජනිත කරවන ලදී. වෙන්නට බැරි දෙයක් ලෝකයේ නැත. කරන්නට බැරි දෙයක් ඔවුන්ට නැත!

අමාරසී වෙනදා වගේ නො නිදා නිර්මලා ට උයන්න උදව් කරනු වස් අළුයම නැගී සිටියා ය. පෙර කිසි දා ක ඇය එසේ කොට නැත. පාන්දර නැගිට කෑම පිසුවේ නිර්මලා ය. ඇය සිතුවේ කෙල්ල මුළු දවසේ ම කාර්යාලයේ වැඩ කළ යුතුය කියා ය. දවල් කාලයේ යහන්ගත ව මඳක් විවේක ගන්නට ඇයට නම් පුළුවන. එදා අමාරසී කුස්සියට එන විට අජිත් පොල් ගාමින් සිටියේ ය. වෙනදා නිර්මලා අවදි වත්දී ඔහු අවදි වී කුස්සියට ආවේ නැත ද, මේ උදයේ ඔහු ට නින්ද ගියේ ද නැත.

“තාත්ත පොල් ගානවනෙ. මට කතා කරන්න තිබුණනෙ”

නිර්මලා අජිත් ට කියා කුස්සියේ වැඩක් කර ගන්නේ නැත.  කර ගත හොත් ඇය ට අපහසු වත්ත පිටියේ යමක් පමණි. අද ඔහු ගේ හිතට නිවනක් නැති බව ඇය දැන සිටියා ය. අමාරසී හා දිසත් උනුන් කෙරේ කැමැත්තකින් පසු වනවා ය කියා සිතත්දී නොදැනුන විදිහේ බරක්, ඔවුන් අතරේ ඇසුරක් තිබෙනවා ය කියා දැන ගත් පසු ඔහු ට දැනේ.

අජිත් හෝ නිර්මලා අමාරසී ගේ කතාවට වාචික ප්‍රතිචාරයක් නො දැක්වූයේ ඔවුන් දෙන්නා ම සිතිවිලි ලෝක වල පැටලී සිටි නිසාවෙනි. මෙතුවක් ළදැරියක් වාගේ ගෙදරට හුරතල් වෙවී හිටි කෙල්ල පඹ ගාලක පැටලෙන්නට යයි. නැතහොත් දැනටමත් ඒ පඹ ගාලේ පැටලී ගෙන සිටී. නමුත් ඒ ඇය තෝරා ගත් ඇගේ ආදරය ය. එය මඩ ගොහොරක් තරණය කරමින් යා යුතු ගමනක් වී ද ඇය දැනටමත් ඒ කළල් දිය ට බැස හමාර ය. නමුත් මවු පියන් වශයෙන් ඔවුන් දෙදෙනාට ඇය අතැර ලිය නො හැකි ය. අත් දෙකෙන් දෙපැත්තෙන් දැඩි ව අල්ලා ගෙන ඈ ළඟින් ම හිඳිනු විනා ඈ අත් හල නො හැකි ය.

“ඔය දෙන්න මාත් එක්ක තරහෙන්ද..”

අන්තිමට අමා බිඳී ගිය හඬකින් එසේ විචාලේ අම්මා ගේ කෙසේ වී ද තාත්තා ගේ මුණිවත ඈ පෑරූ නිසාවෙනි.

“මං දන්නව මං වැරදියි කියල. ඒත්..ඒත්..”

“රසී. අපේ ඇති තරහක් නෑ. බයක් මිසක්”

අජිත් ගේ හඬ ඒ තරම් බිඳුණු ස්වරයක් ගන්නවා සිය තිස් වසරක  යුග දිවිය තුළ මින් පෙර කිසි දාක නිර්මලා දැක නැත. ඔහු වූ කලී හස්තියෙක් බඳු මිනිසෙකි. කිසිවෙකුට මෙල්ල කළ නො හැකි මිනිසෙකි. බය කියන වචනය වුව ඔහු දන්නවා යි නිර්මලා සිතුවේ නැත. ඇය පපුව පිරෙන්නට හුස්මක් ගත්තේ ඒ ආදරණීය තාත්තා ගැන හදවත උපන් දැරිය නො හැකි ස්නේහයකිනි.

“තාත්තෙ…මං බය නෑ”

අමාරසී එසේ කීවේ ඔවුන් දෙදෙනා ගේ හිත් හදන්නට ය. ඒ නැත ද දැන් ඉතින් මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතු බව ඇය දැන සිටියා ය. නින්දා අපවාද යනු මේ සම්බන්ධය නිසා ඇය ට උරුම වන දේ බව ඇය දැන සිටියා ය. නමුත් ඒ ප්‍රේමය වෙනුවෙන් අභීතව ඒ සියල්ල විඳ ගන්නට ඇය දිසත් ට පිලින දී ද තිබුණා ය.

“ඒ ගැන තමයි රසී මං වැඩියෙන්ම බය…පුතා බය නැති එක ගැන. ඔයාට වැඩි කාලයක් මේ මහ පොලොවෙ පය ගහල ජීවත් වෙච්ච මිනිහෙක් විදිහට..මේ ලෝකෙ සිද්ද වෙන දේවල් දිහා ඇස් කන් ඇරං බලං හිටපු මිනිහෙක් විදිහට…ඔයා බය නැති හැම දෙයක් ගැනම මට බයයි”

“තාත්..තෙ..”

හිරමනය මත හිඳ පොල් ගානා තාත්තා ළඟ බිම හිඳ අමාරසී ඇගේ හිස අජිත් ගේ උරයෙහි තැබුවා ය.

“දිසත් තාම දික්කසාද වෙච්ච කෙනෙක් නෙවෙයි රසී. ඒක ඔයාට දැනෙනවට වැඩිය බරපතල දෙයක්”

“ඒත් අම්මෙ එයා ඩිවෝස් වෙනවනෙ”

“වෙනව තමයි දරුවො. ඒත් තාම වෙලා නෑනෙ. මෙහෙ ආපු දවස් දෙකේම අර ගෑනු ළමයා කිව්වෙ ඩිවෝස් එක ඉල්ලන්න හේතුව ඔයා කියල”

අමාරසී තිගැස්සී ගියා ය. 

කාර්යාලයේ දීත් දිසත් පසු වූයේ ගැස්මක ය. හිතූ තරම් කිසිවක් පහසු නො වන බව දැනේ. ඒ ඕනෑ ම තත්වයකට මුහුණ දෙන්නට තරම් දැන් දිසත් ශක්තිමත් ය. ඔහු ට බිය අමාරසී ගැන ය. පරාක්‍රම ලා ගේ ධන බල පරාක්‍රමය වියරු වැටුණ විට උමතුවක් බව දන්නා බැවිනි.

“මොකක් හරි ප්‍රශ්නයක්ද..”

දිසත් ගේ යම් වෙනසක් දුටු නිසා අමා ඇසුවා ය. ඔහු සිනාසුණේ ඔහු පහසුවෙන් බව හඟවන්නට වී ද ඒ උත්සාහය ම වෙනසක් සේ ඇය ට දැනිණ. 

“නෑ. ඒත් ඔෆිස් එකේදි පුළුවන් තරං පරිස්සමට ඉන්න අමා. කිසිම කෙනෙකුට දැනගන්න තියන්න එපා මේ අෆෙයා එක ගැන. යාළුවො දෙන්න ඇර වෙන කවුරු ඇහුවත් එහෙම දෙයක් නෑ කියලම කියන්න. ඕකේ…”

ඔහු නෑ කියා කීවාට යමක් සිදු වෙමින් පවතින බව ඉවෙන් මෙන් ඇය ට ද දැනිණ. නමුත් දැන් ඉතින් දියට පැන හමාර ය. පිහිනා එතෙර වෙන එක ගිලී මිය යනවාට වඩා ඉඳුරා පහසු වන්නේ ය. 

කෙසේ වෙතත් ඔවුන් ප්‍රවේසම් වූවාට පමණක් සියල්ල හොඳින් පවත්වා ගත නො හැකි වූයේ ය. දිසත් කොටු කර ගන්නට මාන බලමින් සිටි කේෂි දිනක් ඇඟළුම් ආයතනයේ ගිනුම් අංශය වෙත පැමිණියා ය. ඇය ට ඕනෑ වූයේ වටින් ගොඩින් යමක් සොයා ගන්නට ය. කුණු ඇති තැන් වලට ම කුණු එකතු වෙනවා යි කතාවක් තිබේ. සමහර වෙලාවට සොබා දහම වුව එක එක සෙල්ලම් පාන්නට රිසි වන්නේ ය. කේෂි පිය ගැට පෙළ නගිමින් සිටිත්දී ගීතානි එහි පහළට යමින් සිටියේත් දෛවයේ එවන් සරදමක් ලෙසට ය. යමක් සොයනා ඇස් වලට කුමක් හෝ හමු වේ. ඔවුන් උනුන් දෙස හොඳින් බලන්නට ඇත්තේත් ඒ අරමුණ ඇතිව ය. කේෂි කියන්නේ ගීතානි ගේ පෙනුම ඇති ගැහැනුන් ට ද ගීතානි කියන්නේ කේෂි ගේ පෙනුම ඇති ගැහැනුන් ට ද කැමති අය නොවේ. නමුත් ඒ මොහොතේ ඔවුන්ට අවශ්‍ය ව තිබූ යමක් ඔවුන් වෙත වන හැටි දෙදෙනා ම දුටහ.

“අකවුන්ට්ස් ඩිපාට්මන්ට් එක මේක නේද..”

කේෂි සිය ගමන් වේගය බාල කරමින් ඇසුවා ය.

“ඔව්. මේ මිස් කාව හම්බ වෙන්නද..”

“දිසත්..මගෙ හස්බන්…”

“හානේ..මේ මිස්ට දිසත් ගෙ වයිෆ්ද..හොඳයි හොඳයි මිස් ඔහොම පෙනිල යන්න ආපු එක”

“ඇයි එහෙම කිව්වෙ..”

“නෑ ඉතිං…දන්නැද්ද මිස්…පෙනුම තියෙන පිරිමියෙක් ඉන්න තැනක කෙල්ලන්ට කඩි කුලප්පුව හැදෙනවනෙ. අයිතිකාරයෙක් ඉන්නව කියල අඟවනකොට ඒ අසනීප සනීප වෙයි”

“මාත් මේ විස්තර ටිකක් හොයා ගන්නත් එක්කයි ආවෙ. අර..කොන්ඩෙ ස්ට්‍රේට් කරපු..බ්‍රවුන් කලර් හෙයා එකක් තියන..”

“හපෝ ඔය ඉන්නෙ…රසී…”

ගීතානි සිය සැකය තහවුරු කර ගත්තේ එසේ ය. ඔවුන් දෙදෙනා ට හුවමාරු කර ගන්නට කදිම කටගැස්මක් තිබිණි. ඉනික්බිති කේෂි දිසත් හමු නොවී ම නික්ම ගියා ය.

“දන්නවද වැඩක්..රසී මිස්ට දිසත් එක්ක යාළුයිලු. මිස්ට දිසත් ගෙ වයිෆ්ව හම්බ වෙලා මට කිව්වෙ. ඉටි රූපෙ වගේ ලස්සන කෙල්ලෙක්. දැන් මෙයා ඩිවෝස් එක ඉල්ලනවලු. මේකි පූස් පැටිය වගේ ඉඳගෙන පෙනේ නේද කරල තියෙන දෙයක්..අර යසට හිටිය පවුලක් කඩලලු. දැන් මිස්ට දිසත් ගෙදරිනුත් ගිහින්ලු”

ගීතානි කාර්යාලයේ කිහිප දෙනෙකු සමග ම ඒ එක ම කතාව රස කොට කීවා ය. කට්ටිය ඈ දෙස අමුතු විදිහකට බලනා බවක් අමාරසී ට දැනිණ.

“එහෙම දෙයක් නැතුව ඇති. දැං ඔයා ගිල්ටි ෆීලින් එකක ඉන්න නිසා එහෙම දැනෙනව ඇති”

දිලිනි හා තරුෂි ඒ අදහස ගැන දැරූයේ එබඳු මතයකි. නමුත් ගීතානි ගේ එක කතාවක් පිහි තුඩක් සේ අමාරසී ගේ පපුවේ දැවටිණ.

“හෙණ ගහනවනෙ මේවට. කැමති වෙලා හිටිය මගුලටත් බෑ කියල පවුලක් කැඩුවනෙ දෙයියනේ”

හදවත කීතු වී ගියා සේ අමාරසී ට දැනිණ. දිලිනි ට හා තරුෂි ට ද ඒ කතාව ඇසුණෙන් ඔවුහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. ගීතානි යමක් දැන ගෙන බව දැන් ඉතින් නො රහසකි. නමුත් නිහඬ වෙනවා මිස ඇය නිවැරදි ය කියා කෙසේ නම් ඔප්පු කොට පෙන්වන්න ද?

අමා ට දැනුණේ බරපතල ලැජ්ජාවකි. ගීතානි කී විදිහේ වරදක් කරන්නට කිසි දා ඇයට ඕන වී තිබුණේ නැත. ඇය එහෙම කළේත් නැත. නමුත් නිහඬ වෙනවා මිස ඇය නිවැරදි ය කියා කෙසේ නම් ඔප්පු කොට පෙන්වන්න ද?

කෙසේ වෙතත් කාර්යාලය පුරා මේ ආරංචිය උණු කැවුම් සේ පැතිර ගියේ ය..එය කන වැකුණ හැම කෙනෙක් ම අමා දෙස බැලුවේ වපරැසිනි. කට කොනක වන සමච්චල් සිනහවකිනි. කිසිවෙකු ළඟට ඇවිත් කෙළින් ඇගෙන් කිසිවක් විමසුවා නොවේ. සියලු කතා බහ කෙරුණේ ඈ නැති තැන රහසේ ය. එනමුදු ඒ ඇස් වල ඇය ට දරා ගත නො හැකි අපහාසයක් විය.

“මං කොහොමද දෙයියනේ ඔෆිස් එන්නෙ…”

කාර්යාලය නිම වී පිටතට ආ අමාරසී ගේ ඇස් වලින් කඳුළු කඩා හැළිණ. දිලිනි හා තරුෂි යෙහෙළිය දෙපසින් වූහ. 

“හිත හයිය කර ගන්න. ඔයාට මේකට මූණ දෙන්න වෙයි. ගීතානිට කේෂි සෙට් වුණා කියන්නෙ…බෝම්බ පුපුරල තමයි ඉවර වෙන්නෙ”

එදා බස් එකේදිත් අමා ට හැඬිණ. ඇය ජීවිතයේ ප්‍රථම වතාවට කඳුළුත් එක්ක ගෙදර ගියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles