(අ)හිමි සිහින – 76

නමුත් රක්ෂණ සමාගමත් ඒ වන්දිය ලබා දෙන්න එක පයින් කැමති වුණේ නැහැ.වාහනය විනාශ වී තිබූ අන්දම සහ සමහර කාරණා නිසා ඔවුන් තද විමර්ශනයක් කළා.ඒත් කෙසේ හෝ වන්දි මුදල ලබා ගන්න හැකි වුණා.අවුරුද්දක් පමණ ගරාජයේ තිබූ වාහනය යථා තත්ත්වයට ඊටපස්සේ සෑහෙන ලෙඩ දෙන වාහනයක් බවට පත් වුණා.කොයි මොහොතේ ලෙඩ දෙනවද විශ්වාසයක් නැතුව ගියා.ඊටපස්සේ මම මගේ පළමුවන මෝටර් රථය විකුණන තීරණයකට ආවා.

ඒ මෝටර් රථය මම ගත්තේ පාවිච්චි කළ වාහනයක් හැටියට.අපි දන්න බාසාවෙන් කීවොත් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක්.ඒ වුණත් කාලයක් ඒ කාර් එක අපි එක්ක හිටියා.අලුත් පියවරකට යා යුත්තේ වඩා හොඳට බව මට හිතෙන්නට පටන් ගත්තා.නැවත සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් අරගෙන ඒ වාහනයත් ලෙඩ ගොඩක් වුණොත් කියලා මම හිතන්න ගත්තා.

අර අනතුරෙන් වසරක් ගෙවී ගිහින්.දැන් මම ආර්ථිකව ශක්තිමත්.අලුත්ම වාහනයක් ගන්න හිතාගෙන මම වාහන හෙව්වා.ඒක හරි මිහිරි සතුටක් බව නොකියාම බැහැ.ගැහැනියක හැටියට තමන්ගේ මහන්සිය සහ උත්සාහය මත රැකියාවේ යම් යම් තත්ත්වයන්ට පත් වෙමින් වෙහෙස නොබලා කටයුතු කරමින් ජීවිතයේ ඉලක්ක සපුරා ගැනීම ආනන්දනීය වැඩක්.

සුන්දර සහෝදරියනි,

ආදරය සහ විවාහය ඔබව මහත් අසරණ කරන්නට පුලුවන්.ආදරය කියන මාතෘකාව ඔබ යළි යලිත් රැවටීමකට ලක් කරන්නටත් පුලුවන්.ඒත් ඔබ ගැහැනියක සේ ස්ථාවර වීම කිසිම දවසක නවත්තන්න එපා.මම ආදරය තුළ පාවිච්චි වූ බව කියමින් ඔබ මට දොස් නගන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා.ඔබ කියන සමහර දේවල් ඇත්ත කියලාත් මට හිතෙනවා.එකෙක් පස්සෙ එකෙක් ගැන සම්පූර්ණ විශ්වාසය තැබීම,ආදරය ලැබේවි කියලා හිතීම මෝඩකමක් වෙන්නත් ඇති.මේ විදියට ආර්ථිකව සහ වෘත්තිමය අතින් සාර්ථක වුණාට මම පවුල් ජීවිතය අතින් අසාර්ථකත් ඇති.හැමදෙයක් ගැනම හොඳ වැටහීමක් තිබිලා එහෙම වීම මගේ අඩුපාඩුවක් වෙන්නත් ඇති.

හැබැයි මම විශ්වාස කරන එක කාරණාවක් තියනවා.වඩාම වැදගත් දේ ඔය හැම දෙයකටම දරුණු විදියට මුහුණ දුන්නත් ජීවිතේ කඩා වට්ටා නොගෙන ජීවිතය අත් නොහැරගෙන සියදිවි නසා ගන්න උත්සාහ නොකර මම ප්‍රෞඩ ගැහැනියක් ලෙස ශක්තිමත්ව හා ලස්සනට ජීවත්වීම.අවසානයේ ඇති එකම වැදගත්කම හැටියට මේ කතාවෙන් ඔබට ගන්න පුලුවන් දේ ඒ බව මම හිතනවා.

ඉතින් ඔබටත් පුලුවන්.කිසිම මොහොතක ජීවිතය ගැන බලාපොරොත්තු අත හරින්න එපා.ඔබේ ආදරය ඔබ රිදවූවානම් රැකියාව සාර්ථක කරගන්න.ඔබ වෙනුවෙන් උපයන්න.ඔබට හොඳ රැකියාවක් නැතත් සුන්දර ආදරයක් හිමි නම් ඔබේ සැනසීම කෙසේ හෝ ඔබට ලැබී ඇති බව තේරුම් ගන්න.මේ අපි ගෙවන්නේ ඉතා කෙටි ජීවිත කාලයක්.ඒ ජීවිතය තුළ මොනයම් හෝ කාරණාවක් සැනසීම පිණිස තෝරා ගන්න.

මම අලුත්ම වාහනයක් ගන්න හිතුවේ අන්න ඒ නිසා.පාවිච්චි කරන ලද වාහනයක් නැතිව අලුත්ම වාහනයක් මිලට ගැනීම පිණිස තෝරා ගත් මම පසුවදා උදෑසන සැමියා අවදි කරා.

“මම කාර් එකක් බලල තියෙන්නෙ.අද ඒක ගන්න ඕන.ලෑස්ති වෙන්න..”

පරණ වාහනයක් හොඳ නැතිදැයි ඔහු මගෙන් ඇසුවා.නමුත් ඔහු කියන කතා අහන්නට මට ඕනෑ වුණේ නැහැ.මා මේ කරන්නේ මට දැරිය හැකි වියදමක් බව මම සිතා ගත්තා.මම එදා මිලට ගත් වාහනය එදා දවල් දොළහෙන් පසු තවත් ලක්ෂ හයකින් මිල වැඩි වූ බවත් මට අසන්නට ලැබුණා.Axio Hybrid රථයක හිමිකාරියක වන්නට මට හැකි වුණේ එහෙමයි.අදටත් මම පාවිච්චි කරන්නේ ඒ වාහනයයි.අපි දවසින් දවස දියුණු වෙනවා මිස ආපස්සට නොයා යුතුයි.ඒ නිසාම මට හිතෙන්නේ මම එදා ලැබුවේ ලොකු ජයක්.

පරණ වාහනය විකුණන්න ගියාමත් චමල් හැසිරුණේ සුපුරුදු විදියටම බවත් නොකියාම බෑ.මට දැන් ඒවා මතක් වෙලා හිනාවක් උපන්නත් ඔබ හැමදාම වගේ ඒ කතාව අහලත් ලේ රත් කරගනීවි.

ඒ කතාව අහලා කේන්ති ගන්න එක අපි හෙටට කල් දාමු!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles