කදෝකිමි ඇස් -27

0
3888
කදෝකිමි ඇස්

“ඔයාට මාව එපානම් මෙච්චර කල් නොගෙන ඒක කියන්න තිබ්බා.”

මේඝ නේහාගේ ඒ වචන අසා සිටියේ ඉවසිලිවන්ත ලෙස ය.තාත්තා නේහාට කතා කළ බව දැන සිටි නිසාම ඔහුට නේහා සමඟ පහසුවෙන් ගනුදෙනු කළ හැකි බවක් දැනුණි.නේහා සිටින්නේ තරහින් ද ශෝකයෙන් ද යන්න මේඝට තෝරා ගන්නට නොහැකි ය.නමුත් මේ කතාව මෙතැනින් නැවතිය යුතු බවට ඔහු සිටියේ තදබල තීරණයකිනි.

“ඕනෑම සම්බන්ධයක් තව ඉස්සරහට ගෙනියනවද නැද්ද කියන එක තීරණය කරන්න කාලයත් එක්ක.මම හිතන්නේ අපිට දැන් ඒක තේරෙනවා.අපි නිකන් දුක් විඳින්න ඕන නෑ නේද?”

නේහා එක් දෙයක් දැන සිටියා ය.මේඝ තවදුරටත් මේ කතාව ඉදිරියට ගෙන යන්නේ නැත.ඈ තනිව මේ ප්‍රේමය උසුලා සිටීම ම ගැටලුවක් බව ඊයේ මහේන් ඇයට පැවසුවේ ය.දැන් නේහා ඒ කතාව විශ්වාස කරන්නට තරම් මුහුකුරා ගොස් අවසන් ය.ඇය සිතන්නේ ද මහේන් පැවසූ විවාහය දික්කසාදයකින් කෙළවර වීමේ ඛේදාන්තය ගැන ය.

“මට එක දෙයක් දැන ගන්න පුලුවන්ද?”

නේහා ඇසුවේ ඇයට අසන්නටම කියා ලක්ෂි බලපෑම් කළ කතාවකි.එය නාසාම නික්මෙන්නට නේහාට ද තිබුණේ අකමැත්තකි.

“මාව එපා වෙන්න තරම් ඔයාට ළං වුණු ගෑනුළමයා කවුද?”

මේඝ හිනැහුණේ ය.ආරණ්‍යා සිතෙහි ඇඳී මැකී යද්දී පවා ඇය මෙතැනට පාවා දිය යුතු නොවන බව ඔහු තේරුම් ගත්තේ ය.ඇය තමන් ගැන ආදරයෙන් නොවේ.ඇය මේ කිසිවක්ම නොදන්නී ය.

“නේහා, මට ඔයාගේ ඇටිටියුඩ්ස් විතරයි ප්‍රශ්නෙ වුණේ.මම හිර වුණු ආදරේකට කැමති නෑ.හිරවෙලා ජීවත් වෙන්න මම කැමතිත් නෑ.ඒක මිසක් මම වෙන ගෑනු ළමයෙක් නිසා ඔයාව ඈත් කරේ නෑ..”

එය එලෙසින්ම පිළිගන්නා තරමේ මනසක් නේහාට නොතිබිණ.නමුත් ඇය නික්ම යාමට නැගී සිටියා ය.මේඝ ඇය වැළඳ ගත්තේ ය.

“නේහා, නංගි!! අපි පුංචි කාලේ මොනතරම් හොඳ යාලුවොද? අපි කසාද බඳින්න ඕන කියලා තීරණ ගත්තේ අපේ අම්මලා.ඒ තීරණේම තමයි අපිව ඈත් කරේ.ඒ තීරණේම තමයි අපිට අපිව නැති කරේ.ඒත් ඔයාගේ ඕනෑම දේකට මම ඉන්නව හරිද?”

නේහා නික්ම එන අතර ඒ ගැන සිතුවා ය.ඇගේ හිතට බලහත්කාරයෙන් මේඝ ළං කළේ ඇගේ අම්මා ය.ලක්ෂි ආන්ටි ය.ඔවුන් ජීවිතය වරදන්නට හවුල් වූ බව සිතෙද්දී නේහාට කෝපයක් දැනෙන්නේ අම්මා ගැන ය.බහුතර යුවතියන් සම්බන්ධතාවයක් අවසන් කළ වහා සිදු කරන මුල්ම කටයුත්ත නේහා ද සිදු කළා ය.ඇය මේඝගේ දුරකථන අංකය ද සමාජ ජාලාද අවහිර කර දැමුවා ය.

“මගේ ෆොටෝස් අයින් කරනවද ෆේස්බුක්,ඉන්ස්ටා වලින්.”

ඈ මේඝගෙන් ද ඉල්ලා සිටියා ය.මේඝ එය ඉටු කරන්නට කල් නොගත්තේ ය.එය බොහෝ දෙනෙකුට ප්‍රශ්න රාශියක් නිර්මාණය කළ සිදුවීමකි.ඒ ගැන අසන හැම කෙනෙකුටම මිනිසුන්ට පෞද්ගලිකත්වයක් ඇතැයි කියන්නට මේඝ වග බලා ගත්තේ ය.නමුත් ඔහු එය කෙනෙකු අසන තුරු බලා සිටියේ ය.මොනතරම් මඟ බැලුවද ඒ ප්‍රාර්ථනය ඉෂ්ට නොවී ය.

“මම නේහාගෙන් බ්‍රේකප් වුණා.”

මඟ බැලීම අවසන් වූ තැන මේඝ ආරණ්‍යා ඇමතී ය.ආරණ්‍යා ශෝකි මුහුණු කිහිපයක් එවූවා ය.ඇගේ සිතට කුමක් දෝ සියුම් සතුටක් දැනේ.එහෙත් ඇයට නේහාගේ වේදනාව ගැන මවා ගන්නට ඕනෑ විය.අනිත් කාරණාව එසේ සැහැල්ලුවෙන් ප්‍රේමයකට තිත තැබූ මිනිසෙකු ගැන සිහින මැවීම ගැන ඇයට ඇති වූ බියජනක හැඟීම ය.

“අපි අපිට නොගැළපෙනව නම් අම්මලාගේ තීරණ මත්තෙ ඉන්න ඕන නෑ හිතුවා.”

මේඝ නැවත ලියා එවී ය.ආරණ්‍යා අම්මාගේ සේපාලිකා ගසේ කදෝකිමියන් ලැගුම් ගෙන ඇතිදැයි විමසිලිමත් වූවා ය.මේඝ මේ මොහොතේ සොයන්නේ කදෝකිමි ඇසක් බව ඇයට සිතෙයි.ඇය ඒ හැඟීමේ ඇති අපහසුබවට ප්‍රිය නොකළා ය.

“මේඝට ඕන මාව කදෝකිමියෙක් කරගන්න.අඳුරෙන් එළියට යාගන්න.”

මේඝට පිළිවදන් නොදී ආරණ්‍යා ඒ කතාව මෝක්ෂට යැවී ය.ඔහු එයට පිළිතුරු එවන්නට පණිවිඩය දුටු බවක් පෙනෙන්නට නැත.රෑ එකොළහ වන්නටත් පෙර නිදා ගන්නා සහෝදරයා ගැන කෝප ගනිමින් ආරණ්‍යා මේඝට පිළිතුරක් දිය යුතු අන්දම කල්පනා කළා ය.

“ඔයා ඉන්නේ දුකින්ද?”

ආරණ්‍යා ඒ ප්‍රශ්නය ඇසුවේ සිරිතට වාගේ ය.මේඝ හිමි කරගන්නා උවමනාවක් සිත කොනක තිබුණ ද දැන් ඈ ඒ ගැන සිටින්නේ දෙගිඩියාවෙන් ය.ඔහු සැබෑවටම යහපත් මිනිසෙකුදැයි ඇයට නැවත නැවත සිතා බලන්නට සිතේ.

“නොගැළපීම් එක්ක ජීවත් වෙලා මමයි නේහායි දෙන්නම දුක් විඳිනවට වඩා මේ විදිය හොඳයි.”

මේඝ එසේ එවා තිබිණ.ආරණ්‍යා සහස් ගැන සිතුවා ය.නිසලි කියන්නේම ඔහුගේ ප්‍රේමය පිළි ගන්නට කියා ය.නමුත් ඒ ප්‍රේමය පිළිගත්තානම් තමන්ට ද ඒ කතාව අතරමැදක නවතන්නට සිදු නොවේවිදැයි ඈ ඊළඟට සිතුවා ය.

“මම ආදරේ කරල නෑ.මට එහෙම උවමනාවක් දැනිලාම නෑ.ඒ නිසා මට ගෑනු ළමයෙක් විදියට නේහා ගැන දුක හිතෙනව..”

මේඝට ඇති වූයේ දෙගිඩියාවකි.ඇය තමන් ගැන බිඳීමකදැයි ඔහුට දැන ගන්නට ඕනෑ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here