කදෝකිමි ඇස් -34

0
3677
කදෝකිමි ඇස්

මේඝ සමඟ කතාබහ අවසන් කළ ආරණ්‍යා වහා මෝක්ෂට ඇමතුමක් ගන්නට සිතුවා ය.ඒ අදහස වෙනස් වන්නට හැර පහත මාලයට ගොස් මල්ලිට කතාව කියන්නට සිතුවා ය.නමුත් ඈට කිසිවක් කරන්නට සිත් නොදේ.අම්මාට පැරණි ප්‍රේමයක් තිබීම දරුවෙකුට මෙතරම් කලබල වන්නට හේතුවක් නොවේ.නමුත් ඇය ආදරය කළ මිනිසාගේ පුත්‍රයා දැන් තමන්ට සමීපම චරිතයක් වී අවසන්‍ ය.

ආරණ්‍යාට දැනෙන්නේ මහත් වේදනාවකි.ඈ ඒ වේදනාවෙන්ම අම්මා සොයා ගියා ය.මේකලා ද සිටියේ කල්පනාවක ය.ලක්ෂි මොනතරම් කෝපයකින් සිටියා ද යන්න සිහි වෙද්දී දියණිය ගැන බියකින් පෙළුණු මේකලා කිසිත් නොලියාම පුටුව මත කැරකෙමින් හුන්නා ය.

“පාඩම් කරන්න නැද්ද කෙල්ලෙ?”

අම්මා අසද්දී ආරණ්‍යා කිසිත් නොකියා බිම හිඳ ගත්තේ අම්මාගේ උකුල මත හිස තබමිනි.අනතුරුව ඇය අම්මාගෙන් ප්‍රශ්නයක් අසන්නට තීරණය කළා ය.

“අම්මා ඔයා කවදාහරි කසාද බඳින්න ඕන කියල හිතුවෙ අප්පච්චි වගේ කෙනෙක්ද?”

ආරණ්‍යා කෙසේ හෝ මහේන් ගැන දැන සිටීදැයි මේකලා සිතුවා ය.එය දැන ගත්තා හෝ නැතා දියණිය ඇසූ ප්‍රශ්නයට පැහැදිලි සහ කෙටි පිළිතුරක් දෙන්නට මේකලාට ඕනෑ විය.නමුත් ඇයට බිනරි දුන් අවවාදයක් සිහි වූයේ හදිසියේ ය.

“කවදාවත් අපි කියන වචන ආපහු ගන්න බෑ.ඇහුනු වචන ආයේ දෙන්නත් බෑ.”

ආරණ්‍යා ඇගේ තාත්තා ගැන සිතන ආකාරයක් තිබේ.ඒ හැඟීම එසේ පවත්වාගෙන යන්නට ඉඩ නොදී ජාලිය ගැන තමන්ගේ හැඟීම දියණිය මත පැටවීම මහා අපරාධයක් බව මේකලා සිතී ය.ජාලිය යහපත් තාත්තා කෙනෙකි.ඒ හැඟීම තවදුරටත් එලෙසම පැවතිය යුතු බව මේකලා වැඩිදුරටත් සිතුවා ය.

“අපි හීන මවන හැමදෙයක්ම වෙන්නෙ නෑ පුතේ.අන්න එතකොට අපි හිතන්න ඕන ලැබුණු දේ සතුටින් බාර ගන්න විදිය.”

අම්මා මහේන් සමඟ ජීවත් වන්නට සිහින දකින්නට ඇති බව දැන් ආරණ්‍යාට පැහැදිලි ය.අම්මා සැබෑවටම ජීවත් වෙන්නේ සතුටින්දැයි අසන්නට තරම් වේදනාවක් ඇයට ඇති විණ.

“අප්පච්චි හොඳ මනුස්සයෙක් පුතේ.හොඳ ආදරවන්තයෙක් වුණා හෝ නැතා එයා හොඳම හොඳ මනුස්සයෙක්.අපේ ජීවිත මේ තරම් සතුටින් තියෙන්නේ ඒ නිසා..”

ආරණ්‍යාගේ හිසකෙස් අතරින් ඇඟිලිතුඩු යවමින් සිටි මේකලා ඉනික්බිති තවත් කාරණාවක් ඒ කතාවට එකතු කළා ය.

“ඔයා දවසක ආදරේ තියන හොඳ මනුස්සකමක් තියන කෙනෙක් හොයා ගන්න පුතේ.මටත් වඩා සැනසීමකින් ඉන්න එතකොට ඔයාට පුලුවන්.”

ආරණ්‍යා අම්මාගේ තුරුලට වැදී නෙත් පියා ගත්තා ය.මහේන්ගේ පුතුට ආදරය කරන්නට යාම අම්මාට කරන තදබල අසාධාරණයක් බව සිතමින් ඇය තමා සමඟම තර්ක කරන්නට වූවා ය.

“අර පර්ස් එක ඇහින්ද දරුවා කතා කරනවද පුතේ?”

අම්මා එසේ අසන්නේ ඒ මේඝ බව නොදැන යැයි ආරණ්‍යා සිතුවා ය.නමුත් ඇය මේ විසි එක් වසරටම අම්මාට බොරුවක් කියන්නට නොසිතූ දියණියකි.ඒ නිසාම ආරණ්‍යා හිස ඔසවා අම්මා දෙස බැලුවා ය.

“ඉඳහිට කතා කරනව අම්මා..”

මේකලාගේ මුහුණේ මතු වූයේ සිනාවකි.ඈ ඒ සිනාවෙන්ම තරුණයා මේඝ නොවේදැයි ඇසුවා ය.ආරණ්‍යා හිස සලා ඉවත බලා ගත්තේ අම්මාගේ මුහුණ දෙස බලන්නට එක්වරම ආ අපහසුව නිසා ය.

“ඒ අර මහේන් සේනාධීර කියන ලෝයර්ගෙ පුතා අම්මේ.ලොකු වැඩී ඒ මිනිස්සු.මට යාලුකමක් තියාගන්න ලොකු අදහසක් නෑ.අනික ඔයයි මෝක්ෂ අයියයි ඉන්නකොට මට වෙන යාලුවෝ ඕනෑත් නෑ.”

මේඝ ගැන ආරණ්‍යා සිතන්නේ මෝක්ෂ ගැන සිතන අන්දමට නොවන බව මේකලාට වැටහේ.ඒ අම්මා කෙනෙකුගේ ඉවකි.නමුත් ඒ ගැන උපදින්නට තිබූ කෝපය ලක්ෂිගේ ඇමතුම නිසාම ඇගෙන් තුරන් වී අවසන් ය.නමුත් මේකලා ඉතා ඉවසීමෙන් යුතුව දියණියට ඇමතුවා ය.

“මහේනුයි මායි ඉස්කෝලේ යන කාලෙ බොහොම හොඳ යාලුවො.ආත්තම්මගෙ ටියුෂන් ආවා මහේන්.පස්සෙ පස්සෙ පොඩි ප්‍රශ්න කීපයක් නිසා අපි අතර දැන් හිතවත්කමක් නෑ..”

ආරණ්‍යා වහා අම්මාගේ කතාව මැදට පැන්නා ය.

“අම්මගෙ හිතවත් නොවන මිනිස්සු එක්ක මටත් ඉතින් හිතවත්කමක් තියෙන්න බෑනෙ.”

එය එසේ නොවිය යුතු බව මේකලා කියන්නේ සැනසිලිදායක හඬකිනි.මේඝ සහ ආරණ්‍යා ස්වාධීන තරුණ ජීවිත අයත් දරුවන් ය.දෙමාපිය සටන් ඉදිරියට ගෙන යාම ඔවුන්ට කොහොමටවත් අවශ්‍ය නොවේ.අම්මා එසේ කියද්දී ආරණ්‍යා අම්මා දෙස බැලුවේ පුදුමයෙනි.

“ඔයාට මමයි මෝක්ෂයි නිසාම වෙන යාලුවො ඕන උනේ නෑනෙ පුතේ.ඒක එක අතකින් අසාධාරයක් වුණා ඔයාට.ඔය නිසලිලා සහස්ලා වගේ ළමයි නැතුව හොඳ යාළුවෝ තෝරා ගන්න.”

අම්මා අකමැත්තක් නැත්තේ මිත්‍රත්වයකට පමණදැයි ආරණ්‍යා සිතුවේ අම්මාගේ මුහුණ නොබලන ප්‍රවේසමකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here