(අ)හිමි සිහින -83

මේ හමුවීමට දාසය වසරකටත් එහා දවසකදී මම සුදාරකගෙන් දික්කසාද වූ දවස ඔබට මතක ඇති.උසාවියකටවත් යන්නට බිය වූ ළපටි යෞවනියක ජීවිතය ගැන ගන්නා තීරණ ගැන කිසිම තේරුමක් නැතිව ඔහුගෙන් ඈත් වූයේ ඔහුගේ අම්මා පැවසූ සියල්ලම ඇත්තක් බව සිතමින්.ඒ කතාව මගේ පැත්තෙන් එහෙම වුණත් ඔහු ඒ ගැන කිසිවක්ම දැන සිටියේ නැති බව සුධාරක මට පැවසුවා මට දැනුණේ මගේ හදවත කැබලි දහසකට ගැලවී යන බවක්.ප්‍රේමය එතරමටම බරැති හැඟීමක්.මම සිහිනයෙන්වත් වරදක් කරන්නට නොසිතූ ප්‍රාණසම ආදරවන්තයා මා ගැන එහෙම වැරදි අවබෝධයකින් ජීවත් වූ බව සිතීමම මොනතරමට පීඩාවක් ද!

ජීවිතය හින්දි චිත්‍රපටියක් වූවානම් වැළඳගෙන ඉකි ගසා අතීතය ගීයකින් කියන්නට මට තිබුණා.නැවත ජීවිතය මෙතැනින් අරඹන්නට පිළිණ දෙන්නට තිබුණා.නමුත් ජීවිතය ඒ තරමට සුන්දර නැහැ.ඒ පැරණි තුවාල ගැන අපි සිහි කළේ මහා පෑරුමක් සහිතවයි.

අපට අප ඒ තරමට මඟ හැරුණේ කොහොමද? දෛවය අපට එහෙම කරන්නට ඇත්තේ ඇයි? ඒ මට කිසිම දවසක පිළිතුරු නොලැබුණු ප්‍රශ්න දෙකක්.ආදරය කරන හදවත් දෙකක් මොනතරමේ හේතු කියමින් හෝ කිසිම දවසක වෙන් කරන්නට එපා.මම මේ කතාව කියවන ඔබෙන් එහෙම ඉල්ලන්නේ මුල්ම කොටස්වල මා විඳි වේදනාව ඔබට මතක ඇතැයි මට සිතෙන නිසා.ප්‍රේමයක් බලහත්කාරෙන් අවසන් කිරීම පණ ගැහෙන හදවතක් අමු අමුවේ ගලවා දැමීමක් බඳු වේදනාවක්.වසර ගණනාවක් ගෙවී තිබියදීත් අප නොසංසිඳෙන වේදනාවක ගිලී සිටින්නට ඇත්තේ ඒ නිසාමයි.

“ප්‍රේමය සහ වේදනාව සමාන පද දෙකක්” මට එහෙම හිතෙන්නේ ඒ අතීතය සිහිපත් වෙද්දී.

ඔහු සමඟ අනාගතයක් සහ පවුලක් නැති බව සිතමින් මා ඔහු දික්කසාද කළ බවට සුධාරකට ඔහුගේ අම්මා පවසා තිබූ බව මම දැනගත්තේ ඉතා මෑතකදී.ඒ වේදනාව දරා ගන්නට නොහැකිව කාමරය පුරා මගේ ඡායාරූප අලවමින් නොනවත්වාම බීමට ඇබ්බැහි වූ ඔහු ගත කළ ජීවිතය මගේ හදවතට ගෙනෙන්නේ මහත් වේදනාවක්.රැකියාව කරන මොහොතේ පමණක් සිහියෙන් සිටිමින් අනෙක් සෑම මොහොතකම බීමතින් ඉන්නට ඔහු වගබලා ගත් බව ඔහුගේ වෘත්තිය සඟයන් මට මෑතකදීත් හෙළි කළා.ඒ ජීවිතය කොහොම වෙන්නට ඇතිද?ප්‍රේමවන්තියගේ හැරයාමෙන් ඉනික්බිතිව කිසිම මොහොතක සිහියෙන් සිටීම අකැප බව සිතූ කබීර් සිං මට හමුවූයේ ඉතා මෑතකදී නැරඹූ චිත්‍රපටියකයි.අසීමාන්තික ආදරයක් ප්‍රේමවන්තියට තිළිණ කළ අනතුරුව බේබදුකමින්ම විනාස වන්නට සිතූ ඔහුත් සුධාරකත් අතර සමාන තැන් සොයන්නට මම වෙහෙසුණේ අතීතය චිත්‍රපටිය පරයා මගේ දෑස් මත රඟ දෙන්නට පටන් ගත් පසුයි.

සාමාන්‍යයෙන් නිසා බීමට ඇබ්බැහි වෙන තරුණයන්ව ඒ බීමෙන් ගලවා ගන්න පුලුවන් බව සිතන මැජික් එකක් ලංකාවේ සාම්ප්‍රදායික අම්මලාට තියෙනවා.ඒ කසාදයක් කර දීම.පුතාගේ බේබදුකම සඟවා හෝ “බැන්දාම හරියයි දුවේ” කියමින් ලේලියට පිළිණ දී හෝ ඉක්මනින් විවාහයක සිර කිරීම පුතාට අරක්කු එපා වෙන්න හේතුවක් වෙයි කියලයි අම්මලාගේ අදහස.සුධාරකගේ අම්මාත් එහෙම හිතන්න පටන් අරන් තිබුණා.ඔහු අම්මා ගෙනා එකම යෝජනාවකටවත් කැමති නූනත් අම්මා දිගින් දිගටම ඔහුට කසාද හොයලා තිබුණා.

ඒ අතරේ දවසක ඔහු එක්තරා සාදයකට ගිය අවස්ථාවක අපූරු සිදුවීමක් සිදු වී තිබුණා.මම හැමදාමත් හිතන විශ්වාස කරන පරිදි ඒ සිදුවීමත් දෙවියන්ගේ තීරණයක් වෙන්නට ඇති.සාදයේ මත් බඳුන් අතර සරද්දී සුධාරකට සෑහෙන අතීත සිදුවීමක් සිහිපත්ව තිබුණා.ඒ අපේ විවාහය දා සිදුවූ දෙයක්.

“මම එදා මැණිකෙට පොරොන්දු වුණා,කවදාවත්ම බොන්නේ නෑ කියලා.දැන් එයා මගේ ළඟ නැතත් මම මේ පොරොන්දුව රකින්න ඕනෑ..”

එහෙම සිතූ ඔහු මත්ද්‍රව්‍යවලට සදහටම තිත තබා තිබුණා.මට ඔහු නැවත හමු වූ කාලයේදී මම ඔහුට අයිස් කෝපි එකක් හදලා දුන්නත් “මේවට බ්‍රැන්ඩි දාලද” අසමින් නාසයට ළං කරමින් ඒ ගැන පරීක්ෂාවේ යෙදෙන තරමට ඔහු ඒ හදවතේ පොරොන්දුවට අවංක වුණා.ඒ සිදුවීම මට එක කාරණාවක් පැහැදිලි කරනවා.

“අවශ්‍ය නම් ඕනෑම ඇබ්බැහියකට තිත තියන්න පුලුවන්..”

ඉතින් අතීතයේ දවසක එසේ ජීවිතය අලුත් කරගත් ඔහුට අම්මලා අවසානයේ දී මනමාලියක් සොයා දී තිබුණා.ඒ ඥාතියෙකු ගෙන ආ මංගල යෝජනාවක් මත ඇයව සොයා ගැනීමෙන් අනතුරුව.ඇය ප්‍රතික්ෂේප කරන්නට විවාහයට පෙර සමහර කාරණා යෙදුණත් ඔහු ඇයව විවාහ කරගන්නට ඇත්තේ ද මම නිතරම පවසන සංසාර ගණුදෙනු හන්දාමයි.

ඉතින් ජීවිතේ එහෙම දෙයක්.ඔහු සහ මම නැවත හමුවීම අපේ ජීවිත විශාල පෙරළියකට ඇද දැමුවා.ඔබ ඒ කතාවත් අහන්න මඟ බලන බව මම දන්නවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles