බරපතල රාජකාරියක නියැලී සිටින අමිතගේ දුරකතනය නාද වන්නේ තිරයේ ඔනෙලාගේ නම සටහන් කරමින්.සාමාන්‍යයෙන් ඔනෙලා පණිවිඩයක් තබනවා මිස ඇමතුම් ලබා ගන්නේ නැහැ.කිසියම් හදිසියක් ද කියා අමිතගේ සිත කලබල වෙන්නේ නිවසේ සිටින දෙමාපියන් සහ ඔනෙලා අතර කිසියම් ගැටලුවක් ඇති වී දැයි සිතෙන නිසාවෙන්.
“අමිත,මට විනාඩි කිහිපයක් කතා කරන්න පුළුවන්ද?එක්ස්ට්‍රීම්ලි සොරි ඔයාට හදිසියේ කෝල් කලාට”
ඔනෙලාගෙ හඬ වෙනදා සේම සන්සුන්.එහෙත් අමිතගේ සිත තවමත් නොසන්සුන්.
“කියන්න ඔනෙලා,මේ වෙලාව බිසී වෙලාවක් නෙවෙයි”
“අමිත,මගෙ පෝලන්ඩ් යාළුවෙක් මට උදව් කරනවා.මට එයාගෙ රටට යන්න පුළුවන්.එයා මා එක්කම එකම යුනිවසිටි හිටියෙ.ඉතින් මට එයාගෙ ෆර්ම් එකේ වැඩ කරන්න වර්කින් වීසා වලට යන්න පුළුවන්.මෙහෙ මට ඉන්න එකම හිතවතා ඔයානෙ.ඉතින් ඔන්න මම මුලින්ම මේක කියන්නෙ ඔයාට”
අමිතගේ සිත නොදන්නා කිසියම් සාංකාවකින් වෙලී යන බව ඔහුට දැනෙනවා.ඉතාමත්ම කෙටි කාලයක් තුල මිනිසෙකුට තව මිනිසෙකුගේ හදවතින් කොපමණ ඉඩක් ලබා ගන්නට හැකි වෙනවාද?එය කෙතරම් විශාලද යන්න එම සාංකාව අමිතට සිහි ගන්වනවා.සිය පෙම්වතිය පවා තමාට කොපමණ ඈතද?නිතරම සිය දිවියට ඇය රැගෙන ආවේ කුණාටු පමණක් නොවේද?ඔනෙලා හාත්පසින්ම එයට වෙනස් වෙනවා නොවේද?ඇය පැමිණි දිනයේ සිටම කිසියම් දීප්තියකින් තම නිවස පුරවා ලීමට ඇය සමත්වූ අයුරු විශ්මිත නොවේද?ජීවිතයේ මෙතරම් දීප්තියකින් තම නිවසද හදවතද බැබලුණු යුගයක් අමිතට සිහියට නැගෙන්නේ නැහැ.
“වාව්.මට හරිම සතුටුයි ඔනෙලා.ඉතින් මොනවද මගෙන් වෙන්න ඕනි.ඕනම දෙයක් කියන්න”
“අමිත,ඔයා මට කොච්චර උදව් කලාද කියලා මට හිතාගන්න බැහැ.ජීවිතේ කවදාවත් මට ඔයාව අමතක නොවේවි.මගෙ පවුලේ අය තරම්ම.ඔව් ඔයා කවදා හරි මගේ රටට මම ගෙන්ව ගන්නවා.හැමෝටම ඔයාව පෙන්වනවා.කාත් කවුරුවත් නැති අසරන කෙල්ලකට අත දුන්න වීරයෙක් මේ ලෝකෙ ලස්සන පුංචි දූපතක ඉන්න බව කියනවා.”
පිළිතුරු ලෙස කුමක් කියන්නදැයි අමිතට සිතා ගන්නට බැහැ.විසිතුරු වදන් ඔහුගේ ශබ්ද කෝෂයේ නැහැ.එය ඔහුගේ ස්වභාවය බවත්,ඊට යටින් මහත් මානව ප්‍රේමයෙන් පිරුණු හදවතක් ගැහෙන බවත් ඔනෙලා දන්නවා.මේ කෙටි කලකට අමිත යනු ලෝකයේ මිනිසුන් අතර දුර්ලභ මිනිස් සම්පතක් බව ඇය වටහාගෙන අවසන්.ඔහු උසස් සංගීතය හෝ උසස් කලාව රසවිඳීමට පුරුදු පුහුණු වූවෙක් නෙවෙයි.සිය මිතුරන් සමග නොකා නොබී පවත්වන එවන් සංවාද,තර්ක විතරක ඇයට මහත් සතුටක් ගෙන ආවා.නමුත් මේ මිනිසා ලඟදී දැනෙන රැකවරණය,නිදහස් බව ,තමන්ගේ බව ඒ කිසිම තැනක තිබුනේ නැති බව ඇයට මතකයි.
“එතකොට ඔයාට යන්න තියෙන්නෙ කවදද ඔනෙලා,මට දවස් කීපයක් කලින් දිනේ කියන්න.මම නිවාඩුවක් ඇරෙන්ජ් කරගන්නම්.ඔයාට ට්‍රැවල් කරන්න බඩු මුට්ටු ටිකකුත් ගන්න වෙයිනෙ.අපි හෙට හවස වගේ එලියට ගිහින් ගමු.”
“අනේ අමිත,මට මේ දේවල් ඇති.මුකුත්ම ඕන නැහැ.ඔයා මට මේ කල උදව් හොඳටම ඇති.”
“ඒකට කමක් නැහැ.මම දන්නවා අවශ්‍ය දේවල් මොනවද කියලා.ඒත් ඔයාම බලල ගමු.බෑ කියන්න එපා.අපි යමු.මිත්සලාටත් කොළඹ පුරුදු නැහැ.එයාවත් අපි එක්ක රවුමක් අරන් යමු.එහෙනම් මම වැඩ”
අමිත දුරකතනය විසන්දි කරන්නේ කිසියම් පාලුවක්,කාන්සියක් සමග.ඔනෙලා තිරයෙන් නොපෙනී යන අමිතගේ රුව දෙස බලා සිටින්නේ කඳුළු පිරුණු දෑසින්.ජනේලය අසල පුටුවක දිගාවුන ඇය තම පෙම්වතා පිළිබඳව හෝ මෙතරම් සමීප හැඟීමක් නොදැනෙන්නේදෝයි කල්පනා කළා.මේ මොහොතේ ඔහුට තමා ගලවා ගත නොහැකි වුණත් ඔහු තමන්ව මග අරින්නේදෝයි හැඟුමක් ඇයව වෙලාගෙන තිබුණා.සුසුමක් හෙලූ ඔනෙලා ගේ දෑස් නතරවුනේ ගෙමිදුලේ කිසියම් කාර්‍යයක් කරමින් සිටින අමිතගේ මව මත.ඇය අමිතට වඩා වෙනස් කෙනෙක් බව ඔනෙලා දැනටමත් තේරුම් ගෙන සිටියා.අමිතගේ බලපෑම නිසාවෙන් සිය කටයුතු ගැන ඇය විමසිලිමත් නොවන මුත් තමා ගැන පරික්ෂාවෙන් සිටින බව ඔනෙලා තේරුම් ගෙන අවසන්.ඇඳුමින් පැලඳුමින් මිස හැසිරීමෙන් සිය රටේ ගැමි ගැහැනියකගේ හැසිරීම සහ ඇයගේ හැසිරීමේ ලොකු වෙනසක් ඇයට නම් පෙනෙන්නේ නැහැ.නමුත් ආගන්තුක සත්කාරයේදී නම් ඇය කිසිවෙකුට දෙවෙනි නොවන හදවතකින් යුතුවීම විශේෂයක්.නැවත නුදුරු දිනයක මේ ලස්සන කුඩා දූපතට තමන් එනු ඇති බවට ඔනෙලාට කිසිම සැකයක් නැහැ.
කිසිවෙකු සෙමින් සෙමින් පඩි පෙල නඟින හඬින් ඔනෙලාගේ දැහැන බිඳෙනවා.මිත්සලා සිය දෛනික පාඩම් සඳහා ඇවිත්.දෙදෙනා දෙබස ඉගෙන ගැනීම කරන්නේ එකම මොහොතේ.එය හරිම විනෝදජනක දෙයක්.වයස විසි දෙකක් පමණ වන,තවමත් පෙම්වතකු නැති,කිසිදා දෙමාපියන් සමග මිස තනිවම ගමනක් ගොස් නැති මිත්සලා ගැන ඔනෙලාට ඇත්තේ දුකක්.ජීවිතය එතරම් සිරගත විය යුතුද?තරුණියන් එයට එරෙහිව නැගී නොසිටින්නේ ඇයි?සින්ඩරෙල්ලා ව ගලවා ගැනීමට මෙන් තමන්ව ගලවා ගැනීමට කුමාරයෙක් එනතුරු ඔවුන් බලා සිටිනවාද?
මිත්සලාගේ අතේ බන්දේසියක තිබෙන්නේ සුවඳ හමන කෑමක්.එය උළුඳු වඩේ බවත්,ඉන්දියන් ආහාරයක් බවත් ඇය අමාරුවෙන් ගැට ගසා ගත් ඉංග්‍රීසියෙන් පවසන්නේ හුරතල් ලෙස.ඇය සතු පිවිතුරු අවංක කම ඔනෙලාගේ සිත ගත්තක්.බන්දේසිය ඔනෙලාට පිළිගන්වන ඇය සිනාසෙමින් කතා කරනවා.
“අයියා කිව්වා හවස හය වෙද්දි අපිට ලෑස්තිවෙලා ඉන්න කියලා.ශොපින් කරන්න.මම කවදාවත් කොලඹ ඇවිදලා නෑ.අනික ඔයත් ඉන්නවනෙ.නැත්නම් අයියා එක්ක තනියම නම් කවදාවත් නැන්දා මාව යවන්නෙ නැහැ.”
“ඇයි ඒ.එයා ඔයාගෙ කසින් බ්‍රදර් නෙ.”
“මෙහෙ එහෙමයි අනේ,ඔයාගෙ රටේ වගේ නෙවෙයි.ඔයා මෙහෙ ඉන්නවට නැන්දා හරිම බයවෙලා අයියට බැන්නා.අයියා හරිම හොඳ කෙනෙක්.එයා කාටවත් බනින්නෙ,එකට එක කියන්නෙ නැහැ.ඒත් මේ සැරේ නැන්දට නම් සැරෙන් කතා කළා.ඔයා ඉන්න එක ට මුකුත් කියන්න එන්න එපා කියලා”
ඔනෙලාගේ දෑස් විසල් වෙනවා.අමිත කිසියම් සිත් තැවුලකින් මෙන් පසුගිය දින කිහිපයේ ගතකල ආකාරය ඇයට සිහිවී කණගාටුවක් ඇගේ සිත වෙලා ගන්නවා.
“ඔයාගෙ අයියා තරම් හොඳ කෙනෙක් මම තවම මේ ලෝකෙ දැකලා නැහැ.ඔයාට කියන්න දෙයක් තියෙනවා මිත්සලා.මම සතියක් දෙකක් ඇතුලේ මෙහෙන් යනවා.ටික කාලෙකින් ආයෙමත් ඔයාලව බලන්න එන්නම්කො.අපේ පාඩම් වැඩ අපිට ඔන්ලයින් කරගන්න පුළුවන්.යන්න කලින් මම ඔයාට ඒ කොහොමද කියලා කියලා දෙනවා.”
“අනේ,අපිට පාළුයිනෙ.අනික දැන් නැන්දායි මාමායි හැමෝම ඔයාට හරිම කැමතියි”
“එයාල නිසා නෙවේ මම යන්නෙ ,මට ජොබ් එකක් ලැබුණා.යාළුවෙක් ගාවට තමා මම යන්නෙ.තාම මගේ රටට යන්න පහසුකම් නැහැ.නමුත් ඉක්මනින් යන්න ලැබෙයි කියලා මම හිතනවා.”
මිත්සලාගේ දෑසේ ඇත්තේ මහත් ශෝකයක්.ඇය ඔනෙලාගේ සමාගම මහත් සේ ප්‍රිය කරනවා.ඇය සමග සිටින විට දැනෙන නිදහස් බව ඇයට තම මිතුරියන් සමග සිටිද්දී පවා නොදැනෙන බව ඇය බොහෝ වරක් සිතා තිබෙනවා.
කාමරයට යන ඔනෙලා සිය විශාල සංචාරක බෑග් දෙක තල්ලු කරගෙන එනවා.ඒවා විවිර කරද්දී අමුතුම සුවඳක් නිවස පුරා ගලා යනවා.ලස්සන ලස්සන ඇඳුම්,සපත්තු,මාල වලලු,සන් ග්ලාසස්,පොත්,විලවුන් එහි පිළිවෙලකට තිබෙනවා.ඔනෙලා සිනාසෙමින් කතා කරනවා.
“ඔයා කැමති ඕනම දෙයක් මේකෙන් තෝරගන්න.බෑග් දෙකේම රෝස පාට කොටසේ තියෙන දේවල් මම පාවිච්චි කරලම නැහැ.ඉතින් මාව මතක් වෙන්න ඔයා කැමති දේවල් ටිකක් තෝරගන්න.ඊට පස්සෙ අපි අපේ පාඩම පටන් ගනිමු.”
මතුසම්බන්ධයි…..