(අ)හිමි සිහින -99

මාව ශල්‍යකර්මයට භාජනය කරද්දී පවා නොනවත්වාම ලේ වහනය වෙමින් තිබුණා.මගේ පුංචි දූ මගේ අසලටවත් එන්නේ නෑ

“අම්මා අපා..”

කියන ඇය නැවත කිරි ඉල්ලමින් හඬනවා.ඇයට මේ සිදුවීම තදබල කම්පනයක් බව සිහි වෙද්දී මට දැනුණේ මහත් වේදනාවක්.

ඒ අතර මේ නිසා මගේ මුහුණ විකෘති වුවහොත් මට සිදුවන දේ මම කල්පනා කළා.නැවත මට රූපවාහිනියේ තිරය විවෘත නොවේවි.ඒකට කමක් නෑ!! ඉගෙන ගත් දේ තිබෙන නිසා රැකියාව කරමින් ඉන්නට මම තීරණය කළා.

දාහක් දේ සිතමින් මම ශල්‍යකර්මයට භාජනය වෙද්දී මා හඳුනා ගන්නට රෝහල් කාර්ය මණ්ඩලයත් සමත් වුණා.මා පිසින ජනප්‍රියම ආහාරයක් ගැන කියමින් මට විහිළු තහළු කරමින් ඔවුන් මා සැත්කමට භාජනය කළා.

“මෙච්චර දෙයක් වෙලා ඔයා ඔහොම ඉන්නවානම් සිහි නැති කරන්නේ මොකටද?”

එසේ කියූ නිර්වින්දන වෛද්‍යවරයා මට සම්පූර්ණයෙන්ම සිහිය නැති කළේ නැහැ.මගේ හිස පමණක් හිරි වැටීමට ලක් කර මගේ ශල්‍යකර්මය කරන්නට ඔවුන් ක්‍රියා කර තිබුණා.

“ඔන්න මැහුම් විසි දෙකක් දාලා හමට ක්ලිප් අටක් දැම්මා.ඔයා මොළේ කල්පනාකරලා වැඩේ නොකරන්න මේ විදියට බේරගන්න බැරිවෙනවා.කැඩුණු කෑල්ල තදකරගෙන නාවා නම් එහෙට මෙහෙට හෙල්ලිලා තවත් ඉරිලා හම තුවාල වුනානම් කැළල ලොකුවට පේනවා ඒත් දැන් යාන්තම් හීරුණා වගේ තියෙන්න මම හැදුවා”

වෛද්‍යවරයා සැත්කම අවසානයේ මට එසේ පැවසුවා.ජීවිතය මට දුන් තවත් එක් බැරෑරුම් මොහොතක් මම ජයගෙන තිබුණේ එහෙමයි.
මම පහුවදා කාර්යාලයේ යායුතුම වැඩක් ඇති නිසා මට ගෙදර යන්න අවශ්‍ය බව කියද්දී ඔහු මං දිහා බැලුවේ පුදුමයෙන්.

“ඔයා නම් මාරම මාර මනුස්සයෙක්.”

ඔව් එහෙම වෙන්නත් ඇති.වෛද්‍යවරයා පැවසූ ලෙසම පහුවදා මගේ මුහුණ විශාල ලෙස ඉදිමී තිබුණා.නමුත් මම සැත්කමට දින දෙකකට පසු නිවසට ගොස් මගේ රාජකාරියටත් පිටව ගියා.

මේ අනතුර නිසාම මා බලන්නට චමල්ගේ ගෙදර අය පැමිණියේ චමල්ට හොඳටම දොස් නඟමින්.මා තුවාල වී සිටින්නේ චමල්ගෙන් පහරක් කා බව කාටවත් රහසක් වුණේ නෑ.නමුත් ඒ පහර කන්නට හේතුව ඔවුන් කිසිවෙක් දැන සිටියේ නෑ.

ඒ මොහොතේ කතාවේ සම්පූර්ණ වාසිය තිබුණේ මට.මගේ සැමියා මට අහේතුකව පහර දුන් නිසා මට ඔහු සමඟ වාසය කරන්නට බැරි බව කියමින් හොඳ රංගනයක් ඉදිරිපත් කරන්නට මට ඕනෑවටත් වඩා ඉඩ තිබුණා.නමුත් එහෙම කරන්නේ ඇයි? මම විවාහ වූ සැමියාට පිටුපා පලමු ප්‍රේමවන්තයා සමඟ යළි ආදරයෙන් බැඳුණු ගැහැනියක්.

මට චමල්ගේ පවුලේ අයට කියන්නට දෙයක් තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles