අකල් වැහි -8

හිරුදි ගැබිණියක වීමේ සාදය පැවතියේ ඇගේ කලකිරීම තවත් උග්‍ර කරමිනි.කෑමට යමක් අහිමි මිනිසුන්,උමතු වූවන් සේ දරුවන්ට ඖෂධ සොයන්නන්,ඉන්ධන වෙනුවෙන් පැය ගණනක් තිස්සේ පෝලිම්වල රැඳෙන්නන් දකින සෑම අවස්ථාවකම මේ විනාශ කරන ධනය ගැන ඇයට ඇති වන්නේ වේදනාවකි.ශෝකයකි.එහෙත් කරන්නට කිසිවක්ම නැති වීම ඊටත් වඩා වේදනාවක් බව ඇය දන්නී ය.

“ඕක ඉස්සර කාලේ ඉඳන්ම වෙන දෙයක්නෙ.හිතන්නකො,සිදුහත් කුමාරයා සතර පෙරනිමිති දකිනකම් ලෙඩ වුණු මැරුණු මිනිස්සු දැකලා නෑ කියන එකම.අපේ රටේ වුණත් එච්චරයි.ඒවාගේ අප්ඩේට් වර්ෂන් එනවා මිසක් පාලකයෝ දුක් විඳිනවා අඩුයි හිරූ..”

නිපුනි පැවසුවේ හිරුදිගේ ශෝකය තුනී කරන්නට ය.නමුත් හිරුදි හිස් සිනාවක් නඟා ගත්තා ය.

“මට ඕන වුණේ හොඳට ඉගෙන ගන්න නිපූ.ඒ නැතුව මේ තරුණ ඇමතියෙක් බැඳගෙන සල්ලි උඩ ජීව්තේ ගෙවන්න මට ඕන වුණේ නෑ..”

සමහර යුවතියන් සියල්ල කැප කර ලබා ගන්නට උත්සාහ ගන්නා තැනක් පහසුවෙන් අතැර දමන මිතුරිය දෙස නිපුනි බලා සිටියේ ආදරයෙනි.ඇය හිරුදි ගැන හොඳින් දන්නී ය.සැප සම්පත වෙනුවට ආදරය සොයන මිතුරිය ගැන බියක් ද දුකක් ද ඇයට දැනේ.

“නිපූ,අපි ගෝල්ෆේස් යං..”

හිරුදි පැවසුවේ හදිසියේ ය.නිපුනි මිතුරිය දෙස බැලුවේ තිගැස්සී ය

“ඔයා දැන් පරිස්සම් වෙන්න ඕන.අපි ඔය ගමන නොයා ඉමු..”

නිපුනි එසේ කියද්දී හිරුදිගේ මුහුණ වෙනස් වී ගිය අතර ඇය මිතුරිය දෙස බැලුවේ කලකිරීමෙනි.

“එහෙම කියන්නෙ ඇයි නිපූ,ප්‍රෙග්නන්ට් වුණා කියලා මං ඇඳක් උඩට වෙලා ඉන්නෝන නෑනෙ.බබා ලැබෙන්න අමාරු වෙනකම්ම ගෙදර මිනිස්සුන්ට කන්න හොයන්න මහන්සි වෙන ගෑනු අය කොච්චරක්නම් මේ රටේ ඉන්නවද? අන්තිම මාසෙ එනකන් සාරි පටලන් ඉස්කෝලේ එන ටීචලා කොච්චරක්ද? මං විතරක් ඇයි සැප විඳින්නෙ? මොකක්ද මට ඒකට තියන අයිතිය..”

මිතුරියගේ ආවේගය සර්ව සාධාරණ බව නිපුනිට වැටහේ.එහෙත් ඇයට බලහත්කාරයෙන් පැවරුණු අයිතියක් වේ.ඒ ප්‍රභූ පවුලකට අයත් වීම ය.

“අපි යංද?”

එසේ බැගෑපත් ව ඇසූ හිරුදි ඊළඟ මොහොතේ ඇසූ ප්‍රශ්නයට නිපුනි බෙහෙවින්ම කලබල විය.මේ නිපුනි යාන්තමටවත් නොසිතූ කාරණාවකි.

“අර එදා අපිට මීට් වුණු බෝයි.සිතිජ ඉන්නෙ.මං එයාට පොරොන්දු වුණා හවසට ස්නැක්ස් මොනවා හරි ගේන්න.”

හිරුදි ඔහුට අමතන්නට ඇත්තේ කෙසේදැයි නිපුනි පුදුමයට පත් වූවා ය.නමුත් ඒ ගැටළුවට ද හිරුදි ළඟ පිළිතුරක් විය.ඔහුගේ දුරකථන අංකය නිරන්තරයෙන්ම සමාජ ජාලාවල සංසරණය වේ.එනිසාම එය ඈ අතට පහසුවෙන් ලැබී තිබිණ.

“හිරූ,මං ඔයාට දෙයක් කියන්නම්..”

නිපුනි අසන්නේ අනුකම්පාව මුසු ස්වරයකිනි.ඒ “දෙය” කුමක්දැයි හිරුදි දැන සිටියා ය.නිසල්ට අත් වූ ඉරණම තවත් තරුණයෙකුට අත් වන්නට ඉඩ දීම භයානක බව ඇය දන්නී ය.නිසල්ට ඒ ඉරණම අත් වෙද්දී ඇය චේතනගේ සිත්ගත් තරුණිය පමණි.දැන් තත්වය බොහෝ වෙනස් ය.දැන් ඈ චේතනගේ බිරිඳ ය.කාලවර්ණ උස් සිරුරක් ඇති කෙට්ටු තරුණයාගේ දීප්තිමත් දෑසත් ගැඹුරු ස්වරයත් සිහි කළ හිරුදි මඳහසක් නැඟුවා ය.ඔහු රටට අවශ්‍ය තරුණයෙකි.ප්‍රේමයක පටලවාගෙන ඔහුගේ මාවත අහුරාලන්නට ඇයට ඕනෑකමක් නැත.අනෙක් අතට ඈ දැන් ගැබිණියකි.ඔහු විවාහක ද ප්‍රේමවන්තියක සිටී ද වැනි කිසිවක් ම ඇය නොදන්නී ය.

නමුත් ඇය එක් දෙයක් දැන සිටියා ය.ඔහුගේ ගැඹුරු ස්වරය ඇගේ හදවතෙහි නින්නාද නංවමින් තිබේ.ඒ තීක්ෂණ බැල්ම තවමත් දෑස් මත විදුලියක් සේ මැවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles