එහෙම නොවෙනවා නම් මේ සොබාදහම බොරුවක් හිරූ..”
නිපුනි පැවසුවේ සැබෑ හැඟීමකිනි.හිරුදි හිනැහුණා ය.පව පින සහ සොබාදහම් නීතිය දැන් ඇය විශ්වාස නොකරන තරම් ය.එවැන්නක් තිබිණි නම් මේ කිසිදු දේශපාලකයෙකුට මෙතරම් බලයක් හිමි නොවන වග ඇය විශ්වාස කරන්නී ය.
“ඔයාට මෙතනටම වෙලා ඉන්න හිතෙන් නැද්ද?”
ඇය ඒ වෙනුවට ඇසුවා ය.තුරුණු ජවය උතුරා යන බිම අතැර යන්නට නොසිතෙන තරම් ය.තාරුණ්‍යය රටේ යහපත වෙනුවෙන් වැය කරන්නට හැකි තරුණයන් තවම ඉතිරිව සිටීම ම සැනසීමක් බව ඇය සිතුවා ය.චේතනට උදව් පිණිස දේවතිලක මැදුරට එන තරුණයන් මෙසේ තුරුණු ජවයෙන් අගතැන්පත් උන් නොවේ.මත්පැන් දුඟද වහනය වන,චේතන දකිද්දී හතරට පහට නැවෙන,කඩු පොලු ගෙන තම කැලෑ නිතීය ඉටු කරන ඔවුන් රටට බරක් බව හිරුදි අනන්ත වාරයක් සිතා තිබේ.
“හිරූ ඉන්නවද කියලා බලන්න ආවේ.ඉන්නව නේද? තාම ගිහින් නෑනෙ..”
ඇගේ සිතුවිලි අහුර මැදට ඔහුගේ හඬ පිපුණේ හදිසියේ ය.හිරුදි දෑස් උස්සා සිතිජ දෙස බැලුවා ය.ඔහු දහඩිය වැකුණු මුහුණ අතින් පිස දමමින් බලා සිටියි.
“දේශපාලකයො අතුරුදහන් කරපු මිනිස්සුන්ගෙ ෆොටෝස් අපි අතන තියන්න ප්ලෑන් කරලා තියෙන්නෙ.මම මේ ආවේ නිසල් හෙට්ටිආරච්චිගෙ හොඳ ෆොටෝ එකක් ඔයාලා ගාව තියනවද අහන්න.”
නිසල්ගේ ඡායාරූප දුරකථන ගබඩාවේ ඕනෑතරම් තිබේ. ඒවා ළඟ නොතිබෙන්නට නිසල් සොයා ජීවිතය අතැර දමන්නට තරම් ආවේගයක් මතු වෙන බව හිරුදි සිතුවා ය.කිසිවක්ම නොකියා හුන්නාට ඇය එසේ සිතුවා ය.
“මම ගාව තියනව.දෙන්නං”
ඡායාරූප එවීම පිණිස ඔහුගේ දුරකථන අංකය හිරුදිට ලැබිණ.ඇය ඒ අංකය ගබඩා කරගත්තේ සිහින් සතුටකිනි.සමාජ ජාලා වල සංසරණය වන අංකය සොයා බලා ලබා ගත් නමුත් ඔහු මේ ලබා දුන් අංකය වෙනත් අංකයකි. ඇතැම්විට ඒ ඔහුගේ පෞද්ගලික භාවිතාව පිණිස තිබෙන අංකය විය යුතු වේ.
“පොඩි ප්‍රශ්නයක් අහන්නම්..”
ඔහු අසයි.ලොකු ප්‍රශ්නයකට වුවද මුහුණ දෙන්නට සිතමින් හිරුදි හිස වැනුවා ය.
“ඔයාලා මෙතන ඉන්නේ නිසල් නිසා නෙවෙයිද? එයා ඔයාලගෙ කවුද?”
ඒ තමන්ගේ ජීවිතය වග සිතමින් ඉකි බිඳ හඬන්නට හිරුදිට සිතිණ.නමුත් ඈ වචන සොයන්නට වූවා ය.එහෙත් එයට පෙර නිපුනි කතා කළා ය.
“නිසල් අයියාගෙන් අපි කෙමෙස්ට්‍රි ටියුෂන් ගත්තා.එයා අපිට ගුරුවරයෙක් විතරක් නෙවෙයි හොඳ යාලුවෙකුත්.අපිට තාම එයාගෙ ඇක්සිඩන්ට් එක හීනයක් වගේ.”
භාග්‍යා සමරවික්‍රම සහ නිසල් අතර ආදරය හටගෙන් තිබුණේ ද ඔහු ඇයට ටියුෂන් දුන් කාලයේ වග සිතිජ කියන්නට පටන් ගත්තේ ය.හිරුදි දෑස් හංගා ගත්තා ය.නිසල් නම් සුන්දර තරුණයාගේ පෙම්වතිය වූ හිරුදිට චේතන නම් මස් වැද්දාගේ බිරිඳ වන භාග්‍යා වීම කිසිසේත්ම පහසු තීරණයක් නොවේ.සියදිවි නසා ගන්නට තරම් තමන්ට ධෛර්යයක් නැති වීම ගැන ඇයට ඇතැම්විට ඇය ගැනම සොවක් ද කළකිරීමක් ද උපදී.
“භාග්‍යා බලෙන් මැරි කෙරෙව්වෙ.නිසල්ගේ මරණෙට සාදාරණයක් වුණොත් වැඩිපුරම සතුටු වෙන්නේ එයා වෙයි..”
ඈ එසේ පවසා දීර්ඝ සුසුමක් හෙළුවා ය.මිතුරිය වැළඳගෙන හඬන්නට තරම් වේදනාවක් නිපුනිට ඇති වේ.ඇය හිරුදිගේ අත සියුම්ව අල්ලාගත්තේ සිතිජට නොපෙන්නට ය.
“වේදනාවෙන් ඉන්න ගෑනියෙක්ගේ සාපෙ තරම් කිසිම සාපයක් ලොකු නෑ සිතිජ. ඔයාලා එක්ක කතා කරන්න,එයා ඉන්න සිටුවේෂන් එක කියන්න බැරි වුණාට භාග්‍යා හැම මොහොතකම නිසල්ගෙ මරණෙ ගැන සාප කරනවා.කසාදෙ බිස්නස් එකක් බව දැන දැනම මැරි මැරි ඉපදෙන ගමන් ජීවත් වෙනවා.ඇත්තටම උහුලා ගන්න බැරි වේදනාවන් එයා උහුලාගෙන ඇති.”
නිපුනි එසේ කියාගෙන යන්නට වූයේ ආවේගයෙනි.ඉනික්බිතිව ඇය සිතිජගේ ප්‍රශ්නාර්ථ මුහුණ දෙස බලමින් සන්සුන් වූවා ය.
“භාග්‍යා අපේ ක්ලාස්මේට් කෙනෙක්.මට දුකයි එයා ගැන.”
ඇය එසේ පවසා සුසුමක් හෙළුවා ය.සිතිජ කිසිවක් ම නොපැවසී ය.ඔහු ජන ගඟ මැද නොපෙනී ගියේ කිසිවක්ම නොපවසා ය.