(අ) හිමි සිහින -100

අනතුර ගැන පවසා මා නිහඬ වූ නිසා මගේ හිමි අහිමි සිහින කියැවීම නැවතුණාදැයි ඔබ බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම විමසද්දී මට ඇති වූයේ සතුටක්.මගේ කතාව ඔබේ ආදරයටත් විනිශ්චයටත් එක තරමටම ලක් වෙන කාලයේ ඔබ මගේ කතාව අසන්නට මඟ බැලීමම සතුටක්.

අද සිට නොකඩවාම මගේ කතාව ඔබට කියන්නට අපි සූදානම්.

මම දරුණු ලෙස තුවාල වී රෝහලේ සිටියදී එසේ තුවාල වන්නට හේතුව චමල්ගේ ප්‍රහාරයක් බව අපේ ඥාතීන්ට රහසක් වුණේ නැහැ.ඒත් එහෙම වෙන්නට හේතුව ඔවුන් දැන සිටියේ නෑ.මම මේ සිදුවූයේ ලිස්සා වැටීමක් බවයි රෝහල් පොලිසියට පැවසුවේ.මා ගෘහස්ථ හිංසනයට ලක් වූ බව පවසා චමල්ට නීති මඟින් කටයුතු කරන්නට මට සිතුණේ නෑ.

ඒ මගේ හෘද සාක්ෂිය මට රිදවුම් ලබා දුන් නිසා.

ඔහු බේබදු රස්තියාදුකාරයෙකු බව සත්‍යයක්.මට ඔහු බිඳුවකුදු ආදරය නොකරන බවත් සත්‍යයක්.නමුත් මම කළේ වරදක්.චමල් මගේ නීත්‍යානුකූල සැමියා සහ මගේ දරුවාගේ පියා.ඔහු සිටියදී වෙනත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සදාචාර සම්පන්න නොවන බව මම දැනගෙන හිටියා.එනිසා මට කිසිම මොහොතක ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් චමල්ට දඬුවම් කරන්නට ඕනෑ වූයේ නෑ.

“මම වැරැද්දක් කරලා ඉන්නේ ඒ නිසා ඒ වැරැද්දට චමල්ගේ ආවේගය මං දරා ගන්න ඕනෑ.මෙයාට විරුද්ධව පොලිසි යන්න මට බෑ.”

මම මගේ හිතටම තදින් පවසා ගත්තා.ඒ වගේම මම එය ක්‍රියාත්මක කළා.

මම මහා මෝඩියක බව මගේ අති සමීපතම අය මට කියූ බව ඇත්ත.ඒත් මේ තුවාලය විවාහක බිරිඳක ලෙස වරදෙහි බැඳුණු “පව”ට මට ලැබුණු දෙයක් බව මම සිතුවා.එය මගේ හිතට සහනයක් වුණා.

“චමල්ට කිසිම දොසක් කියන්න එපා.අපි අතර ප්‍රශ්නයක් තියනවා.අපි ඉන්නේ ගැටුමක.මම ඉස්පිරිතාලේ ඉඳලා ආවම ඔයාලාට ඒ ගැන කියන්නම්.එයාගේ ආවේගයට හේතුවක් තියනවා.”

මම චමල්ට දොස් කියන්නට උත්සාහ ගත් ඥාතීන්ට එහෙම කියමින් ඔහුව බේරා ගත්තා.ඔහුට ඉක්මන් කෝපය ඇතුවා වාගේම මා අතද වරදක් තියනවා. ඒ නිසා මට ඔහු දෝෂාරෝපණයට ලක් නොවී බේරා ගන්නට අවශ්‍ය වුණා.

“ඔයාට හානියක් කරොත් මං ඔය මිනිහාගෙ අඬු කඩනවා.”

සුධාරක නම් නිතරම එසේ පැවසුවා.ඒත් මම ඔහුවත් සන්සුන් කර ගත්තා. චමල් මට නොසලකන තරමටම මමත් ඔහුට වරදක් කරන බව සුධාරකට පහදන්නට මම වග බලා ගත්තා.

ඒ අනතුර මහත් කම්පනයක් වූයේ මට විතරක් නෙවෙයි.මගේ පුංචි දූටත් එය මහත් කම්පනයක් ඇති කළා.”අම්මා කුක්කු අපා.අම්මා ලේ ලේ..” කියමින් මගේ අසලටවත් ඒම ඇය ප්‍රතික්ෂේප කළා.ඒ සිදුවීමට දැන් වසර ගණනක් ගෙවී ගිහින්.නමුත් ඇය තවමත් ඒ සිදුවීම සිහි කරනවා.

මම තුවාලය තිබියදීම මගේ රාජකාරි ආරම්භ කළා.මා සිතූ පරිදි ඉන් මගේ මුහුණට හානි නොවූ නිසා මට රූපවාහිනී ව්ැඩසටහන් කරන්නට ඒ තුවාලය හානියක් වූයේ නෑ.මා කැඩුණු කෑල්ල තරයේ අල්ලාගෙන සිහියෙන් රෝහලට නාවානම් එය සිහිනයක් වන්නටත් ඉඩ තිබුණා.අනතුරක් ඕනෑම මොහොතක සිදු වන්නට පුලුවන්.අප එළඹ සිහියෙන් කටයුතු කරන්නේ නම් ඒ වගේ දරුණු අනතුරකින් පවා අපිව බේරා ගන්නට තරම් දක්ෂ වෛද්‍ය කණ්ඩායම් අපේ රටේ ඉන්නවා.

මගේ දියවැඩියා තුවාලයත් මේ අනතුරත් මට සිහි කරන්නේ එකම එක කාරණාවක්.මීට වසර කිහිපයකට ඉහතදී අසංකගේ අම්මා බලා ගන්නට මම ඉදිරිපත් වූයේ කිසිම මැසවිල්ලකින් තොරවයි.මට මේ පල දෙන්නේ ඇය බලාගත් පින වග මම දැන සිටියා.රෝගී සයනයේ හිඳියදී පවා ඇය මට ආශිර්වාද කළා.ඒ නිසාම මේ වතාවෙත් මම වැඩි කරදර නොලබා සුව වන්නට ඇති බව මට අනේක වාරයක් සිතුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles