කාලය ඊයක වේගයෙන් ගලා යන්නේ ජීවිතය වඩාත් සුවපහසු කාලයන් හිදී ය.ඉතා අසීරු කාල ගලා යන්නේ ඉදිබුවෙකුගේ වේගයෙනි.තත්පරයක් පවා පැයක තරම් වේගයක් ගන්නා බව දැනෙමින් තිබුණේ සිතිජ ප්‍රමුඛ සටන් සගයන්ට පමණක් නොවේ.හිරුදිට ද එය එසේ වෙමින් තිබිණ.ඇයට කාලය එක තැන නතරව ඇති වගක් දැනේ.කිසිවක්ම වෙනස් නොවී තිබියදී ඇයට රටින් පලා යන්නට තරමේ ආවේගයක් හදවතට දැනෙමින් තිබිණ.
“මෙතන ඕනෑම දෙයක් වෙන්න පුලුවන් තැනක්.ඒ නිසා මෙතනට එන්න එපා..”
සිතිජ එසේ පැවසූ මුත් හිරුදිට එය පිළිගන්නට හිතක් නොතිබිණ.
ඇය ගාලු මුවදොර පිටිය වෙත නිතරෝම යන්නට පටන් ගත්තා ය.
නූපන් බිළිඳාට ඒ සටන ඇසෙන්නටත් දැනෙන්නටත් සැලස්වීම ඇගේ එක් අරමුණකි.හොරකම මැරකම වෙනුවට සටන් කිරීම සහ සාධාරණත්වයට දරුවා යොමු කරවීම ඇගේ එකම සිහිනය වී තිබිණ.නමුත් ඈ තුළ තවත් අහිංසක ආශාවක් විය.ඒ සිතිජ හමු වීම ය.කඩියෙකු මෙන් එහෙ මෙහෙ ඇවිදින,හමු වෙන ඕනෑම මොහොතක සුහද සිනාවක් නෙත් මත අතුරන තරුණ නීතිවේදියා දැකීම හැම වේදනාවක්ම අමතක කරවන වග ඇයට වැටහෙමින් තිබිණ.ඔහු එතරමටම ඇස නළවන දසුනකි.එය ඇයට පමණක් පොදු හැඟීමක් නොවිණ.ඔහු ඒකපාර්ශවික ප්‍රේමය ද “ක්‍රෂ් එක” ද කරගත් තරුණියන් ඔහු වෙනුවෙන් ලියන දිගු ෆේස්බුක් සටහන් ඇය බලා සිටියේ ආශාවෙනි.
“ඔයාට මතකද ඉස්සරෝම චේතන ඡන්දෙ ඉල්ලපු පාර..”
වෙසක් පොහොය නිමිති කරගෙන වෙසක් පහන් තනමින් හිඳින සටන් සගයන්ට උදව් දෙමින් සිටියදී හිරුදි නිපුනිගෙන් විමසුවා ය.සව් කොළයක රැළි කපමින් සිටි නිපුනිට එක් වරම සිනාවක් නැඟිණ.
“චේතන දේවතිලකට පෙම් කරන කෙල්ලන්ගේ සංගමය කියලා ෆේස්බුක් ගෘප් එකකුත් හැදුණා.”
නිපුනි එසේ කීවේ සිනාව සව් කොළය මත වැටෙන්නට ඉඩ හරිමිනි. මුව ආවරණය නිසා හිරුදිගේ සිනාව නොපෙනුණ හිරුදි සරදම් සිනාවක් නැඟූ වග නිපුනිට ඉන් අනතුරුව සිතිණ.
“චේතනට පිස්සුවෙන් ක්‍රෂ් වුණු කෙල්ලො වගේද දැන් සිතිජට ආදරේ කෙල්ලො ගොඩ.එයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට හැමදාම ටැග් වෙන පෝස්ට් බලන එක මාර සතුටක්.වැඩක් කරන මනුස්සයෙක් වීරයෙක් වෙන එක මාර ලස්සන වැඩක් නිපූ..”
හිරුදි එසේ කියා කැටයමක් කපන්නට වූවා ය.වෙසක් පහනට අවශ්‍ය චාම් සැරසිල්ලකි.ආටෝප ඕනෑ නැත.
“මිනිස්සු බොල් පිළිම වීරයෝ කරගන්නේ ඇත්ත වීරයෝ නැතුව ගියාම.ඇත්ත වීරයෝ ඉන්නවනම් මිනිස්සුන්ට බොල් පිළිම වීරයෝ කරගන්න ඕනෑ වෙන් නෑ..”
ඇය ඒ වදන් කීවේ ජාතික ධජ ළෙලවෙන අවකාශය දෙස බලමිනි.
වීරයන් නැවත බිහි වෙමින් පවතී.ඒ වීරයන් මහ පොළොව තුළ රැක ගත යුතු වග ඇයට සිතිණ.
“දැන් සිතිජ ඔයාගෙ කිට්ටු යාලුවෙක් වෙලා නේද හිරූ.මට ඉරිසියාත් හිතෙනව.මගේ තැන සිතිජට ලැබෙනවද මන්දා.”
නිපුනි සකසා අවසන් වෙසක් පහනක් එල්වන අතර කියද්දී හිරුදි හිනැහිණ.ඔහු ඉතා වේගයෙන් සමීපතමයෙකු වගට පත් වෙමින් හිඳී.නමුත් ඔහු නොදන්නා කාරණා ඇගේ ජීවිතයේ මොනතරමට වේදැයි හිරුදි සිතුවේ වේදනාවෙනි.ඔහු ඈ විවාහක ගැහැනියක වග ද ගැබිණියක වග ද විවාහය තුළ අසන්තෝෂයෙන් වග ද දනියි. නමුත් ඇගේ අසන්තෝෂයට හේතුව ඔහුට කියන තරමේ ධෛර්යයක් ඇයට කිසිසේත්ම නොවේ.
“තේ බොන්න.”
උණු තේ කෝප්පය රැගෙන ආ සිතිජගේ ඇස් බැල්ම හිරුදිගේ කල්පනා සයුර කළඹාලන්නට සමත් විණ.ඇය කිසිත් නොකියාම හිනැහී තේ කෝප්පය අතට ගත්තා ය.
“අද එළි වෙනකන් වැඩ තියනව.ඒකට කමක් නෑ ඔයාලා රෑ වෙන්න කලින් ගෙදර යන්න.”
සිතිජ එසේ කීවේ නිපුනිට ය.හිරුදිට සමහර දේ පවසා තේරුමක් නැත.ඇය කරන්නේම එහි විලෝමය ය.
“අපි තව ටිකකින් යන්නම්.”
නිපුනි වහා ඒ ඉල්ලීම පිළි ගත්තා ය.හිරුදි සංකූලතා ඇති ගැබිණියක නොවේ.නමුත් සිතිජ කියන්නේ සත්‍යයකි.මේ ඕනෑම දෙයක් සිදුවිය හැකි බිමකි.
“සිතිජ ඔයා ගැන හරියට හිතනව කියලා මට හිතෙනව.ඒ ඇස්වල ඇඳෙන දේ කියවන්න මට හිතෙනව හිරූ.ඒත් මට බයයි..”
රාත්‍රිය එළඹෙන වග කියමින් පැතිර යන අඳුර අතර නිපුනිගේ හඬ නැඟී ආයේ ය.හිරුදි කිසිත් නොකියා අඳුරට හිනැහුණා ය.ඔහු හොඳ මිනිසෙකි.නමුත් මේ භවය ඔහු වෙනුවෙන් වෙන් කරන්නට නොහැකි වග ඇය දනියි.චේතන දේවතිලක විවාහාපේක්ෂිත තරුණිය වෙනුවෙන් එක් තරුණයෙකුට දිවි අහිමි කළේ ය.බිරිඳ වෙනුවෙන් තව තරුණයෙකුට දිවි අහිමි කිරීම ඔහුට ඉතා සරල දෙයකි.අනිත් කාරණාව මේ මොහොතේ සිතිජ කොහොමටත් ඔවුන්ගේ කෝපයට ලක් වූ මිනිසෙකි.
“හැම බැඳීමක්ම ආදරෙන් ඉවර වෙන්නේ නෑ නිපූ.ආදරෙයි යාළුකමයි මැද්දෙත් බැඳීම් තියනවා.”
ප්ලේටෝනික ප්‍රේමය ගැන නිපුනිට පහදන්නට හිත නොවේ.නමුත් මේ බැඳීම එවැනි තැනකට ගමන් කරමින් තිබෙන වග හිරුදිට සිතුණේ හදිසියේ ය.අනුරාගය ද ආදරය ද නොඉක්මවා සමාන අරමුණු සහ දැඩි විශ්වාසවන්ත භාවය මත පදනම් වෙමින් සිතිජ තමන්ට ළං වෙමින් හිඳින වග ඇය දන්නී ය.
“ඒත් අපි අතර හොඳ විශ්වාසයක් තියනව කියලා කියන්නෙත් කොහොමද? මම ගැන ඔයා දන්නෙ නෑ.දැන ගත්තු දවසට මම ඔත්තු කාරියෙක් කියලා ඔයා මාව සම්පූර්ණයෙන් අහකට දායි.යාලුකමක් ඇති වෙන්නෙත් විශ්වාසෙ වැදගත්.ඇත්තටම බැලුවම මගෙ කිසිම ඇත්තක් නෑනෙ.”
හිරුදිට තවත් මෙතැන රැඳෙන්නට අපහසුවක් දැනිණ.සාහිත්‍යය ද අනාගතය ද දේශපාලනය ද ගැන ඕනෑතරම් දොඩමළු වෙමින් මෙතැන රැඳෙන්නට හැකි වුව ද තමන්ගේ රහස හදවත පීඩාවට පත් කරන මොහොතක දී ඇයට සිතිජ දෙස කෙලින් බලන්නට නොසිතේ.එය මහා පීඩාකාරී හැඟීමකි.
“මට ඔයා ගාවට එන්න බැරිද?”
ගාලු මුවදොර පිටියෙන් නික්මී එන අතරමග ඇය අක්කාට එසේ ලියා වට්ස් ඇප් පණිවිඩයක් යැව්වා ය.අක්කා වෙත ගැලවීම පිණිස යා යුතු කාලය එළඹෙමින් පවතින වග ඇගේ ඇතුළු හදවත හඬ නඟමින් තිබුණේ රැස්කමින් සිටින ජනතාවගේ සටන් පාඨවලටත් වඩා උස් හඬිනි.