Chat With Star – ටීෂා පෙරේරා

ටීෂා පෙරේරා කියන්නේ කාලයක් අපේ සංගීත ප්‍රසංග වල නැතිවම බැරි ගායිකාවක්. තමන්ටම ආවේණික ශෛලියක් වගේම තමන්ටම කියලා අපූරු විලාසිතාවක් තියෙන ටීෂාගේ දැන් පදිංචිය ඇමරිකාවේ.රටේ පවතින ගැටලු සහගත කාලයේදී වුණත් ලංකාවට ආපු ටීෂා ලංකාවේදී අලුත් ගීතයක් නිර්මාණය කළා.ඇමරිකාවේ පදිංචි වුණත් ටීෂාට තාමත් මේ රටේ මිනිසුන්ගේ දුක වේදනාව හඳුනනවා.ඒ නිසාම ලංකාවට ආපු ටීෂා තමන්ව ඔසවා තැබූ ආදරණීය මිනිසුන් සමඟ එකට එකතු වුණා.සති කීපයකට පසුව ආයෙත් ඇමරිකාවට ගියපු ටීෂා ගේ ජීවිතය ගැන SmartLady වෙනුවෙන් රටවල් දෙකක හිඳ අපි කතා කළා.

ටීෂා,දැන් කොහේද පදිංචි වෙලා ඉන්නේ?

දැන් මම පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ ටෙක්සස් නුවරයි. 

කොයි කාලේදීද ටීෂා ලංකාවෙන් විදෙස් ගත වුණේ?

ලංකාවෙන් මම මුලින්ම විදෙස් ගත වුණේ 2008 අවුරුද්දේ. මම මුලින්ම එංගලන්තයටයි ගියේ.මම එංගලන්තයේ ප්‍රසංග කීපයක්ම පැවැත්වුවා.මාස හයක් පමණ කාලයක් එංගලන්තයේ හිටපු මම ආයෙත් ලංකාවට ඇවිත් සති තුනකින් විතර ආයෙත් ඇමරිකාවට ආවා. එතැන් ඉඳන් මම ඇමරිකාවේ හිටියේ. 

මුලින්ම ලංකාවෙන් එංගලන්තයට ටීෂා යන්න හිතුනේ ඇයි?ඒ වෙද්දි ටීෂා කියන්නේ මෙරට ප්‍රසංග වේදිකාවේ නැතිවම බැරි ගායිකාවක්?

ඔව්. මම මුලින්ම එංගලන්තයේ ප්‍රසංග කීපයකටම සහභාගි වුණා. මාස තුනක කාලයකට මම මුලින්ම ගියේ. ඒ ප්‍රසංගයෙන් ලැබුණු මුදල් ඒ රටේ ශ්‍රී ලාංකිකයන් අපේ රටේ දුප්පත් අසරණ මිනිසුන්ට සල්ලි එව්වා. ඒ වෙද්දීත් මට ලෝකය වටේ ඇවිදලා බලන්න ලොකු ඕනෑකමක් තිබුණා. මම ඒ වෙද්දීත් ප්‍රසංග වලට බොහෝ රටවල් වලට ගිහින් හිටියේ. ඉතින් මාස තුනකට පස්සේ ඒ ශ්‍රී ලාංකිකයන් මගේ වීසා එක තව මාස තුනකට දීර්ඝ කලා. ඒ මාස තුන පුරාවටත් එංගලන්තයේ බොහෝ ප්‍රසංග ගණනාවක්ම අපි කලා. මට මුල ඉඳන්ම ඇමරිකාවට යන්න ලොකු ආසාවක් තිබුණා. 2007 අවුරුද්දේදී මම මුලින්ම ප්‍රසංගයකට ඇමරිකාවට ඇවිත් තිබුණා. අපි ප්‍රාන්ත හයක ප්‍රසංග පැවැත්තුවා. කවදාහරි දවසක ඇමරිකාවේ ජීවත් වෙන්න මම ආස කලා. ඒ වෙනුවෙන් මම හොඳට ඉගෙන ගත්තා. 2009 අවුරුද්දේ මුල් කාලයේදී මම ආයෙත් ඇමරිකාවට ආවා. 

අද වෙද්දී ටීෂා ඇමරිකාවේ සුපිරි ජීවිතයක් ගත කරන කලාකාරියක්. නුවර ඉදන් කොළඹට ඇවිත් එදා ගායිකාවක් වෙන්න ටීෂා දුක් වින්දද?

අම්මෝ ඔව්. පුදුම දුකක් වින්දේ. නුවර ගෙදරදී මම කිසිම දෙයක් තනියම කරගන්න බැරි විදිහටයි හැදුනේ. ඒ හැම දේටම ගෙදර උදව්වට කට්ටිය හිටියා. අඩුම තරමින් අපේ ගෙදරදී අම්මා මට කොස්සක්වත් අල්ලන්න ඉඩ දුන්නේ නැහැ. එහෙම හිටපු ඒ ජීවිතය මට වෙනස් කරගන්න ඕන වුණා. ඒ ජීවිතෙන් නිදහස් වෙලා මගේ ජීවිතේ  නිදහසේ තනියම ගොඩ නගන්නට  ඕන වුණා. ඒක මට ලොකු අභියෝගයක්. නුවර අපි හැඳුණු පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් කොළඹ තියෙන්නේ කියලා මම අහලයි තිබුණේ. ඉස්සර මම නුවර ඉඳන් කාර් එක පැදගෙන කොළඹ ආවේත් හරිම බයෙන්. ගෙයක් ඇතුලේ හිටපු, බාලිකා පාසලකට ගියපු මට කොළඹ නුහුරු අත්දැකීමක් වුණා. මට තාම මතකයි මම අම්මටයි තාත්තටයි හොරෙන් තව ගෑණු ලමයි දෙන්නෙක් එකතු කරගෙන “we three girls ” නමින් සංගීත කණ්ඩායමක් පවා හදලා ගත්තා. අපි ගෙදරදී සංගීතය පුරුදු වුණේ හොරෙන්. 

නුවර ඉදන් ටීෂා කොළඹට ආවේ ඇයි? 

මම කොළඹට ආවේ මගේ හීනය හැබෑ කර ගන්නයි. මට ගායිකාවක් වෙන හීනයක් තිබුණා. ඒකට මගේ අම්මාගෙන් තාත්තාගෙන් කිසිම සහයෝගයක් තිබුණේ නැහැ. “මෙයාට ඉන්න බැහැ. මෙයා බඩගිනි වුණාම ගෙදර ඒවි මම කෙල්ලෝ හැදුවේ ස්ටේජ් වල නටන්න නෙමෙයි “ කියලයි තාත්තා කිව්වේ. ඒ හැම බාධාවක්ම මැද්දේ මම කොළඹට ආවා. 

ඒ වෙද්දි ටීෂා දන්න කියන කෙනෙක් කොළඹ හිටියාද? 

නැහැ. කවුරුවත් හිටියේ නැහැ. මගේ නෑදෑයෝ කොළඹ හිටියට මම ඒ අය ලඟට ගියේ නැහැ. කොළඹදී මම නොකා නොබී හිටපු දවස් තිබුණා. සල්ලි තිබුණට ඒ සල්ලි වියදම් කරන්න බය වුණා. මම මුලින්ම ගල්කිස්සේ පොඩි කාමරයක් රුපියල් දාහකට කුලියට ගත්තා. ඒක චූටිම චූටි කාමරයක්. ඒ කාලේ මම ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. අඩුම තරමින් මගේ “රන් වන් රන් මාල පළදා “ගීතයත් ප්‍රචාරය වෙලා තිබුණේ නැහැ. 

ඒ කියන්නේ නුවර සැපවත් ජීවිතයක් ගත කරපු ටීෂා කොළඹදී දුක් වින්දා? 

ඔව්. ගොඩාක් දුක් වින්දා. හැබැයි ඒ හැම දුකක්ම මට මගේ ඉලක්ක වෙත යන්න ලොකු හයියක් වුණා. සමහර දාට නුවර ඉඳන් අම්මා අයියගේ අතේ ලොකු බත් පාර්සලයක් එව්වා. අම්මා තාත්තාට වත් අයියාටවත් හොරෙන් රුපියල් දෙදාහක් විතර දාලා යි බත් එක බැඳලා තිබුණේ . බත් එක දිගහරිද්දී මම මුලින්ම සල්ලියි දැක්කේ. ඒ වගේ සහයෝගයක් අම්මගෙන් මට ලැබුණා. අතේ තියෙන සල්ලි ටික මම කොළඹදී වියදම් කරන්න බය වුණා . මට ගෙදරින් පොඩි කාර් එකක් අරගෙන දීලයි තිබුණේ. ඒකෙන් තමයි මම කොළඹට ආවේ. 

ටීෂාව ජනප්‍රිය කලේ “රන්වන් රන් මාල” ගීතයයි. එහෙම නේද? 

ඔව්. හැබැයි ඒ ගීතයේ ලොකු කතාවක් තියෙනවා. ඒ ගීතය රෙකෝඩ් කරලා මම හැම නාලිකාවකටම සීඩී එක ගානේ අරගෙන ගියා. “ඕක ඉක්මනට ජනප්‍රිය කරගන්න ක්‍රම සහ විධි තියෙනවනේ එහෙම කරලා බලන්න  “කියලයි ඒ බොහෝ තැන් වලින් කිව්වේ.එතකොට “මේක මහ අමුතු තැනක්”  කියලා මට තේරුණා. මට එහෙම ජනප්‍රිය වෙන්න ඕන වුණේ නෑ. “මේ සිංදුව අහලා බලන්න. හොඳනම් ප්‍රචාරය කරන්න “කියලයි මම ඒ හැම තැනකටම කිවිවේ. මට කවදාවත් වැරදි වැඩක් කරලා ජනප්‍රිය වෙන්න ඕන වුණේ නෑ. ලඟ පාරෙන් යනවාට වඩා හරි පාරෙන් මේ ගමන යන්න මට ඕන වුණා. ඒ වෙද්දි මම “we three girls “සංගීත කණ්ඩායමත් නතර කරලයි තිබුණේ. එයාලවත් බලාගන්න මට පුළුවන්කමක් තිබුණේ නැහැ. කොහොම හරි අන්තිම රේඩියෝ චැනල් එකට මම ගියේ “මේක තමයි මම මේ සම්බන්ධයෙන් යන අන්තිම වතාව “කියලා හිතාගෙනයි.මෙතනදීත් මට පෙර පරිදිම කිව්වොත් මේ හැමදේම අතහැරලා මම ආයෙත් නුවර යනවා කියලා තීරණය කරලයි තිබුණේ. 

ඒ අන්තිම අවස්ථාවෙන් ජීවිතේ වෙනසක් වුණාද? 

ඔව්. එදා සීඩී එක දීලා “පුලුවන්නම් මේ සිංදුව අහලා බලන්න “කියලා මම එලියට ඇවිත් වාහනයට නගිද්දීම මට කෝල් එකක් ආවා. “ටීෂා වාහනේනම් ඉන්නේ අපේ චැනල් එක දැන් අහන්න “කියලා ෆෝන් එක තිබ්බා. විශ්වාස කරන්න…විනාඩි පහක් ගියේ නැහැ ඒ චැනල් එකෙන් මගේ “රන් වන් රන් මාල පළදා “ගීතය ප්‍රචාරය වුණා. ආර්ථිකව, මානසිකව, දුක් විඳලා හිටපු මට හිතාගන්නවත් බැරි වුණා. ” ජනප්‍රිය වෙන්නේ නැතිව ගෙදර එන්නේ නැහැ” කියලයි මම ගෙදරට කියලා තිබුණේ. ඒ හැම හීනයක්ම අතහැරලා ගෙදර යන්න හිටපු මට මගේ ගීතය ගුවන් විදුලි නාලිකාවකින් ප්‍රචාරය වෙද්දී හිතා ගන්නවත් බැරි වුණා. මම වාහනයේ දොර වහගෙන තනියම ගොඩාක් ඇඬුවා. එදා ඉඳන් ඒ ගීතය හැම නාලිකාවකින්ම එක දිගට ප්‍රචාරය වුණා. ඒ නිසා”කවුද මේ ටීෂා ” කියලා හැමෝම හොයන්න පටන් ගත්තා. ප්‍රසංග බොහෝමයකටම මට එක දිගට ආරාධනා ලැබුණා. ඊට පස්සේ තමයි මම නුවර ගියේ.බඩගින්නේ හිටියත් මම ජනප්‍රිය වෙනකම් නුවර ගියේ නැහැ. ඒ තරමටම මම මගේ හීනය හැබෑ කර ගන්න ලොකු වෙහෙසක් ගත්තා. සමහර දවස්‌වලට බඩගින්න වැඩි කමට බඩ කෑ ගැහුවා. සිංදුව රෙකෝඩ් කරද්දී බඩ කෑ ගහද්දි “ටීෂා…ගිහින් කාලා එන්න. අපි බ්‍රේක් එකක් ගමු “කියලා ස්ටුඩියෝ එකෙන් කිව්වා. මම මගේ වාහනයට ගිහින් වතුර බෝතලයෙන් ගොඩාක් බීලා ටික වේලාවකට පස්සේ ආයෙත් ස්ටූඩියෝවට ආවා. ඒ තරමටම ඒ දුක් විඳපු කාලය මට හොඳට මතකයි. බඩගින්න මොකක්ද කියලා මම හොඳට දන්නවා.  

ටීෂාටම වෙන්වුණු විලාසිතාවක් ඒ කාලේ ඉඳන්ම ටීෂාට තිබුණා? 

ඔව්. ඉස්සර ඉඳන්ම මම කොණ්ඩය කපන්න හරි ආසයි. හැබැයි අම්මා ඒකට ඉඩ දුන්නේ නැහැ.ඉස්සර මට දිඟ කොණ්ඩයක් තිබුණා.මම හැමවෙලේම ඇමරිකන් වීඩියෝ බැලුවා. ඒ විදිහට සිංදු කියමින් නටන්න පුරුදු වුණා. මට තාම මතකයි මම කොළඹ ඇවිත් ටික දවසකින් අර දිග කොණ්ඩය කොටටම කැපුවා. මට ලංකාවේ සංගීත වේදිකාවේ වෙනසක් ඇති කරන්න ඕන වුණා. මම කොණ්ඩය කපලා ගෙදර ගියපු මුල්ම දවසේ  මාව දැකලා අම්මා ගොඩක්  දුක් වුණා. හැබැයි ටික වේලාවක් මම දිහා බලා හිටපු අම්මා “කමක් නැහැ. ඒක ඔයාට ලස්සනයි “ කියලා කිව්වා. 

කාත් කවුරුවත් දන්නේ නැති ඇමරිකාවට මුලින්ම ගියපු ටීෂා ලබපු අත්දැකීම් මොනවාද? 

ගොඩක් අත්දැකීම් තියෙනවා. මුල් කාලයේදී ඇමරිකාවට මම එද්දී මම කිසිම දෙයක් දැන ගෙන හිටියේ නැහැ. ඇමරිකාවේ මම දන්න කියන කෙනෙක් හිටියේ නැහැ. “මම කොහොම හරි ඇමරිකාවට ගිහින් ගොඩ එනවා “කියන විශ්වාසය විතරයි මට තිබුණේ. මට තාම මතකයි ගුවන් තොටුපලට මාව ඇරලන්න ආපු මගේ අම්මා, තාත්තා එදා ගොඩක් ඇඩුවා. තාත්තගේ මූණේ තිබුණු බය අදටත් මට මතකයි. 2007 අවුරුද්දේ ඇමරිකාවට ආපු වෙලාවේ හඳුනා ගත්තු කෙනෙක්ගේ දුරකථන අංකයක් මම ලඟ තිබුණා. ඇමරිකාවට ගිහින් මුලින්ම එහේ සිම් එකක් අරගෙන මම ඒ අංකයට කෝල් කරලා “කුලියට පොඩි කාමරයක් හොයලා දෙන්න පුළුවන්ද “කියලා ඇහුවා. ඒ විදිහට මට ශ්‍රී ලංකන් කාන්තාවකගේ ගෙදරක පොඩි කාමරයක් හොයා ගන්න පුළුවන් වුණා. එතැන ඉඳන් මම ඇමරිකාවේ ජීවිතය පටන් ගත්තා. මම ඇමරිකාවේ උසස් අධ්‍යාපන හැදෑරුවා . ඒ හැම දෙයක්ම හොයලා බලලා මමමයි කලේ. 2010 උපාධිය අවසාන් වනවාත් එක්කම මම රැකියාවකට ඉල්ලුම් කලා. ඒ අනුව හොඳ වැටුපකට මට රස්සාවක් ලැබුණා. 

ඇමරිකාවේ තමන්ටම කියලා ගෙයක් මිලදී ගනිද්දී ටීෂාට මොකද හිතුණේ? 

මට ගොඩක් සතුටක් දැනුණා. හැබැයි මගේ අම්මයි තාත්තයි 2013 අවුරුද්දේ මිය ගියා. ඒ වෙද්දීත් මම ඇමරිකාවේ හිටියේ. මම මගේ මුදලින් ඇමරිකාවේ පලවෙනි ගෙය මිලදී ගනිද්දීත් ඒ දෙන්නා ජීවතුන් අතරේ හිටියේ නැහැ. ඒ ගැන මට ඇත්තටම දුකයි .ඇමරිකාවේ තමන්ටම කියලා ගෙයක් ගන්නවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයක්. අවුරුදු ගණනාවක් ඉදලත් තාමත් කුලියට ගෙවල් වල ඉන්න අය ඒ රටේ ඉන්නවා.හැබැයි මම ඒ ජයග්‍රහණය ලැබුවා.

අද ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන ටීෂාට මොකද හිතෙන්නේ? 

මට ලොකු සතුටක් සහ මම ගැනම මට ආඩම්බරයක් තියෙනවා. දැන් මම විවාහකයි. එයාගේ නම සුසන්ත ශාන් හැලඹ. එයා ව්‍යාපාරිකයෙක්. ලංකාවේ පොල් ලෙල්ල රටවල් ගණනාවකටම අපි බෙදා හරිනවා. දැන් අපිට චූටි පුතෙක් ඉන්නවා. දැන් අපේ ජීවිත සම්පූර්ණයි. ලගදීම මගේ අලුත් ගීතයක් එළිදක්වන්නට සූදානම් වෙනවා. ජීවිතේ හැමදාමත් මම මගේ හිතේ දැකපු හීන හැබෑ කරගන්න උත්සාහ කළා.ඒ වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා. ඒ හීන හැබෑ කර ගත්තා.අද මට මගේ ජීවිතේ ගැන සතුටින්. 

Related Articles

Don't Miss


Latest Articles