(අ) හිමි සිහින – 108

දිල්හානි සහ දරුවන් නිවාඩුවකට කියමින් විදේශ ගත වූයේ ඒ අතරදී.යුරෝපා රටකට මාසයක කාලයක් වෙනුවෙන් ඔවුන් ගිය බවයි අපිට දැන ගන්නට ලැබුණේ.දරුවෙකුගේ උපන් දිනයකට තෑග්ගක් ලෙස සංචාරයකට ඒ ගමන යන බවයි ඔවුන් සුධාරකට පැවසුවේ.ඔවුන්ගේ ලඟම ඥාතියෙකු ඒ රටේ ජීවත් වුණා.ඒ නිසා ඔවුන් සංචාරයකට යන්නට ඇති බව අපි හිතුවා.නමුත් සිදු වී තිබ්බේ එවැන්නක් නෙවෙයි.

සුධාරක තමන්ට දැඩිව අඩන්තේට්ටම් කරන බවත් කන්නට බොන්නට වත් නොදෙන බවත් දිල්හානි ඥාති සොහොයුරාට පවසා තිබුණා.ඒ නිසා ඔවුන්ව තමන් වෙතට ගෙන්වා ගන්නට ඥාති සහෝදරයා සැලසුම් කර තිබුණා.ඒ නිසා දරුවන්ගේ පාසලට ඒ ගමන ගැන දන්වා මාසයක කාලයක් වෙනුවෙන් නිවාඩු ගන්නටත් දිල්හානි ක්‍රියා කර තිබුණා.සුධාරක හිතුවේ ඔවුන් චාරිකාවකට සහභාගී වන්නට ගිය බවයි.

නමුත් ඔවුන් නික්ම ගොස් තිබුණේ අපව නඩුවකට මැදි කර දමමින්.දිල්හානි සුධාරකට එරෙහිව “බහු විවාහ නඩුවක්” ගොනු කර තිබුණා.අත්සනට සීමා වූ විවාහයකින් සුධාරක දික්කසාද වී සිටින බව දිල්හානි සමඟ විවාහයට පෙර සුධාරකගේ පාර්ශවයේ අය දිල්හානිට සහ ඥාතීන්ට පවසා තිබුණා.ඒ මොහොතේ ඔවුන් එය බිඳුවක්වත් ගණනකට ගෙන තිබුණේ නැහැ.මගෙන් දික්කසාද වී ඇති බව දැනගෙන හිටියත් අපේ දික්කසාදය ඔප්පු කරන්නට නොහැකි වේයැයි දිල්හානි සිතන්නට ඇති.

බහු විවාහය යනු අත්අත්අඩංගුවට ගත යුතු මට්ටමේ වරදක්. සුධාරකගේ රැකියාව අනුව හිරබත් කන්නට සිදුවීම ඔහුගේ සම්පූර්ණ වෘත්තිය ජීවිතය විනාශ කර දමන්නක්.ඇතැම්විට වැඩ තහනමට පවා ලක් වීමට ඉඩ තැබෙන්නක්.මගෙන් දික්කසාද නොවී සුධාරක දිල්හානි සමඟ විවාහ වී ඇති බව පවසා ඔහුව බන්ධනාගාර ගත කර ඔහුගේ වෘත්තිය ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරන්නටයි දිල්හානිට අවශ්‍ය වී තිබුණේ.මේ පොලිස් පැමිණිල්ල විවාහ කරන්නට අපව කැඳවා තිබුණා.

දික්කසාද සහතිකය සහ අපේ දික්කසාදය සම්බන්ධ නඩු වාර්තා සොයන්නට මම සෑහෙන වෙහෙසක් ගත්තා.ඒ සහතික අප සතු වූයේ නෑ.ඒ නිසා මම පැරණි ලියකියවිලි හොයන්නට උත්සුක වුණා.දැඩි පරිශ්‍රමයක් දරා ඒ අදාළ ලියකියවිලි සොයා ගන්නට මට හැකි වුණා.ඒවා රැගෙන සුධාරක පොලිස් පැමිණිල්ලේ විභාගයට ගියා.ඒ වෙද්දී ඔහුගේ කර මතට බහු විවාහ නඩුව ද පැවරී අවසන්.

නඩු කටයුතුවල අප පවරා දිල්හානි දරුවන් සමඟ විදේශ ගත වුණා.ඒ දරුවෙකුගේ නමට ගත් ඉඩමක් විකුණා දමා ඉන් මුදල් රැගෙනයි.ඒ කටයුත්තට ව්‍යාජ ලියකියවිලි සෑහෙන ප්‍රමාණයක් දිල්හානි සකසා තිබූ බව අපි දැනගත්තේ පසුවයි.

එසේ විදෙස් ගත වන බව දරුවන්වත් තාත්තාට පැවසුවේ නෑ.දිල්හානි අත් හැර දමා සිටියත් සුධාරක දරුවන්ට හැම යුතුකමම ඉටු කළ මිනිසෙක්.ඔහුට දරුවන්ට අවශ්‍ය කරන දේවල් අරන් දෙන්නට මුදල් නැති බව හැඟෙද්දී මම මගේ අතේ තිබූ සල්ලිවලින් දරුවන් ප්‍රිය කරන ආහාර,ඔවුන්ට අත්‍යවශ්‍ය දේවල් ආදිය රැගෙන නිවසට ලැබෙන්නට සැලැස්වූ දවස් ඕනෑ තරම් තිබුණා.නමුත් දරුවන් තාත්තාට ඔවුන් තාත්තාගෙන් සමු ගන්නා බව පැවසුවේ නෑ.එසේ රටින් නික්ම ගිය නිසා ඇය ඇගේ දෙමාපියන් පවා අත් හැර දැමුවා.දෙමාපියන්ගේ අවසන් කටයුතු වලටවත් ඇයට නැවත ලංකාවට පැමිණියේ නැහැ.

පැදුරටත් නොකියා දිල්හානි නික්ම යන්නට ඇගේ අධික ණයත් හේතු වූ බව ආරංචි වූයේ පසුවයි.සුධාරකට විශාල මානසික කම්පනයක් ද නඩු දෙකතුනක් ද පටලා දමා ඇය ඔහුගෙන් සමුගෙන ගොස් තිබුණා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles