ශරදාකාසේ – 17

ගැහැනු ළමයෙකු ආදර ගැබක් හදවත දරා ගෙන පිරිමියෙකු වෙත එනවා කියන්නේ ම ඇගේ ආත්මය පාවා දීමකි. නමුත් ප්‍රේමය වෙනුවෙන් ඔවුන් ඒ පාවා දීම කරන්නේ භක්තියෙනි. එය වූ කලී ලෝකය බිහි වූ දා පටන්, බොහෝ දුරට ලෝකයෙහි හා ජීවයෙහි පැවැත්ම වෙනුවෙන් ස්ත්‍රී ශරීරයක ජාන සංයුතියෙහි ඇති ව තිබෙන්නා වූ නිමාවක් විය හැක. සොබා දහම නිහඬව ම එහෙව් නිමැවුම් කොට තිබේ. මාසයකට එක් වතාවක් පමණක් ස්ත්‍රී සිරුරක ඩිම්බයක් මෝචනය වෙමින් ගර්භාෂයක දරු පිළිසිඳ ගැනීමක් වීම පාලනය කිරීමත්, පුරුෂ වෘෂණ කෝෂ වල නිරන්තර ශුක්‍රාණු නිෂ්පාදනය කරමින් නව ජනිතයන් වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කර දීමත් එවන් අසිරිමත් නිමැවුම් ද්විත්වයකි. ඒ ගැන ගැඹුරින් විමසීමේ දී පෙනී යන්නේ පුරුෂ ශරීරය ලිංගික සම්භෝගයන් කෙරේ වැඩි නැඹුරුතාවයක් දැක්වීම හා ස්ත්‍රිය ගේ පාර්ශවයෙන් ඒ සඳහා වන පාලනය යයි සිතිය නො හැකි ද? 

නිශාමනී යහනෙහි වැතිර සිටියේ කල්පනා කරමිනි. ඇය දන්නා පෙරදිග ජන සමාජයෙහි පුරුෂයා ට ලිංගික ජීවිතය සඳහා වැඩි නිදහසක් ලැබී තිබිණි. අතීතයෙහි විසූ රජ සිටු වරුනට අන්තඃපුරයක් බිසෝවරු සිටියහ. ඇතැම් ආගම් වලින් පිරිමියෙකුට බිරින්දෑවරු කිහිප දෙනෙකු සරණ පාවා ගැනීමේ අයිතිය ආගමික නීතිය මගින් සලස්වා දී තිබිණ. ඒ නැත ද ප්‍රභූ පවුල් වල පිරිමින් ට නීත්‍යානුකූල නොවන පවුල් කිහිපයක් ම තිබී ඇති බව පැවසේ. එසේ නොවන සාමාන්‍ය පවුලක පිරිමියෙකු වුව රිංගා යාමට ඉඩක් ලැබුණු බොහෝ තන් හි පරදාර සේවනයෙහි යෙදී ඇති බව නො රහසකි. 

ඒ බොහොමයක් පුරුෂයන් ගේ ප්‍රියාදර බිරියන් ඒ බව දැන නො සිටියා විය නො හැකි ය. නමුත් බහුතරයක් සිදුවීම් අනුව ඔවුන් ඒ වග නො දන්නා සේ සිටියා විය හැක. ඒ ස්ත්‍රීන්ට ඊට එරෙහි විය යුතු වූවත් එසේ කළ නො හැකි වූවා වන්නට පුළුවන. මිනිසා විසින් ම නිර්මාණය කොට ගෙන තිබෙන සංස්කෘතික සමාජය තුළ ඇය ට ස්ත්‍රීත්වය යනු ඇය වෙත උරුම වී තිබෙන කරුම ජීවිතය යයි පිළි ගෙන කර බා ගෙන සිටිනට වූවා වන්නට පිළිවන. 

ඒ සියලු අතීත සාක්ෂි වලට අනුව සමාජය ඇගෙන් ඉල්ලා සිටින්නේ ඇයත් එසේ කළ යුතු බව ද? සිය මවුවරු මිත්තණියන් මුතුන් මිත්තණියන් කළා සේ පිරිමින් එසේ යයි සිතා ගැහැනුකම යනු නිවට කමක් ලෙස දරා ගත යුතු ද? 

නිශාමනී යහනින් නැගී සිටියා ය. 

“මට බෑ”

ඇගේ හදවත මොර ගා කීවේ ය. අතීතයේ ගැහැනුන් ද වර්තමානයේ ගැහැනුන් ද එසේ වූවාට ඇය ට එසේ විය නො හැකි බව නිශාමනී ඉඳුරා දැන සිටියා ය. බිඳී ගිය විශ්වාසයක් හා පළුදු වූ ප්‍රේමයක් මත අනාගතයක් ගොඩ නැගීමේ අනාරක්ෂිත බව, ඇගේ යටි හිත විසින් කොඳුරා ඇය ට සිහිපත් කරනා ලදී. 

“මට ආයෙ කවදාවත් ශාරද එක්ක පවුල් ජීවිතයක් ගත කරන්න බෑ. ඒක දැනටමත් ස්පොයිල් වුණා වැඩියි”

එය ඇය ගේ අවසාන තීන්දුව විය.

ශාරද සිටියේ කාමරයේ ඔබ මොබ සක්මන් කරමිනි. මේ සියල්ල මේ වාගේ අවසානයක් කරා එළඹෙතැයි ඔහු සිහිනයෙනුදු සිතා තිබුණේ නැත. විශේෂයෙන් ම නිශාමනී ට ඔහු ගෙන් තොර ජීවිතයක් වෙතැයි සිතා ගන්නට හෝ හැකියාවක් තවමත් නොමැති ය. ඊටත් වඩා පුදුම පංචලී ගැන ය. ඇය ඔහු ට පෙම් කළේ ඒ ප්‍රේමය මත්තේ මියෙන්නට වුව හැකි බවක් ඔහු ගේ පිරිමි පපුවෙහි සනිටුහන් කරමිනි. එවන් ඇය ඒ තරම් දැඩි තීරණයක් ගනිතැයි කෙසේ විශ්වාස කරන්න ද?

ඔහු පංචලී ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. දුරකතන තිරය ආලෝකවත් වනුත් එහි ශාරද ගේ නම සනිටුහන් වෙනුත් ඇය බලා ගෙන ය. පපුවේ නොතේරෙනා තැනක ගින්දරක් ඇවිළෙනුත් පිච්චීමේ සංවේදනයකුත් ඇය අත් වින්දා ය. ප්‍රේමය මෙතරම් ගින්දරක් වනු ඇති බව ඇය සිතුවේ ම නැත. ශාරද ගේ ප්‍රේම දැලෙහි පැටලෙන විට ඇය හදවතින් ඔහු සමග බෝ දුරක් ගොස් අවසන් ය. එය සමාජය පිළිබඳ අත්දැකීම් අඩු කෙල්ලක ගේ ජීවිතයේ ප්‍රථම ප්‍රේමය විය. ඇය ට එය මුළු ජීවිතය ම විය. ශාරද යනු කවුරුන් වුණත් ඇය පෙම් කරනු ඇත. ඔහු ලෝකයේ සිටිනා නරක ම මිනිසා වුණත් ඇය පෙම් කරනු ඇත. ඔහු අංගුලිමාල කෙනෙකු වූවත් ඇය මතෙෘ හෘදයකින් ඔහු දරා ගනු ඇත.

පංචලී කල්පනාවෙහි නිමග්න ව සිටිය දී දුරකතනය නාද වී අවසාන විය. ඇය සුසුමක් අත් හැරියා ය. කෙසේ හෝ මේ බන්ධනයෙන් මිදී යා යුතු බව දැන් ඇය ට දැනේ. එදා ට වඩා අද ඇය ට සමාජය පෙනේ. එදා දුටුවේ ආදරය පමණක් වී ද අද ඇය අනාගතය ද සියැසින් දකී. ඒ සියල්ලට වඩා නිශාමනී ගේ අහිංසක ආත්මය ඇය හමු වූ දා පටන් පංචලී ගේ සන්තානයේ මැවි මැවී පෙනී ඇය අසහනයට පත් කරමින් තිබේ. ශාරද විසින් පංචලී ගේ සිත් හි ඇඳ තිබූ නිශාමනී ගේ පිළිරුව යනු යක්ෂණියකි!

නැවත ද දුරකතනය නාද වන්නට විය. පංචලී පිළිතුරු දුන්නා ය.

“නිදාගෙනද හිටියෙ…”

ශාරද සෞම්‍ය වූයේ ය.

“හ්ම්”

පංචලී කෙටි පිළිතුරකින් ඒ මගහැරියා ය.

“සොරි”

“ඇයි…”

“හවස මං කියපු දේට ඔයාගෙ හිත රිදුනනං…ගෙයක් අරං දෙන්නං කියපු එකට”

“මේ හැම දෙයක් ම දැන් මගෙ හිතේ අප්පිරියාවක් වෙලා ශාරද…මට අතීතය වෙනස් කර ගන්න පුළුවන් නං මං එක ම එක තැනක් වෙනස් කරනව. ඒ අපි මුණගැහුණ තැන. අපි කවදාවත් මුණනොගැහී ඉන්න තිබුණ දෙන්නෙක් ශාරද”

“මං ඔයාව අතරමං කරන්නෑ”

“මට පාර හොයා ගන්න පුළුවන්. ඔයා මාව බරක් වදයක් කර ගන්න එපා”

“මට ඉන්නෙ ඔයා විතරයි පංචලී”

ඇගේ දෙතොලතර අවඥා සහගත සිනහවක් ඇඳිණි. ඔවුන් ගේ ඇසුරේ මුල් යුගයේ දී නම් මෙවන් හැඟුම් බර ප්‍රකාශයකදී ඇය අතිශය හැඟුම් බර වූවා ය. නමුත් මේ මොහොත වන විට සියල් සංවේදී සෛල මිය ගොස් ඇත් ද කියා පවා ඇය ට සිතිණ.

“විහිළු කරන්නෙපා ශාරද…මට වගේද…ඔයාට ලස්සන වයිෆ් කෙනෙකුයි දුවෙකුයි ඉන්නව”

“නිශාමනී ඩිවෝස් එක ඉල්ලනව. දැනුත් එයා ඉන්නෙ වෙන රූම් එකක. ප්ලීස්…මේ වෙලාවෙ ඔයත් මාව තනි කරන්න එපා පංචලී”

යළිත් වතාවක් ඇගේ හදවතේ ප්‍රේම සංවේදී කොනක් රිදුම් දුන්නේ ය. ඔහු ට පෙම් කරනා එක නවතන්නට විදිහක් කොහෙන් ඉගෙන ගත හැකි වෙත්දැයි ඇය සිතුවා ය.

“මේ වෙලාවෙ හිත රිදිල නිසා එහෙම හැසිරුණාට…එයා එහෙම කරන එකක් නෑ”

“එයා මෙච්චර තද හිතක් තියන ගෑනියෙක් කියල මං දැනං හිටියෙත් නෑ”

“මල් පෙති තරං සිනිඳු ගෑනු හිත් ගල් ගෙඩි තරං තද කරන්නෙ පිරිමිමයි ශාරද. ඒ ගෑනු වැඩියෙන්ම ආදරේ කරපු පිරිමි…ඔයා නිශාමනී එක්ක හෙමිහිට කතා කරල එයාගෙ හිත හදන්න බලන්න. එයාගෙං සමාව ගන්න. හැබැයි සමාව කියන්නෙ තවත් වරදක් කරන්න ලැබෙන පර්මිශන් එකක් කියල විතරක් හිතන්න එපා ශාරද”

එපමණක් කියූ පංචලී දුරකතනය මුළුමනින් ක්‍රියා විරහිත කොට දැමුවා ය. ඇගේ ඇස් වලින් නො නවත්වා කඳුළු ගලා ගෙන ගියේ ය. 

පසු දා උදයේ ඇය ට යහනෙන් පිබිදිය හැකි වූයේ නැත. මහත් හිසෙහි බර ගතියක් සමග පැමිණි ඔක්කාරයක් ඈ අප්‍රාණික කරවූවත් පංචලී නාන කාමරයට දිව ගොස් වමනය කළා ය. ඈ ඉදිරියේ වන කැඩපතින් ඇය දුටු ගැහැනිය බිය පත් ව සිටියා ය. කාලයක් තිස්සේ හිතට දැනෙමින් පැවතියා වූ බිය! 

ආර්ථව චක්‍රයේ මඳ පමාවක් සිදු වුවහොත් හදවත සෝදා පාළු කළා වූ බිය!!

කැලැන්ඩරයේ දින පිරික්සමින් දෙවියන් යදිමින් සිටි රතු සලකුණ!!!

එය ඈතට ගොස් ඇගේ හද ගැස්ම වැඩි වෙමින් තිබෙනාතරවාරයේ සිදු වූ මේ ඔක්කාරය…එය අනපේක්ෂිත එකක් යයි කිව හැකි ද? පංචලී ගේ අත සිය උදරය වෙතට ගියේ ය. 

“එහෙම දෙයක් වෙන්නෑ අනේ. මොනා වුණත් මං ඉන්නවනෙ”

ශාරද ගේ ඒ වචන සිය දෙසවන් තුළ පුරු පුරු ගාමින් ඇය අසහනයට පත් කළේ ය. පංචලී ඇගේ අල්මාරියෙහි සඟවා ගෙන සිටි කඩදාසි පටිය ගෙන ඒ පරීක්ෂණය කළා ය.

 පොසිටිව්!

දෙලොව ගිනි ගත්තේ එවිට ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles