“මැරෙන්නම හිතෙන වෙලාවකත් ජීවත් වෙන්න හේතුවක් හොයා ගන්න රවිඳු.අපි සමහර අමාරු කාල පහු කරගත්තම හිතෙනවා දුක් වෙවී හිටියේ අපරාදේ කියලා.”
හිමාෂාගේ ඒ වචන රවිඳුට ජීවත් වන්නට අලුත් හුස්මක් රැගෙන ආවේ ය.ඇය පීඩාකාරී විවාහයකින් වෙන් වී වේදනාවෙන් හුන් කාලයක් තිබූ බව ඔහු දැන සිටියේ ය.එහෙත් ඒ කාලයේ ඇයව සමීපව ඇසුරු නොකළ හන්දාම ඈ ඒ වේදනාව දරා ගත් ආකාරය ගැන ඔහු හරියටම කියන්නට දැන නොසිටියේ ය.
“මට මේ දුක දරන්න බැරි තරම් හිමා.ජීවිතේ දාලා පැනලා දුවන එක වීරකමක් නෙවෙයි කියල මං දන්නව.ඒ වුණාට මට මේක දරා ගන්න බෑ.”
ඔහු එසේ කියද්දී හිමාෂාට දැනුණේ එක් දෙයකි.මිතුරා වෙනුවෙන් විශාල අවධානයක් දිය යුතු වේ.නොසිතන මොහොතක ජීවිතය ගැන භයානක තීරණයක් ගන්නට ඔහු පෙළඹී තිබිණ.එය නැවත නැවතත් සිදු වන්නට ඉඩ තිබේ.ඒ අවාසනාවන්ත සිදුවීම වළකන්නට කළ හැකි සියල්ලම කරන්නට හිමාෂා ඉටා ගත්තා ය.
“රවිඳු,ඔයා හොස්පිටල් එකෙන් ගෙදර ආවම කවුන්සිලින් යමුද? හරියට ප්‍රතිකාර හම්බ වුණාම ඔයාට වෙනුරි අමතක කරන්න හයිය එයි.මට විශ්වාසයි.”
ඇගේ විශ්වාසය විශ්වාස කරන්නට රවිඳුට සිතිණ.ගැහැනුන් කියන්නේ ජීවිතයේ සාරය උරා බොන මායාකාරියන් යැයි සිතා දින කිහිපයකි.එහෙත් ඉතා ඉක්මනින් හිමාෂා විශ්වාස කරන්නට සිත් වූ හේතුව ඔහුට ද අදහන්නට නොහැකි ය.
“මට හිතෙනව ඔයා මට වඩා වේදනාවක් ඉහිළුවා කියල.මම ඒකමයි ඔයාට කතා කරේ.මේ වේදනාව උහුලා ගන්න ඔයා උදව් කරයි කියලා මට හිතෙනවා.”
රවිඳු එසේ කියද්දී හිමාෂාට කියන්නට කතාවක් තිබිණ.තදබල මානසික පීඩාවක හිඳියදී අන් සියල්ලන්ම උදව් කරන්නට සූදානම් වුව ද ඒ වේදනාවෙන් එතෙර වන්නට තමන්ට ද උවමනාව තිබිය යුතු වේ.නැතිනම් තදබල මානසික පීඩාවකින් එතෙර වීම අසීරු ය.
“තමන්ට ඉන්නේ තමන් විතරයි කියලා තේරුම් ගත්තම ලේසියි රවිඳු.එතකොට ජීවිතේ පහසුයි.”
හිමාෂා එසේ පැවසුවේ ඔහුට ධෛර්යය දෙන්නට ය.එහෙත් ඔහු හිඳින්නේ සාංකාවෙනි.වේදනාවෙනි.ඒ තත්ත්වය මඟ හැරවන්නට ඔහුට සරදමක් කරන්නට ඇයට ඉන් අනතුරුව සිත් වූවා ය.
“ඔයාගේ ඔය ප්‍රශ්නෙ මම අහන් ඉන්න පොරොන්දු වුණු එකට පාරමීට නම් කේන්ති ගිහින්ද මන්දා.”
පාරමී තමන්ට තදබල ලෙස බැඳී ඇති වග රවිඳු දනියි.ඒ නමුත් ඇය කෙරෙහි අවධානයක් දෙන්නට ඔහුට සිතක් නැත.ආදරය බලහත්කාරයෙන් පැළ කරන්නට අසීරු ය.ආදරය මල් පිපී දළු දමන්නේ බලහත්කාරයෙන් පැළ කළ තැන්වල නොවන බව ඔහු හොඳින් දැන සිටියේ ය.පාරමී එය තේරුම් නොගැනීම ඔහුට ඇති ඊළඟ මානසික පීඩාව ය.
“මගේ ආදරේ තේරුම් නොගත්ත වෙනුරියි, මට එයා ගැන ආදරයක් ඇති වෙන්නේ නෑ කියලා තේරුම් නොගන්න පාරමීයි දෙන්නම ගැන මට දැනෙන්නේ එකම හැඟීමක් හිමා.ඒ දෙන්නම ඉන්නේ අන්ත දෙකක.”
ප්‍රේමයක් අහේතුකව අතැර යාම ද නොලැබෙන ප්‍රේමයක් ලැබෙන දිනයක් එනතුරු උමතුවෙන් ඇඟිලි ගැනීම ද සමාන දැයි හිමාෂා සිතුවා ය.එය අසමාන ය.නමුත් ඇති කරන මානසික පීඩා සමාන ය.
“ආදරේ කියන්නේ සරල දෙයක් නෙවෙයි.මහ සංකීර්ණ දෙයක්.අපිට පුලුවන් වෙන්නෝනෙ ඒ සංකීර්ණකම ඇතුළෙත් සරල තැන් හොයා ගන්න.රිද්දා ගන්නේ නැතුව ඉන්න වගේම නොරිද්දවා ඉන්න.නැත්නම් ජීවත් වෙන්න අමාරුයි.”
හිමාෂා එසේ පවසා මඳ වෙලාවක් නිහඬව හුන්නා ය.ඇයට අද දිවා කාලයේ සිට වේදනාව ඇති කළ දෙයක් විය.එය නංගිට හෝ පාරමීට කියන්නට ඇයට සිතක් නොවිණ.අම්මාට පැවසී නම් සිදු වන්නේ අම්මා තවත් පරලව යාම ය.කිසිම පෞද්ගලික දෙයක් බෙදා නොගත් රවිඳු සමඟ ඒ ආරංචිය බෙදා ගන්නට ඇයට හදිසියේ සිත් විණ.ඔහු ඇය විශ්වාස කළේ ය.ඉතින් ඇයට ඔහු විශ්වාස කරන්නට නොහැකිද?
“මගේ දූගේ තාත්තා ආයෙම වතාවක් තාත්තෙක් වෙලා.”
ඒ හඬ කැඩුණු ස්වර සහිත බව රවිඳුට සිතිණ.තමන් ආදරය කළ යුවතිය වෙනත් මිනිසෙකුගේ තුරුලෙහි වග ඔහුට දරා ගන්නට අපහසු විය.නමුත් දැන් හිමාෂාගේ වේදනාව ඉන් එහා එකකි.ඇගේ දියණියගේ තාත්තා වෙනත් විවාහයකට එළඹී අවසන් ය.ඔහුගේ දෙවැනි බිරිඳ මාතෘත්වයට පත් වීම හිමාෂාට දැනෙන්නේ කෙසේදැයි රවිඳු උපකල්පනය කළේ ය.
“ඔයාට දුකයිද?”
ඒ ඉතා මෝඩ ප්‍රශ්නයක් වග ඔහුට සිතිණ.ඔහු හිඳින්නේ වේදනාවෙන්දැයි හිමාෂා කිසිම මොහොතක අසා නොමැත.නමුත් රවිඳුට එසේ නාසා හිඳින්නට නොහැකි විය.
“සහන් සම්බන්ධයෙන් මට තියන එකම නෑකම මගේ දූගේ තාත්තා කියන එක විතරයි.සහන් මගේ ජීවිතේට අයිති කෙනෙක් නෙවෙයි.සහන්ට අලුත් ලෝකයක් තියනව.එයා ඒ ලෝකේ සතුටින් ජීවත් වෙන්න ඕන.මට දුක මගේ දූ ගැන.තාත්තා කෙනෙක් නැති වෙන එක දුවෙකුට පහසු දෙයක් නෙවෙයි රවිඳු.සමහරවිට ආයෙම තාත්තා කෙනෙක් වුණාම නිතරම ළඟ නැති මගේ දූ සහන්ට අමතක වෙයි”
ඇය හිඳින වේදනා ගැන බලද්දී තමන්ගේ වේදනාව වේදනාවක්දැයි රවිඳු සිතී ය.ඇය හිඳින්නේ අනාගතය ගැන අවිනිශ්චිතතාව සහිතව ය.ප්‍රේමවන්තියක සොයා ගැනීම අපහසු නොවේ.එහෙත් දියණියට තාත්තා කෙනෙකු අහිමි වීම එතරම් පහසුවෙන් තැකිය හැකිදැයි ඔහු නැවතත් සිතී ය.