“අක්කට ප්‍රපෝසල් හොයන්න එපා අම්මේ”
දින කිහිපයක් ගෙවෙන්නට හැර අමායා අම්මාට පැවසුවා ය.මල්ලිකා බාල දියණිය දෙස බැලුවේ විමසුම් නෙතකිනි.ඇය අනතුරුව දියණියට වඩාත් සමීප වූවා ය.
“අක්කට මොකුත් සම්බන්දයක් තියනවද පුතේ?”
අම්මාගේ ජීවිතයේ එකම අරමුණ අක්කාට විවාහයක් කර දීම බවට පත් වීම දරාගන්නට අපහසු දෙයක් බව අමායාට සිතිණ.ඇය මේ යෝජනාව කරන්නට හේතුව වූයේ ද එය ය.අක්කාට සැනසීමෙන් හිඳින්නට ඉඩ හැරිය යුතු ය.ඇයට විවාහයට බල කිරීම ම ඇගේ ජීවිතයට කරන මහත් හානියක් බව අමායා තේරුම් ගෙන තිබිණ.
“මිනිස්සුන්ගේ ජීවිතේ එකම අරමුණ කසාදයක් වෙන්න ඕනද අම්මේ?”
ඒ ප්‍රශ්නයට මල්ලිකා ඇය දන්නා හොඳම තුරුම්පුව පිටතට ගත්තා ය.ගැහැනියකට තනිව ජීවත් විය හැකි සමාජයක් මේ රටේ නොවේ. ගැහැනියක අනිවාර්යයෙන් ම විවාහ විය යුතු වේ.විවාහයක් කර නොගන්නා යුවතියකටත් වඩා විවාහය බිඳී ගිය ගැහැනියකට සමාජයෙන් එල්ලවිය හැකි පීඩන අනන්ත ය.
“ඩිවෝස් වෙච්ච ගෑනියෙක්ට තියන ලොකුම පීඩනේ තමයි අම්මා ආයේ බඳින්න කියලා ඒ මනුස්සයට බල කරන එක.ඒක මොන තරම් ඔලුවෙ කැක්කුමක්ද? පොඩි කාලේ බලෙන් කොළ මැල්ලුම් කවනව වගේ බලහත්කාරෙන් කසාද කරලා දෙන්න හදන්න එපා අම්මේ.”
අමායා ඕනෑවට වඩා පණ්ඩිත යැයි මල්ලිකා සිතුවා ය.කොහොමටත් කුඩා කාලයේ කොළ මැල්ලුම් කැවීම ට පවා එරෙහි වූයේ ඈ ය.හිමාෂා එසේ නොවේ.බෙදන සේරෝම බත් කන්නට,පෙරැත්තයකින් තොරව බෙහෙත් බොන්නට,රෑට දත් මැද නිදා ගන්නට ඇය හුරු වී සිටියා ය.පාඩම් කරන්නට පවා ඇයට නීති දමන්නට සිදු නොවිණ.පෙම්වතෙකු සොයා ගන්නටවත් ඇයට සරසවි අධ්‍යාපනය ලබන කාලයේ උවමනා වූයේ නැත.හොඳ තරුණයෙකු යැයි තමන් ගෙනා යෝජනාවට ඇය සහන් හා විවාහයට එකඟ වූවා ය.
“අක්කා මේ ළඟක් වෙනකම් මම කියන හැම දේම අහපු දරුවෙක්.ඔයාගේ ඔය බොරු තර්ක ඒ ළමයටත් පුරුදු කරලා අක්කා දැන් නොසෑහෙන්න මුරණ්ඩුයි.”
මල්ලිකා බාල දියණියට බැන වැදුණා ය.ඒවා මහා පරිමාණයෙන් ගණනකට නොගන්නා අමායා හිනැහුණා ය.
“අම්මා කියන විදියට ජීවත් වෙලත් අක්කට වෙච්ච අමුතු හොඳක් නෑනෙ.එයා කැමති විදියට දැන්වත් ජීවත් වෙන්න දෙන්න අම්මේ”
අම්මාට කියන්නට තවත් කතාවක් අමායාට වේ.අම්මාට අද දවසම පුපුරමින් හිඳින්නට ඒ ආරංචිය හේතු වන බව දැන සිටිය ද එය අම්මාට කියන්නට ඇය සිතුවා ය.කොහෙන් හෝ මේ ආරංචියට පොහොර වතුර වැටී ඇයට ලැබෙනවාට වඩා තමන්ම පැවසීම හොඳ ය.
“සහන් අයියගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්ලු.අක්කට ආරංචි වෙලා තිබුණා.”
අමායා අපේක්ෂා කළ පරිදිම මල්ලිකාගේ මුහුණ අබ පිපිරෙන තරමේ එකක් වූයේ ය.ඇය මඳ වෙලාවක් කිසිවක්ම නොකියා සිටියා ය.
“අන්න ඒකනෙ මං අපේ මෝඩිට කසාදයක් කරගන්න කියන්නෙ.ඌට එහෙම යහතින් ඉන්න හොඳයි.මේ මෝඩි විඳවන්න ඕන.”
විඳවීම ඇත්තේ තනිව ජීවත් වීම තුළ නොව නොගැළපෙන විවාහයක් තුළ සිරවීමෙහි බව අම්මාට කියා පලක් නොවන බව අමායා දනියි.ඇය එනිසාම කිසිවක්ම නොපවසන්නට වග බලා ගත්තා ය.
“අක්කා ආයේ බඳින්න ඕන චූටි පුතේ”
මල්ලිකාගේ හඬ ශෝකාකූල ය.ඒ ශෝකය ගණනකට ගත් විට අක්කා වෙත අම්මා එල්ල කරන පීඩනය ඕනෑවටත් වැඩි බව අමායා දනියි.එනිසා ඇය අම්මාව නෑසුණා මෙන් සිටියා ය.
“අක්කා ඒකට දුක් වෙනව කියලා මම හිතන් නෑ.කොහොමත් සහන් අයියට ආදරයක් නැති නිසානෙ අම්මේ අක්කා එන්න ආවේ.දරුවට තාත්තව නැතුව යයි කියලා බයකුත් අක්කට ඇති කියලා මං හිතන් නෑ.”
එසේ පැවසූ අමායා අක්කාට බලපෑම් නොකරන්නැයි අම්මාගෙන් අයැදුවා ය.අම්මා එසේ නොකරන බව ද ඇය දනියි.නමුත් පුරුද්දට මෙන් අම්මාට මේවා පැවසීම ඇගේ සිරිත ය.අක්කාට විවාහ යෝජනා නොකරන්නැයි අම්මාට නොකියන්නට අමායාට හේතුවක් විය.රවිඳු අක්කාගේ සමීප මිතුරෙකුව නොසිටි බව අමායා දනියි.අක්කාට කාර්යාලයේ සමීප මිතුරියකට හිඳින්නේ පාරමී පමණි.නමුත් රවිඳු හදිසියේ අක්කාට සමීප වන්නේ ඇයිදැයි ඇයට පුරෝකථනයක් විය.
“සමහරු සෑහෙන්න හිත රිදිලා ඉන්න වෙලාවට ගන්නෙ හරිම තීරණ නෙවේ අක්කා.පරිස්සමින්.සමහර විට ඒ තීරණ හරියන්නත් ඉඩ තියනවා.වරදින්නත් ඉඩ තියනවා.”
දියණිය අසලට වී වැතිර පොතක් කියවමින් හුන් හිමාෂා නංගි හදිසියේ කාමරයට එබී පැවසූ ඒ කතාවේ අර්ථය ගැන සිතන්නට වූවා ය.
කොහොමටත් අමායා කියන්නේ නිස්කාරණේ වචන පිට කරන්නියකට නොවේ.