සෙතුකි ගේ මව, විදුනි සිය සොයුරා ගැන ඒ වගේ හැඳින්වීමක් කරන්නට ඇත්තේ ඔහු ගැන වැරදි චිත්‍රයක් මැවෙනා එක වළක්වන්නට කියා සිතමි. කසුනි ඇගේ දරුවා ගේ ගුරුතුමිය වී සිටියදී, මා කසුනි ගේ මිතුරිය වී සිටියදී, එවැනි ආචාරශීලී බවක් පවත්වා ගත යුතු ය කියා ඇය ට සිතෙන්නට ඇත. නො එසේ ව ඒ මොහොතේ පමණක් කතා බහ කළ මා සමගින් ඇය සිය සොයුරා ගැන ඒ තරම් දෙයක් කියන්නට උවමනා නැත. කෙසේ වෙතත් ඒ හමු වීම තුළ ඇය හා මා අතරේ අලුත් සුහද බවක් ඇති වූ සෙයක් මට දැනිණ. පන්තිය අවසාන වන විට අපි බෝ කලක් තිස්සේ දැන හැඳින සිටි දෙදෙනෙකු අහම්බෙන් හමු වූවා වන් තත්වයකට පත් ව සිටියෙමු.
“ඉස්සෙල්ලම නෑනවම අල්ල ගත්ත. දැන් ඉතිං ගොඩ තමයි”
කසුනි විහිළු කළා ය. නමුත් මට එය ඒ තරම් සැහැල්ලුවට ගත හැකි සරල කාරණාවක් වූයේ නැත. මීට පෙර තරුණයන් අලලා කතා බහ කළ හා හැසිරුණු සැහැල්ලු හා නො සැලකිලිමත් පිළිවෙත් මට අමතක ව තිබිණි. මන්දාකිණී රන්මුතුගේ කියන කෙල්ලව අද දෙපැයක් ඇතුළත දෙවන වතාවටත් ඔහු වගේ වගක් නැති ගාණට ගණන් නො ගෙන හිටියේ ය. එසේ වීත් මට දැනුණේ නම නො දන්නා ඔහු මගේ ස්ත්‍රී හදවත ඉතා තදින් අල්ලා ගෙන ඇතිවා මෙනි.
කෙනෙකුට තවත් කෙනෙකු ගේ ජීවිතයට පහසුවෙන් පිවිසිය හැකි දොරටු වන්නේ සිනහව හා කතාව ය. සිනහවක් තබා ඔහු සිනහ වන්නට බුරුලක් හෝ දුන්නේ නැත. මා ඔහු ගේ මුහුණ බැලු හැම වතාවක ම එක්කෝ මට නො දැනී ඉවත බැලුවේ ය. නැත්නම් මට දැනෙන්නට ම ඉවත බැලුවේ ය.
“මල විකාර. එයා හිතං ඉන්නෙ එයා ටොම් කෲස් හරි සිල්වෙස්ටර් ස්ටැලෝන් කියල හරි වෙන්නැති. ශාරුක් ඛාන් වත් ඔහොමනං ලොකු සයිස් එකකිං නෙවෙයි ඉන්නෙ කියල මට ශුවර්. ඇත්තමයි බැලුමක් වගේ වුණානං හිල් කරනව කටුවකින්…පිම්බිල ඉන්න හුලං බහින්න”
කෙල්ලන් ගේ සිනහව පයිනස් කැලය පැත්තේ ද දෝංකාර දෙමින් ඇසිණ. පසු දා අපි පයිනස් කැලේ යන්නට ගෙදරින් පැන ගත්තේ මල්ලී පාසල් වෙලාවෙන් පසු ස්කොෂ් පුහුණුවීම් සඳහා නතර වෙත්දී ය.
“මොකද්ද දුවා…හෙට යංකො”
ඔහු ඇවිටිලි කළේ ය. මල්ලී පව් කියා මට නො හිතුණා නොවේ. නමුත් නංගී බුරුලක් නොදී හිටියා ය.
“මේ මේ. කවුරුවත් නිසා අපේ ගමන කෑන්සල් කරන්න බෑ. ඔයාටත් යන්න ඕනනං ස්කොෂ් ප්‍රැක්ටිසස් වලට යන්නැතුව එන්න”
ඔහු නංගී ගේ කොණ්ඩයෙන් ඇද්දේ ය.
“මොකද්ද වහු පැටියො වෙලා තියෙන්නෙ…”
නංගී කෑ ගැසුවා ය. මල්ලී පයිනස් කැලේ ගමනට එක් කර නො ගැනීම හොඳ යයි මට සිතුණේ මේ වෙලාවේ ය. ඔහු සිටියා නම් අපට නිදහසේ ආඩම්බරකාරයා ගැන කතා කළ නො හැකි වනු ඇත.
“අපේ අක්ක ඉඟුරු දීල මිරිස් ගන්න වගේ හදන්නෙ. මිලිටරි පාලනේ ඉඳං පොලිස් පාලනේට. නරකම නෑ”
මට එකවර දක්වන්නට ප්‍රතිචාරයන් සිහිපත් වූයේ නැත.
“බ්‍රෙක් අප් එකක්නං හිතා ගන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නෙ කියල. මේ වගේ මුඩුම යකෙක් එක්ක ඒ කෙල්ලට ඉන්න බැරි වෙන්න ඇති”
“හැබැයි මෙහෙම දේකුත් තියනව. ඒ කොල්ලා තාත්ත නැති වුණාට පස්සෙ අම්මයි නංගිලවයි හොඳට බලා ගත්ත එකෙක්නෙ. දැන් නංගිගෙ හස්බන් ටික දවසකට රට ගිහිං නිසා නංගියි බබායි ගැන මොන තරං බලනවද…ඒ කෙයාරිං ෆීලින් එකත් මාර එකක්”
“ඒ වුණාට මන්නං කියන්නෙ නිදහස තමයි ඔක්කෝටම වඩා වටින්නෙ. හෙල්ලෙන්න බැරි වෙන්න ගාඩ් එක දාං ඉන්නවයි කියන්නෙ ආදරේටයි කියල මටනං පිළිගන්න අමාරුයි”
කෙල්ලන් ට එක එක අදහස් තිබිණ. මා කළේ මුණිවත රකිනා එක ය. ඔවුන් හැම කෙනෙක් ම කියනා හැම දේක ම මට ඇත්තක් පෙනිණ. ඒ කෙසේ වී ද මට මගේ ම වූ වෙනම ම හැඟීමක් තිබිණි. ඒ ගැන කාටවත් කියන්නට මට ඕනෑ වූයේ නැත. එය
“මේ හරියෙ තමයිලු අර එක්ටැම්ගේ ෆිල්ම් එකේ සමහර සීන්ස් ශූට් කරල තියෙන්නෙ. මාලිනී ලගෙ කඩේ තිබුණෙ මෙතනලු”
හංසිකා නතර වූයේ වැලිමඩ හා ගුරුතලාව අතරේ දෙකේ කණුව නමින් හැඳින්වෙන ස්ථානයේ වන රූස්ස ටර්පන්ටයින් යායක් ඉදිරියේ ය. අපි පාර අයිනේ නතර වී කැලය දෙස බලා සිටින්නට වීමු. ඇතුළේ වූයේ තද අඳුර සහිත ගුප්ත බවකි. සාමාන්‍යයෙන් මේ ප්‍රදේශයේ උදේ ට සෙල්සියස් අංශක දහ සයත් විසි තුනත් අතරේ උෂ්ණත්වයක් පවතී. රාත්‍රියේ දී එය සෙල්සියස් අංශක දහසය දක්වා නැවත පහළ වැටෙන්නේ, දිවා කාලයේ දී අංශක විසි අටත් තිස් දෙකත් අතරේ උණුහුමක් පවත්වා ගනිමින් සිට ය. මේ වෙලාවේත් අවට පරිසරය උණුසුම් වූයේ ය. නමුත් ටර්පන්ටයින් යාය තුළ සීතලක් ගැවසී ගත්තේ ය.
“බලාගෙන ඈ…කූඩැල්ලො ඇති”
මා අඩියක් පෙරට තබත්දී කසුනි කීවා ය. කූඩැල්ලන් මට පිළිකුල් බව ඇත්ත ය. නමුත් වතුරට නො බැස පිහිනීමේ ආශ්වාදය ලද නො හැක්කේ ය. ඒ නිසා කූඩැල්ලන් ගැන සිහි කල්පනාවෙන් මම ටර්පන්ටයින් කැලයට පිය නැගුවෙමි. සීතල සුළඟ අප බදා වැළඳ ගනිමින් සාදරයෙන් පිළි ගත්තේ ය. කුරුලු කොබෙයියෝ පිලිගැනීමේ ගීත ගැයුවාහු ය. දිරා ගිය අතු කැබැල්ලක් අපේ පයකට පෑගී කැඩී යාමෙන් නැගුණ හඬ පවා, ඒ ගුප්ත බව ඇතුළේ අමුතු හද ගැස්මක් ඇති කරවන ලදී. ඒ මේ ලෝකයට ම අයත් වෙනස් ම උප ග්‍රහයෙකු සේ ය. කෙසේ වෙතත් කූඩැල්ලන්ගේ ප්‍රහාරයන් කිහිපයක් නිසා මා යළි පිටතට පැමිණියේ කසුනි ගේ හා හංසිකා ගේ කර පිටිනි.
කඳුකරය සුන්දර හා සිහිලැල් විය. එය මා තුළ උණුහුම් හැඟීමක් දනවනා අලුත් චමත්කාරයක් ඇති කොට තිබූ බව ඇත්ත ය. නමුත් ඒ චමත්කාරය ප්‍රේමයක් කියා දැනුත් මම නො කියමි.
“දැන් එතකොට ඔයාගෙ මිස්ට හැන්ඩ්සම්ට කැමතියි කියන එකද ඔය කියන්නෙ..”
මා හා තනි වෙන්නට ලැබුණ අවස්ථාවක නංගී ඇසුවා ය.
“නෑ”
මම ගත් කටට ම කීවෙමි.
“පිස්සුද…එහෙමත් කැමති වෙන්න පුළුවන් ද කොල්ලන්ට..හරි වචනෙ මේක ඇට්‍රෑක්ශන් එකක් වෙන්නැති. නිකං පොඩි ක්‍රශ් එකක් වගේ. ශාරුක් ඛාන් ගැන…ලී මින් හෝ ගැන තිබුණ වගේ..එතන ලව් කරන්නවත් බඳින්නවත් ඕන කමක් තිබුන්නෑනෙ”
“දැනට එහෙම හිතමු නේ..”
නංගි ගේ මුවග සමච්චල් සිනහවක් විය. සැබවින් ඒ සිනහව මා තැති ගැන්වූ බව කිව යුතු ය.
“අපි දෙන්නටත් ස්කූටි එකක් අරං දෙන්න අප්පච්චි”
එදා රෑ කෑම කන ගමන් මම යෝජනාවක් කළෙමි. අම්මා තිගැස්සීගෙන මදෙස බැලුවා ය. අප්පච්චි නිසොල්මනේ කෑම කෑවේ ය. මා එවන් යෝජනාවක් කරන්නට ඉන්නා බවක් නො දන්නා නංගි පවා බැලුවේ පුදුමයෙනි.
“දුවා…කෑම කන්න”
අම්මා මට අප කරමින් සිටි කාරිය සිහිපත් කළා ය. නමුත් මම පසු බට වන්නට නො සිතුවෙමි.
“අම්ම අපි මොනාද කරන්නෙ…ජීවිතයක් මෙහෙම එක පාරටම නතර වෙන්න බෑනෙ. මෙහෙ ලස්සනයි. ඒත් පයිං යන්නම බෑනෙ. කසුනිගෙ බයික් එකේ වුණත් දෙන්නටනෙ යන්න පුළුවන්. අපිටත් එකක් තිබුණනං ඇවිදල කරල වටේ බලන්න යන්නවත් පුළුවන්”
“අනේ මේ අඬු කඩාගන්න හදන්නෙ නැතුව ඉන්න”
“ඕන දේක රිස්ක් එකක් තියනව අම්ම. එහෙමයි කියල මිනිස්සු අත පය හතර අකුලගෙන ජීවත් වෙන්නෙ නෑ. ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්නකොට මං බයික් වලටත් දාලනෙ තියෙන්නෙ. අනේ අප්පච්චි ප්ලීස්…”
“අපි බලමුකො…ම්..”
“නැත්තං අපිට ඇවිදින්න යන්න අප්පච්චිගෙ කා එක දෙන්න”
“අනේ අනේ මේ..ඒකනං ඔය තියෙන විදිහට තිබුණාවෙ ළමයි”
අප්පච්චි එසේ කීවේ සිනහ වෙවී ය. එය සුබ නිමිත්තක් බව මම අත්දැකීමෙන් දැන සිටියෙමි.
“ඕගොල්ලන්ට මෙහෙ කම්මැළියි වගේනං…මං ඉස්කෝලෙ වේකන්සි මොනාත් තියනවද කියල බලන්නංකො”
“අනේ මන්නං ටීචිං වලට ආස නෑ”
“ඩාන්සින් වගේනං මං කැමතියි අප්පච්චි. කැම්පස් පටං ගන්නකල් නිකං ඉන්න එකනෙ කොහොමත්”
“හ්ම්. මං බලන්නංකො”
ගුරු වෘත්තිය කෙරේ මුල සිට ම මගේ කැමැත්තක් වූයේ නැත. එසේ තිබියදීත් මා කසුනි එක්ක ඇගේ එලකියුශන් පන්තියට යත්දී මා තුළ ඉගැන්වීමේ ආශාවක් ඇති වී යයි අප්පච්චි සිතන්නට ඇත.
දෙවන පන්ති දිනයේ හමු වෙත්දී මා හා විදුනි උනුන් පිළි ගත්තේ සමීප මිතුරියන් සේ ය. එදා ඔවුන් එත්දී අප පන්තිය තුළට ගොස් සිටියෙන් මට ආඩම්බරකාරයා දැක ගත හැකි වූයේ දුරට ය.
“මං අද පොඩි බඩ්ඩක් කියන්නමයි ආවෙ. ඔයා ඇවිත් හිටියෙ නැත්තං මිස් කසුනිගෙං ෆෝන් නම්බර් එක හරි ඉල්ල ගන්නව කියල හිතාගෙනයි ආවෙ”
“ඒ මොකද්ද අප්පේ එච්චර වැදගත් කාරණේ”
අපි පන්තිය ඉදිරියේ වන පුටු දෙකක වාඩි වී සල්ලාපයට සූදානම් වීමු.
“ජොබ් එකක් හොයා ගන්න ඕන කිව්ව නේද…”
“ඔව් ඉතිං…හොයල බලන්න ඕන මට හරියන තැනක් තියෙයිද කියල. ෆැශන් ඩිසයිනිං වලට වේකන්සි එකක් තියන තැනක් දන්නවද…”
“මෙහෙමයි. ෆැශන් ඩිසයිනිං කෙරෙන තැනක්නං නෙවෙයි ඒක. ෆාම් බංග්ලෝ එකක් එක්ක තියන ෆ්ලවර් ෆාම් එකක්. ඒ බංග්ලෝ එක ටුවරිස්ට්ලට ඕපන්. ෆ්ලවර් ෆාම් එකේ මල් වවනව කොළඹයි තව මේන් සිටීස් වලයි තියන හෝටේල්ස් වලට මල් දාන්න. රෝස ජර්බෙරා ඩේසි ඇන්තූරියන් ක්‍රිෂාන්තිමම් වගේ මල් ජාති තමයි තියෙන්නෙ. ඇත්තටම මේක අපේ අයියගෙ බිස්නස් එක”
ඇය එහෙම කියත්දී මගේ හදවත නතර වූවා සේ දැනුණේ ය. මා විදුනි දෙස බලන්නට ඇත්තේ මුව ද මඳක් අයා ගෙන ය.
“ෆ්ලවර් ෆාම් එකේ සුපර්වයිසර් රට යන්න හදන කතාවක් කිව්ව. ඒ කියන්නෙ අලුතෙන් කෙනෙක් අරං ට්‍රේන් කරයි. මං කිව්ව කියල කියන්න ඕන නෑ. ඔයා නිකං ජොබ් එකක් හොයන විදිහට ඇප්ලිකේශන් එකකුත් අරං යන්න”
තවමත් මා හුස්ම ගත්තා දැයි මට සැක සහිත ය.
“මාව ගහල පන්නගන්න එකක් නෑ කියල විතරක් ඔයාට ශුවර් ද…”
“එක්කො එයා ගහල පන්නගනී…නැත්තං එයාව හදල ගනී. ඔය දෙකෙං එකක් වෙයි කියලනං ශුවර්”
විදුනි හඬ නගා සිනහ වූවා ය. මම සීතල අයිස් කුට්ටියක් ව මිදෙමින් සිටියෙමි.