“මිස්ට මුණිවර අභිෂේක් බණ්ඩාර. මේ වගේ ෆාම් බංග්ලෝ එකකුයි ෆ්ලවර් ෆාම් එකකුයි දෙකක් එකට කෙරෙන තැනක මං වගේ එක මනුස්සයෙකුට ජොබ් එකක් දෙන්න විදිහක් නැති වෙන්න බෑ නේද…මං දැන ගත්ත විදිහට මෙතන ලේබර්ස්ලම දෙසීය ගාණක් විතර වැඩ කරනව. කොහොමත් මං හොයන් ආවෙ මොකක් හරි ජොබ් එකක්නෙ. ඒක නිසා ඔය මල් කඩන වැඩක් හරි මට දෙන්න”
මා ඉක්මන් කොට එසේ කීවේ ඔහු ෆයිල් ටික මගේ අතට දී මෙතනින් පිට ව යන්නයි කියාවියි හිතට දැනුණ බිය නිසා ම ය. කම්කරු වැඩක් හෝ ලබා ගෙන මිස මෙතනින් නික්ම නො යන්නෙමැයි හිත දැඩි ව තීරණය කර ගෙන තිබිණ. ඔහු ව පෙනෙනා මානයක හිඳීමේ සුව කළ නො හැකි උමතුවක් දැන් මට වැළඳී අවසන් ය. කෙසේ හෝ මම මා වෙනුවෙන් පෙනී සිටිමි. වෙන කිසිවෙකුට මා වෙනුවෙන් කිසිත් කළ නො හැකි ය. මට ද මේ ලැබෙනා අවසාන අවස්ථාව බව මම දනිමි. මේ අවස්ථාව මග හැරුණහොත් යළිත් මට කවදාවත් මෙතැනට පැමිණිය නො හැකි වනු ඇත.
“මං කිව්වෙ ඔයාගෙ කොලිෆිකේශන්ස් වලට දෙන්න ජොබ් එකක් මෙතන නෑ කියලයි. ඔයා සුදුසු තැනක් හොයා ගන්න”
“මිස්ට මුණිවර මට ටයිම් පාස් කර ගන්නයි ඕන. හරියන ජොබ් එකක් ලැබෙනකල්…”
“ප්ලීස්…දැන් ඔයා යන්න”
මා කියන්නට ගිය ටිකත් එහෙම ම උගුරේ හිර විය. මට එසේ කියූ හෙතෙම අසුන මඳක් අනිත් පසට හරවා ගෙන ඔහු ගේ ලිපි ගොනුවක් පෙරළා ගත්තේ ය. තත්පර කිහිපයක් මම ඉක්මනින් හුස්ම ගනිමින් සිටියෙමි. පිරිමියෙකු ඉදිරියේ මේ සා බැගෑපත් විය යුතු ද යන ස්ත්‍රී අභිමානය සියල්ල පරයා නැගී සිටිනු මට දැනුණේ ඒ වෙලාවේ ය. අනිත් අතට පාඨමාලා හා උපාධි සහතික අතැති ව මල් ෆාම් එකේ කම්කරු රැකියාවක් ඉල්ලමින් තව දුරටත් මා ඔහු ඉදිරියේ පින්සෙණ්ඩු විය යුතු ද? ඕනේ යයි හිතුණ දෙයක් කෙසේ හෝ දිනා ගැනීමේ හිතුවක්කාර කමක් මට තියෙන බව ඇත්ත ය. මා මෙවන් ගමනක් ආවේත් ඒ හිතුවක්කාර මුරණ්ඩු කම නිසාම ය. නමුත් මගේ ආත්ම අභිමානය ඊට වඩා උස් තැනක තිබේ. මම ෆයිල් එක අතට ගනිමින් නැගී සිටින්නට ගියෙමි.
“මෙහෙමයි. අපිට සුපර්වයිසර් කෙනෙක්වනං ට්‍රේන් කර ගන්න ඕන වෙලා තියනව. ඒත් ඔයා වගේ කෙනෙක්ට ඒ රෙස්පොන්සිබිලිටීස් ටික අකුරටම කරන්න පුළුවන් වෙයිද කියල…”
“අයි විල් ට්‍රයි මයි බෙස්ට් මිස්ට මුණිවර”
මගේ කේන්තියත් නො රිස්සුමත් සුළි සුළඟකට හසු ව ඈතකට ගසා ගෙන ගියේ ය. දෙතොල් අතරේ ඉසිහින් මන්දස්මිතයක් පිපී ගෙන ආවේ ය.
“කලම්බු වල නේද ස්ටඩි කරල තියෙන්නෙ..මෙහෙ ආවෙ…”
“අප්පච්චි ට්‍රාන්සර් වුණ නිසා”
“කොච්චර සැලරි එකක් බලාපොරොත්තු වෙනවද…”
මම සිනහවක් නගා ගතිමි. ඔහු ළඟ වැඩ කරන්නට දෙනවා නම් සල්ලි ඕනේ ම නැත කියා කියන්නට මට හැකියාවක් වූයේ නැත.
“මිස්ට මුණිවර රීසනබල් විදිහක් කරන්න. සැලරි එකටත් වඩා…ආයෙ කොළඹ යනකල් මොකක් හරි දේක එල්ලිල ඉන්නයි මට ඕනෙ. මේක මල් වලට සම්බන්ධ ජොබ් එකක් නිසා මට ආසාවෙන් කරන්න පුළුවන් වෙයි”
“මේක ලොකු වගකීමක්. අපේ සුපර්වයිසර් ෆැමිලි එකත් එක්කම ඉංග්ලන්ඩ් යන්න හදන්නෙ. අපි කෙනෙක්ව ට්‍රේන් කරන්න තමයි හිතං ඉන්නෙ. මන් දන්නෑ ඔයා මේක කරයිද කියලනං. ඔච්චර කියන නිසා මං සුපර්වයිසර් ට කියන්නං වැඩ අල්ලගනීද බලන්න කියල. සෙවන් තර්ටි ටු ෆෝ තර්ටි වැඩ. සන්ඩේ නිවාඩු. දැන ගන්න ඕන අනිත් කාරණා එයා කියයි”
“ඕකේ”
“දැන් ගිහිං හෙට උදේ ඉඳන් ආවහම හරි”
“තෑන්ක්ස් මිස්ට මුණිවර”
ඔහු ‘දැන් යන්න පුළුවන්’ කියා හඬ ගොරෝසු කර කියන්නට පෙර මම අසුනින් නැගිට ගතිමි. ඔහු ට පිටු පෑ ගමන් මුව සිනහවකට විවර වූයේ ය. ඒ සිනහව ඔහු ට පෙනේවියි මම ෆයිල් එකෙන් මුහුණ වසා ගෙන පිටතට ගියෙමි. ගේට්ටුවෙන් පිටතට වන් කල මට නිදහසේ සිනහ සිය හැකි විය. නමුත් සැබවින් ම මට ඕන කර තිබුණේ එසේ නොවේ. උඩ පැන සිනහා වෙන්නට ය.
පීත්ත පටියක් සේ කඳු පල්ලම් අතරින් දිව යන පාර දිග පැමිණෙමින් තිබි ත්‍රීරෝද රියකට අත දමා මම එය නවතා ගතිමි. ගුරුතලාවෙන් බැස ගන්නා තෙක් ම මා මුව නලියන සිනහව තනියට ළඟ සිටියේ ය. අතර මගකදී මම විදුනි ට කතා කොට සිදුවීම අග සිට මුලටම විස්තර කළෙමි.
“මං දන්නව ඔයා කොහොමහරි වැඩේ ගොඩ දා ගන්නව කියල. ඕල් ද බෙස්ට්. වැඩ ටික ඔයා අල්ලගනී”
ඇය මා නො හිතූ තරම් මා විශ්වාස කොට තිබිණි.
“මොකද වුණේ…”
මා දුටු නංගී අම්මාටත් වැඩි උනන්දුවකින් මවෙත ආවා ය. මගේ සිනහවේ වන ජයග්‍රාහී බව ඔවුන් ට නො වැටහුණා වන්නට බැරි ය.
“මං ඉන්ටවීව් කරල මං බලෙන් ම ජොබ් එක ගත්තා වගේ වැඩක් වුණේ. සීවී එක දැක්ක ගමන්ම මට ෆයිල් එක දීල කිව්ව ඔයාට හරියන ජොබ් එකක් මෙහෙ නෑ කියල. කට තිබිච්ච නිසා වැඩේ ගොඩ දා ගත්තා”
“හිතා ගන්න පුළුවන් මට”
“ඒ වුණාට එහෙම පින්සෙණ්ඩු වෙන්න ඕන කමක් නෑනෙ දුවා”
“පින්සෙණ්ඩු…අම්ම දන්න තරම තමයි. තර්ජනේ කරලයි මෙයා ජොබ් එක ගන්න ඇත්තෙ”
මම හඬ නගා සිනහ වීමි. ඒ සිනහ වෙන අතරේ ඔහු ගේ තියුණු සිහින් ඇස් වල වූ මරණීය දීප්තිය මගේ සිතිවිලි වල මැවෙමින් ද නිවෙමින් ද තිබිණ.
එදා හැන්දෑවේ අපි, කෙල්ලන් හතර දෙනා ඔහිය පාර දිග පයින් ඇවිද ගියෙමු. ඈත කඳු අතරේ මීදුම හැංගිමුත්තම් කරමින් තිබිණ. කඳුකරයේ එක් පසෙක රත්තරන් පැහැ හිරු එළිය තැවරී ගෙන ද, කඳු වල අනිත් පස අඳුර වැළඳ ගනිමින් ද තිබෙනා හැටි පැහැදිලි ව දැකිය හැකි විය. ලොකු කළු වලාකුළක් අහස හරහා අලස ගමනක් යමින් තිබිණි.
“සමහර විට මෙතන ඉඳල දකින්න පුළුවන් වෙයි අර ඈත බෑවුමට වහින හැටි”
හංසිකා ඈතින් දිස් වන මිටියාවතක් දෙසට ඇඟිල්ල දිගු කොට කීවා ය.මොහොතක් පාසා වෙනස් වෙමින් පැවති ඒ කඳුකර දේශගුණය අතර මැද්දේ මම චමත්කාර අංශුවක් ව ඈත ද මෑත ද බලමින් කැරකුණෙමි.
“එක පාරටම දැන් මෙහෙටත් වැස්සොත් කොහොමද…”
“අපිට තෙමෙන්න පුළුවන් නේ…”
කඳුකරයට පැමිණීම ගැන මුලදී නංගී තුළ වූ විරෝධය දැන් තුනී ව ගොස් ඇති බව පෙනිණ. ඉස්කෝලේ ප්‍රාථමික අංශයේ නැටුම් ගුරුවරියක ලෙස පත්වීමක් ගෙන දෙන්නට අප්පච්චි පොරොන්දු වීමෙන් පස්සේ ඇය ප්‍රීතිමත් ගෑනු ළමයෙකු වෙමින් සිටියා ය. ඒ නිසාමදෝ කඳු පාර වල පයින් යාම ගැන හෝ වැස්සක පෙර නිමිති දැකීම ගැන කන්කෙඳිරි ගෑවේ නැත.
“හැබැයි ඉතිං මුණිවර සිං රාජ්පුත් එක්ක වැඩ කරන්න ලේසි වෙයි කියල මං හිතන්නෑ. විදුනි කියපු විදිහෙ නීතිකාරයෙක්නං…”
“යක්ෂ පුත්‍රයෙක් එක්ක වැඩ කරනව වගේ තියෙයි”
“මොන පිස්සුද…මෙයා මුණිවරගෙ මුණිවර දැහැන් බිඳින්න ගත්තහම…”
“අපේ මන්දි කෙල්ල අභිශේක් කොල්ලව ගාණට හදල ගනී කියල මටත් හිතෙනව”
කෙල්ලන් ගේ මාතෘකාව වූයේ මුණිවර අභිශේක් බණ්ඩාර ය. ඒ සමග ම ඔවුහු සුශන්ත් සිං රාජ්පුත් ගේ පෞරුෂවත් රුව ගැනත්, සිත් වසඟ කරනා සිනහව ගැනත්, අකාලයේ දිවි තොර කර ගැනීම ගැනත් හැඟීම් බර ව දොඩමළු වූහ. ඔවුන් ගේ කතා සවන් මත වැකුණත් මගේ හිත තිබුණේ ෆාම් බංග්ලෝ එකේ ය.
උදේ පාන්දර එය පෙනුණේ දක්ෂ සිත්තරෙකු ගේ මාස ගණනක වෙහෙසකර උත්සාහයකින් පසු නිර්මාණය වී තිබූ මනස්කාන්ත සිතුවමක් සේ ය. අප්පච්චි මුල් දිනය නිසා මා ව ෆාම් බංග්ලෝ එකේ පිවිසුම් දොරටුව ළඟට ගෙනැවිත් ඇරලවූයේ තැන බලා ගන්නටත් එක්ක බව මම දනිමි.
මට එතැන සිටිය යුතුය කීවේ හතයි තිහට ය. නමුත් මම හත වන විට කාර්යාලය ඉදිරියට ගියෙමි. මා පුදුමයට පත් කරමින් ඒ වෙත්දීත් මුණිවර අභිෂේක් බණ්ඩාර සිය අසුනේ සිටියේ ය.
“ගුඩ් මෝනිං මිස්ට මුණිවර”
මම නැවුම් සිනහවකින් කීවෙමි. නමුත් වැරදීමකින්වත් ඔහු සිනහවක් නො දුන්නේ ය.
“ගුඩ් මෝනිං”
එපමණකි. ‘ගුඩ් මෝනිං’ මගේ හිත රළු හඬකින් එය පුනරුච්චාරණය කළේ ය. නමුත් මට ඕනෑ වූයේ හඬ නගා අතකින් මූණ වසා ගෙන සිනහ වෙන්නට ය.
“ඩ්‍රෙස් කෝඩ් එකක් නැතුව ඇති නේද මිස්ට මුණිවර. ඊයෙ මට අහන්න බැරි වුණා”
මා එසේ කීවේ පෙර දා සේ සාරියකින් සැරසී නො පැමිණි බැවිනි. ඔහු මගේ කේෂාන්තයත් පාදාන්තයත් අතරේ දෑස් ඇදගෙන ගියේ ය. නමුත් කිසිත් නො කියා රිසීවරය අතට ගෙන අංක කිහිපයක් එබුවේ ය.
“ඔය මිස්ට දිසානායක ඇවිත්ද ඉන්නෙ…අම්…පොඩ්ඩක් ඔෆිස් එකට එන්න කියන්න ආවහම”
ඔහු රිසීවරය තබා ලොකු පොතක් පෙරලා ගත්තේ මේසය ඉදිරියේ මා අසුන් ගෙන සිටිනා එක ගැන කිසිදු වගක් නැතිව ය. විනාඩි කිහිපයක් ම මුණිවර ඒ පොතට මූණ ඔබා ගෙන සිටියේ ය.
“මාර ගණං. හිතං ඉන්නෙ එයා සුශන්ත් කියල වෙන්න ඇති. මල විකාර. එයා මුණිවරයි කියල අමතක වෙලා”
හිත මාත් එක්ක දොඩමළු වී හිටියේ ය. කෙසේ වෙතත් මට මඳ නො සන්සුන්කමක් දැනිණ. මේ මනුස්සයා මේ තරමට සුහද ශීලයක් නැති දැඩි මිනිසෙකු වීමට හේතුව කුමක් විය හැකි ද?
“මන්දාකිණී නේද අර එලකියුශන් ක්ලාස් එකේ හිටියෙ. මං දවසක් දැක්ක”
මඳ වෙලාවක දී ඔහු හඬ අවදි කළේ මගේ සිතේ මල් යායක් පුබුදුවා ගෙන ය. මන්දාකිණී! එතකොට ඔහුට ඊයේ ජීව දත්ත සටහන් පතෙහි වූ මගේ නම මතක තිබී ඇත!
“ඊට කලිනුත් දවසක් මිස්ට මුණිවර මාව දැකල තියෙනව. බොරලන්දෙ පේස්ට්‍රි ශොප් එකකදි”
ඕනේ නම් ඒ කතාව නො කියා ඉන්නට තිබිණ. නමුත් ඒ මතකය හාරා පාරා දෙන්නට මට පුදුම උවමනාවක් දැනිණි. ඔහු නො සැලකිලිමත් ලෙස වෙන වැඩකට ඇස යොමු කළ ද ඒ මතකය ඔහු ට අමතක නැති බව ඒ ඉරියව් වලින් මට හැඳින ගත හැකි විය.
ටික වෙලාවකට පසු කාර්යාලය වෙත මැදි වියෙහි පිරිමියෙකු පැමිණියේ ය. කලින් මුණිවර කතා කළ මිස්ටර් දිසානයක ඒ බව කතාවෙන් පැහැදිලි විය. මුණිවර මා ගැන ඔහු ට කියා මට වැඩ ටික පුහුණු කරන්නයි කියත්දී සුපර්වයිසර් වරයා ගේ මුහුණේ ඇඳුණේ සමච්චල් සිනහවකි.
“සර් හිතනවද මේ වගේ ගර්ල් කෙනෙක්ට මේ වැඩ ටික හැන්ඩ්ල් කරන්න පුළුවන් කියල…සර් මේක නිකං ටයිම් වේස්ට් එකක් කියල හිතෙන්නෙ නැද්ද…ටිකක් එක්ස්පීරියන්ස් තියන කෙනෙක් ගත්තනං අපිට මේ ප්‍රසීඩියර් එක විතරනෙ පොඩ්ඩක් ඉන්ට්‍රඩියුස් කරන්න වෙන්නෙ”
“අම්…මිස්ටර් දිසානායක මං කිව්ව දේ කරන්නකො. අපි බලමු. මෙයා හරියන්නෙ නැත්තං අපි ඇඩ් එකක් දාල හරි කෙනෙක්ව ගමු. ඕකේ. නව් යූ කැන් ගෝ විත් මිස්ට පෙරේරා”
මම වහා අසුනින් නැගිට ගතිමි. හිතට හරි හැටි බිය දැනෙන්නට ගත්තේ මේ මොහොතේ ය. සුපර්වයිසර් වරයාගේ කතාව අනුව මා වන් කෙල්ලකට පහසුවෙන් කළ හැකි විදිහේ රාජකාරියක් නොවේ එය. ඇතැම් විට මුණිවර ද මා සේවයට බඳවා ගන්නට පසු බෑවේ ඒ නිසා වන්නට පුළුවන.
“මිස්ට දිසානායක මුලින්ම මන්දාකිණීට අපේ මැප් එකක් දෙන්න. ඒ හැම තැනක්ම එයාට පෙන්නල ඉන්න”
“ඕකේ සර්”
මිස්ටර් දිසානායක සිතියමක් මා අත පත් කරනා ලදී. වතු බංගලාව, උද්‍යානය, ගව ගාලක්, ඔසු උයනක්, සමනල උද්‍යානයක්, කාබනික වගා බිම්, ජීව වායු ඒකකයක්, හෑන්ඩ්ලූම් රෙදි වියනා කොටසක්, මල් උයන්, විශාල මුළුතැන්ගෙයක්, ගබඩාවක්,කාර්යාල පරිශ්‍රයක්,මීමැසි පාලන කොටසක්, විශාල ගස් සහිත කැලෑ බිම් කොටසක්, උද්‍යානය මැදින් ගලා යන දිය දහරක් හා පොකුණක් වැනි අංග ගණනාවකින් ඒ සිතියම හෙබියේ ය. මල් වගා කරනා හරිතාගාර සහිත පෙදෙස ෆාම් බංගලාව සහිත කොටසෙන් වෙන් කරනා මායිම තනන්නේ ඒ දිය දහර ය. දිය දහර හරහා යන්නට පාලමක් තනා තිබේ. මගේ මුහුණට දහදිය දමා ගෙන ආවේ ය. මම අතින් නළල පිරිමදිමින් සුපර්වයිසර් දෙස බැලුවෙමි. ඔහු ගේ මූණේ වූයේ ‘කරන්න බෑනේ’ වැනි සමච්චල් පෙනුමකි. මම කෙළ බිඳක් ගිල හිත හයිය කර ගෙන සිතියම දෙකට නවා ගනිමින් “යමු” යයි කීවෙමි. ඕනෑ ම දේකට මූණ දෙන්නට ඕනෑ ය කියන අදහස මා තුළ ලියලමින් තිබිණ.