කෙල්ලන් ගේ සිනහ හඬ හපුතලේ පාර දෙපස ෆයිනස් කැලෑ වලට වැද දෝංකාර දෙන්නට විය. මම දෙතොල් තද කොට සිනහව මගේ ඇතුළාන්තයේ ම තියා ගෙන සිටියෙමි. සැබවින් එය මා තුළ ම තියා සුරකින ලෝභ කමක් මට දැනුණා වන්නට ඇත.
“කොහොමද රිටර්න් එක දීපු හැටි…මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී කිව්වම ඒක එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියල චෝදනා කළානෙ. ඒ ගමන ආසා නැතිද මාත් එක්ක තනිව ඉන්න කියල කෙළින් ම ඇහුව”
“මූනං ජූජක බමුණෙක් නෙවෙයි ආලවක යක්ෂයෙක්”
“ඒ වුණාට සිරාවට කොල්ල මාර ලව්ලි කෙල්ලනේ. මට දැනෙනව මං මුණී ට ලව් වගේ”
“ඔන්න ඔන්න මෙතන මිණී මැරුමක් සෙට් වෙන්නයි යන්නෙ හොඳේ”
“සිරාවට පිහියෙන් අනිනව වගේනෙ මේකා ආදරේ ප්‍රකාශ කරන්නෙ”
“මටත් හිතෙන්නෙ පොර මන්දිට පට්ට ලව්”
මා තවමත් හිටියේ දෙතොල් තද කොට සිනහව හිර කර ගෙන ය. කතා කළොත් හිනා වුණොත් ඒ චමත්කාරය අඩු වී යතැයි බියක් මා තුළ වූවා මෙනි. ෆයිනස් කැලය තුළින් ගුම් නදක් දෙවමින් සුළඟ හමා ගෙන ගියේ ය. නේක කඳුකර කුරුල්ලන් ගේ කූජනයන් පාර දෙපස ම කැලයෙන් නින්නාද වෙමින් තිබිණ. අප හිටියේ බයිසිකල් දෙක මග අයිනේ නතර කොට ගෙන පෙයාස් කමිනි. මා වැඩ නිම වී එන පෙර මගට එන්නයි මම කසුනිටත් නංගිටත් දුරකතන ඇමතුම් දී කීවෙමි. ඒ චමත්කාරය මඳකිනුදු ක්ෂය වන්නට පෙර මට ඒ ඔවුන් හා බෙදා ගන්නට අවැසි විය. ‘තුන් දෙනා ම ඩබල් දා ගෙන’ ඔවුහු මා පිළි ගන්නට පෙර මගට පිවිසියහ.
මා ව සිය රියෙහි දමා ගෙන මුණිවර අභිශේක් බණ්ඩාර ගියේ මහනුවර ය. කැන්ඩි සිටි සෙන්ටර් හි ඔහු සාප්පුවක් ගෙන තිබුණේ ය. එය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් විශේෂ සැමරුම් අලෙවි කරනා ස්ථානයක් කිරීමේ ආශාවක් ඔහු ට තිබිණ.
“ස්පෙශලි…මේකෙ තියෙන්න ඕන ඇඳුං. අම්…ඔයා දන්නවනෙ…අපේ ෆාම් එකේ හෑන්ඩ්ලූම් රෙදි වියනව. අපි ඒව එහෙමම රෙදි විකුණන අයට දෙනව විතරයි. අපි ඒ රෙදි වලින් ඊට වඩා ක්‍රියේටිව් වැඩක් කරන්න ඕන. අම්…ඔයා ෆැශන් ඩිසයිනර් කෙනෙක් නිසා..ඔයාට පුළුවන් ෆැශන්ස් ඩිසයින් කරන්න. අපි චූටියට ගාමන්ට් ෆැක්ට්‍රි එකක් පටන් අරන් ඒ ඩිසයින්ස් මස්සමු. අම්..මං හිතන්නෙ ඔයාගෙ ඩිග්රි එකට වැලියු එකක් ලැබෙන දෙයක් ඒකෙං වෙයි”
මා මුණිවර දෙස බලා සිටියේ දෑස් පවා විසල් කර ගෙන ය. මට ඔහු ව තදින් වැළඳ ගන්නට ඕනා විය. මට වටිනාකමක් දෙන්නට මගේ අම්මා අප්පච්චි හැරුණ විට සිතූ පළමු මිනිසා ඔහු ය. නමුත් මගේ ප්‍රහර්ෂය ඒ හැඟීම් වල සජීවී ස්වරූපයෙන් ම ඔහු ත් එක්ක බෙදා ගත නො හැකි වූයේ ඔහු ඊට අනුබල දෙන බැල්මක් හෝ නො හෙලා ආඩම්බරකාරයා ගේ භූමිකාවට විගස ආරෝපණය වූ නිසා ය.
ආපසු එන ගමනේ දී මා සිටියේ වෙනම ම හීන ලෝකයක ය. සැබවින් එය මගේ හීනයයි. මෝස්තර නිර්මාණකරණය. කඳුකරයට එත්දී මා ආවේ ඒ හීනය නිදි කොට තබා ය. මිස්ට් ෆීල් මල් අතරේ ජීවිතයට ඊට පස්සේ මම පෙම් බඳින්නට පටන් ගතිමි. මෝස්තර නිර්මාණය ට සේ ම මල් වලට ද මා රිසි බව ඇත්ත ය. නමුත් වතාවක් දෙවතාවක් දුටු මුණිවර කෙරේ උන්මාදයක් ඇති නොවන්නට මම කිසි දාක එවන් රැකියාවක් තෝරා නො ගමි.
දැන් ඔහු මට මගේ හීනය දකින්නට මාවතක් විවර කොට දී තිබේ. සැබවින් මා ගැන, මගේ ආශාව ගැන ඔහු ඒ අයුරින් සිතාවියි කියා හෝ මට හැඟී තිබුණේ නැත.
“අම්…”
අතර මගක දී ඔහු කතාවකට අවතීර්ණ වනු වස් රැල් බුරුල් හැරියේ ය. මම මුළු දෑසින් ම ඔහු දෙස බැලුවෙමි. මුණිවර කැඩපතින් හෝ මදෙස නො බැලු එක හොඳ ය. නැත්නම් ඇස් වල වූ උමතුව ඔහු දකිනු නියත ය.
“ඔයාට වැඩ වැඩි වෙයිනෙ. අපි තව ගෑනු ළමයෙක්ව ගන්න බලමු.ම්..”
“ගෑනු ළමේක්…නෑ මට වැඩ වැඩි නෑ. මැනේජ් කර ගන්න පුළුවන් වෙයි”
“සයිට් එකේ දුවන වැඩ වලට කාව හරි ගන්න ඕන. අපි සතියකට දවසක් වගේ ගිහිං බලමු. අනිත් එක ටනල්ස් වල කෙමිකල් ස්ප්‍රේ කරද්දි ඒක අස්සෙ රිංගං ඉන්න ඕන නෑ”
ඔහු තාමත් එය මතක තබා ගෙන හිඳ තිබේ. මා බලා සිටියේ ආදරයෙනි. නමුත් අර තරම් ආදරයෙන් කිව හැකි දේවල් ඔහු කීවේ කේන්තියක් ඉස්සර කර ගෙන ය. නමුත් දැන් දැන් ඒ කේන්තියට ද මම පිස්සු වැටෙමින් සිටිමි. මුණිවර ගේ කටු කටු රැවුල් කොට වැවී ඇති කම්මුලක තදින් තොල් තෙරපා,ඔහු ගේ ගෙල වැළඳ ගෙන සිප ගන්නට උපන් සිතිවිල්ල, රියෙන් ඉවත බලා ගෙන මම අමතක කළෙමි.
“අම්…එතකොට මේ ෆැශන් ඩිසයිනින් ගැන මං මොනාත් දන්නෑ. අවශ්‍ය කරන දේවල් ලිස්ට් කර ගන්න. කැබින් එකත් කම්ෆටබල් විදිහට අරේන්ජ් කර ගන්න වෙයි”
මට ඒ මොනවාවත් ඕනේ නැත. මේස කෑල්ලක් දාගෙන මෝස්තර නිර්මාණය කරන්නට මට පුළුවන. ඕනේ පෙනෙනා මානයක ඔහු රවමින් ගොරවමින් හෝ ඉන්නට විතර ය. නමුක් කොහොම කටක් ඇර එවැන්නක් පවසන්න ද?
“එක අතකට දවසක් දැක්ක ගමං අනේ අලව් යූ කියා ගෙන එන කොල්ලන්ට වඩා මෙහෙම ජූජක බමුණෙක් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද..”
හංසිකා ඇසුවා ය. මම මගේ සිතිවිලි ලෝකයේ මුණිවර ගේ රියෙන් බැස ගතිමි. නමුත් මීදුම් දුමාරයේ කසුන් ගේ හඬ මුණිවර ගේ අහංකාර දෑසේ පැටලී මා මිහිරේ ගිල්වමින් තිබිණ.
“බලහංකො මූගෙ මූණෙ පෙම් පාට. මී වදයක් වගේ”
“ඇත්ත ඇත්ත. හංසි කිව්වෙ ඇත්ත. ආදරෙයි කියල පන්න පන්න කියන එවුං කවද්ද ඇත්තටම ආදරේ කළේ. උං වැඩිපුරම කළේ ඒ විදිහට හතර පස් දෙනෙක්ටවත් කියන එක තමයි. ආදරෙයි කියල වචන වලින් නො කියන කොල්ලංගෙ පපුවෙ තමයි වැඩිපුරම ආදරේ ඇත්තෙ. ඒකනෙ අපිට හම්බ වෙලා නැත්තෙ”
“කසූ ගෙ කතාවෙ අන්තිම ටික”
නංගී හඬ නගා හිනැහුණා ය.
“බොරුද මං කියන්නෙ…අපි හැමදාම ආදරෙයි කියල වචන වලින් කියපු කොල්ලන්ගෙ වචන වලට රැවටුණා”
“ඇත්ත ඇත්ත”
“කොකියන උං වෙන්නැති ඇත්තටම ආදරේ කරන්නෙ”
“මැරෙන්න හිතෙන කතා කියන්නෙපා ඉතිං. මං කිව්වනෙ…මට මුණිවර සිං රාජ්පුත් ඕන කියල හිතෙයි”
“මේ ආත්මෙනං දෙන්නෑ කාටවත්”
මම සිනහව ගිල ගෙන කීවෙමි. කෙල්ලෝ ‘ආ…’ කියමින් කෑ ගැසූහ. මගේ මුහුණ රතු වෙන බවක් මට ම දැනිණ.
“කොහොමද ඒක…”
“මේ ආත්මෙට නෙවෙයි. මෙයා ආත්ම හතකටවත් එයාව අතාරින්නෑ. මං දන්නැද්ද අපේ අක්කගෙ හැටි”
ඇතැම් විට මීට පෙර ද ආත්ම හතක් මා ඔහු ළඟට වී සිටියා වන්නට පුළුවන. ඒ හැඟීම බන්ධනයක් වාගේ ය. ඒ හැම ආත්මයකමත් ඔහු ආදරෙයි නො කියා මේ විදිහට දුරින් හිටියා ද කියන්නට මා දන්නේ නැත. නමුත් හදවතට දැනෙන්නා වූ දෙයක් තියේ. ඒ ඔහු ගේ හිතේ මා වෙනුවෙන් ඉතා කුඩා වූ හෝ මෘදු කොණක් ඇති බව ය. ඒ මෘදු කොණ අවුරා වසා ගෙන ඉන්නේ කවුරුන්ද කවර හැඟීමක් ද කියා හරියට ම මම නො දනිමි. නමුත් මට ඒ ගැන කිසිදු ගැටළුවක් නැති බව ද විශ්වාස ය.
මම ඔහු ට උමතුවකින් බැඳෙමින් සිටිමි. ඔහු ගේ පැත්තේ තිබෙන හැඟීම කුමක් වුව ද මට එහි වගක් නැති බව ද දනිමි. මේ හැඟීමට කියනා නම ප්‍රේමය ය කියා දැන් මම පිළිගමි. කවදා හෝ දවසක මුණිවර ඒ ප්‍රේමය පිළි ගනීවිද ප්‍රතික්ෂේප කරාවිද කියා නො සිතා ම මම පෙම් කරමි.
“ඒ..අර..”
නංගී එසේ කියනකොට ම ඈත වංගුවෙන් හැරුණ මුණිවර ගේ රතු පාට ජීප් රථය වේගයෙන් අප පසු කොට ගොස් තිරිංග තද කොට නැවතිණ. මගේ හද ගැස්ම තීව්ර වන්නට වූයේ ය. මම කෙල්ලන්ගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවෙමි.
“නඩුවක් තමයි ඉතිං”
හංසිකා මිමිණුවා ය. මම හෙමිහිට අඩියක් පෙරට තැබුවෙමි. මට දැනුණේ කකුල් වල රාත්තල් ගණනක බරක් ගැට ගසා ඇතිවා මෙනි. ඒ බර අද්ද අද්දා මම ජීප් රිය වෙත ගියෙමි. ඔහු බැලුවේ දැඩි බැල්මකි.
“මොකද මෙතන කරන්නෙ..”
“නි..කං…”
ඒ හඬ උච්ච වැඩි වීමට සමානුපාතික ව මගේ හඬ මන්ද්‍ර ස්වරයක් දැරුවේ ය.
“නිකං..කොල්ලො වගේ බයිසිකල් නවත්තං පාරවල් ගානෙයි බෝක්කු උඩයි…”
මට බිම බැලිණ. ඔහු ගේ බැල්ම මා වසා ගෙන තියෙනවා ඒ වෙලාවේ මට දැනුණේ ය.
“වැදගත් ගෑනු ළමයි ඔහොමද ආ..”
ඒ වෙලාවේ නම් නො රිස්සුමක් ඉසිහින් ලෙස මගේ හිතුවක්කාර ගැහැනු සිත ආක්‍රමණය කරන්නට විය.
“හරි ඉතිං…මං වැදගත් නෑ”
ඔහු විදුලියක් සේ වීදුරුව වසා දමා පවනක් ව යන්නට ගියේ ය. කෙල්ලන් හඬ නගා හිනැහෙත්දී මම එහෙම ම සිට හැරී බැලුවෙමි.
“කොයි වෙලාවෙ හරි නහරයක් පුපුරල මැරෙනව ඔය යෝදය. රත් වෙච්ච ගමන්නෙ ලේ ටික”
කෙසේ වෙතත් ඉක්මනට ගෙදර යාමේ ඕනා කමක් මට දැනිණ. එසේ කීවොත් කෙල්ලන් ගෙන් විසුමක් නොවන බව දන්නා නිසා ඉවසා ගෙන ඉන්නට මට සිදු විය.
අප ගෙදර එන විට මුණිවර ගේ රිය තිබුණේ නිල නිවාසය ඉදිරියේ ය. මම එහෙම ම ස්කූටිය නවතා පිටුපස හැරී නංගී දෙස බැලුවෙමි.
“මේ යකා ගෙදරටම ඇවිත් අප්පච්චිට කියලද…අපි පාරෙ රස්තියාදු ගහනව කියල. හැබැයි එහෙම කරන්න බැරි කමකුත් නැති එකා”
අප ස්කූටියෙන් බහින විට ඔහු නිල නිවසෙන් මිදුලට පඩි කිහිපය බසිමින් සිටියේ ය. අම්මා ද අප්පච්චි ද ඔහු පසු පස වූහ. අප දැක දැක ම නො දුටුවා සේ රියට නැගුණ හෙතෙම නික්ම ගියේ අප පසු කරත්දී හෝ මදෙස නො බලා ය.
“ඇයි අම්ම මිස්ට මුණිවර ආවෙ…”
මම දුවගෙන වාගේ පඩි කිහිපය නැග ගොස් අම්මා විමසීමි. ඇගේ ත් අප්පච්චි ගේත් මුහුණු මත ඇඳුණේ සාමකාමී සිනහවකි. මගේ කුතුහලය වැඩි විය.
“අප්පච්චිට ඉන්වයිට් කරල ගියා ෆාම් එක බලන්න එන්න කියල. අපි කට්ටියම එන්න ඕන කියලයි කිව්වෙ. ලන්ච් එකත් රෙඩි කරනව කිව්වෙ”
මමත් නංගී ත් මූණෙන් මූණ බලා ගතිමු.
“මාත් කවදහරි සීනියර් වයිස් ප්‍රසිඩන්ට් වෙනව. ඒ අයිය වගේ”
මල්ලී පිටුපස සිට කීවේ ය. නමුත් වෙනදා සේ ඔහු ව හාස්‍යයට ලක් කිරීමේ හැකියාවක් මට දැනුණේ නැත.
“වෙන මොනා නැතත් දුවා ට ෆැශන් ඩිසයිනිං වලට අත ගහන්න ලැබෙන එකනං මට ලොකු සතුටක්”
“ජූජකය හදන්නෙ කෙලින්ම අප්පච්චිට ප්‍රපෝසල් එක ගේන්නද දන්නෑ”
කාමරයට ගිය පසු නංගී මට කොඳුරා කීවා ය.
“ඊයා”
මට කියවිණ.
“මං බෑ කියනෝ එහෙම වුණොත්”
මා තුළ සිටිනා මුරණ්ඩු ගෑනු ළමයා ඉස්මතු වී ගෙන ආවේ ය.
“එයාට දවසක කියන්න වෙයි. මටම..”
මම මගේ ම හිතට තදින් අවධාරණය කළෙමි.
“මේ ආත්මෙ ඒක නොකියා හිටියොත් ලබන ආත්මෙත් මං පස්සෙන් යනව. මට ආදරෙයි කියනකල්ම…”
දිය නා ගෙන විත් යූ ටියුබ් එකෙන් මීදුම් දුමාරේ දා ගෙන මම ඇඳේ පෙරළුණෙමි.
“ඒත් ලබන ආත්මෙ වෙනකල් මට බලං ඉන්න පුළුවන් වෙයිද…”
හිත මගෙන් ම විමසමින් තිබිණ.