(අ) හිමි සිහින -132

ඒ අප්‍රේල් දහනවවැනිදා.

සුධාරක නිවසට එන්නට හරියටම ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණයි.සිංහල අලුත් අවුරුද්ද ද අපේ පුංචි දියණියගේ උපන් දිනය ද මඟහැර ගත් අප්පච්චි නිවසට එනතුරු දූටත් මටත් තිබුණේ දැඩි නොඉවසිලිමත්කමක්.අපි වඩාත් ම ආදරය කරන ඔහු හෙට නිවසට එන්නේ අපිට ආදරයෙන් අමතමින් බව අපි දන්නවා.

“මගේ පැණි කොමඩු නෝනයි පැණි කොමඩු බබයි කෝ”

“මගේ සුදුම සුදු නෝනයි සුදුම සුදු බබයි කෝ”

වැනි අති සුන්දර කතා කියමින් ඔහු එළිපත්ත මතින් මතු වීමට ඉතිරිව තිබුණේ පැය කිහිපයක් පමණයි.ඉතින් අපි හිටියේ ඉතාමත් සතුටින්.

එහෙත් එදා පරිසරය කුමක්දෝ අඳුරක් පැතිරී තිබුණා.  සාමාන්‍යයෙන් ඒ බක් මහ වැසි වසින කාලය නිසා මම ඒ ගැන ඕනෑවට වඩා හිතන්නට ගියේ නැහැ.හදවතේ කුමක්දෝ අන්ධකාරයක් තැවරී තිබුණත් ඒ අවුරුද්ද සහ දියණියගේ උපන් දිනය ඔබ නැතුව ගෙවූ ශෝකය වෙන්න ඇති කියලා මට හිතුණා.

අපි සිරිතක් ලෙස හැම හවස් වරුවකම ගෙදර බුදු පහන තබනවා. එය බොහොම ආශාවෙන් ඉටුකරන්නේ අපේ පුංචි දියණියයි.ඇය කොහොමටත් ආගම දහමට ඉතාම ලැදි සුන්දර දියණියක්.එදා ඇය බුදු පහන තබන්නට යද්දී ඇය බියපත් කරන්නෙකු බුදු කුටිය අසල සිටියා. සත් හැවිරිදි අපේ පුංචි දූ මාව අමතා මහ හයියෙන් කෑගැසුවා.

ඒ පුංචි හූනෙක්!

නමුත් පුංචි දැරියකට බිය පත් වන්නට එය ද ප්‍රමාණවත්.ඇයට නොපෙනෙන දුරකට මේ හූනු හාමි පන්නන්නට මම කටයුතු කරද්දී මගේ ජංගම දුරකථනය නාද වෙන්නට පටන් ගත්තා.

“අන්න සුදූ,අප්පච්චි කෝල් කරනවා.මං මෙයාව පන්නනකම් පුතා අප්පච්චිට කතා කරන්න.”

මම දියණියට එසේ පැවසුවා.ඇය කොහොමටත් ඒ අවස්ථාව මඟ හරින්නේ නැහැ.ඇය බොහොම සන්තෝසයෙන් අප්පච්චිගේ ඇමතුම ගන්නට දිව ගියා.

මම ජීවිතයේ සෑම අවස්ථාවක් ම පාහේ ඡායාරූපයට නගන්නියක බව එක්තරා දවසක මේ කතාවේදී ඔබට කියූ හැටි මතක ඇති.ඡායාරූප ගැනීම්,වීඩියෝ කිරීම්වලට අමතරව මට තවත් පුරුද්දක් තිබුණා.මට එන හැම ඇමතුමක් පටිගත වන ලෙස මම ජංගම දුරකථනය සකසා තිබුණා.එය මගේ රැකියාව පාදක කරගෙන සිදු කරත් පෞද්ගලික ජීවිතය සම්බන්ධ බොහෝ මතක සුරැකෙන්නටත් සාක්ෂි සැපයීම් කළ  යුතුම තැන්වල මා අසරණ නොවන්නටත් එය හේතුවක් වුණා.තවමත් මගේ දුරකථනයේ සුරැකිව පවතින අප්පච්චී සහ දුවගේ ඇමතුම මෙන්න මේ ආකාරයයි.

අපේ දූ දුරකථනය ගෙන “හෙලෝ අප්පච්චි” කියමින් ඔහු ඇමතුවේ බොහොම සතුටින්.සැබෑවටම ඇයට ඔහු ඇමැතීම බොහෝම සතුටට කාරණාවක්.දියණියව සුරතල් කිරීම තමන්ගේ එකම සතුට කරගත් සුධාරක මගේ දියණියව ඉතාම ආදරයෙන් අමතන්නට පටන් ගත්තා.

“හලෝ හලෝ කවුද මේ කතා කරන්නේ මගේ සුදූද?”

එවැනි ආදරයක් ලැබීමම දියණියකට මහ මෙරක්.ඇය ඔව් ලෙස පවසන්නේ ඉතාම ආදරයෙන්.

“මගෙම මගෙම මගේ සුදූ ද? මට ගොඩක් ආදරේ සුදූ ද? කෝ බලන්න මට ආයේ කියන්න මට ගොඩාක් ආදරේ සුදූද කතා කරන්නේ?”

ඔහු එසේ කිහිපවතාවක්ම දියණියව ආදරයෙන් අමතන්නට වුණා.ඒ ඔවුන් දෙදෙනාගේ දෛනික කතාබහේ ස්වරූපයයි.ඉන්පසු අප්පච්චිගෙන් ඇමතුමක් එනතුරු මඟ බැලුවාදැයි ඔහු දියණියගෙන් අසා තිබුණා.ඒ හැම ප්‍රශ්නයකටම අපේ සිඟිති දියණිය පිළිතුරු දුන්නේ ඉතා ආදරයෙන්.ඉතින් අප්පච්චී තමන් කතා කරන තුරු මඟ බැලීම සම්බන්ධයෙන් “ස්තූතියි” යන වචනය දසපාරකටත් වඩා කියමින් දියණිය සුරතල් කරන්නට පටන් ගත්තා. බුදු කුටිය අසලට වී තමන් බිය පත් කළ හූනා ගැනද අප්පච්චිට කියන්න දූ අමතක කළේ නෑ.එය එසේ විය යුතුමයි.තමන්ගෙ හදවත බියපත් කරන ඉතා සුළු කාරණාවක් වුවද මහමෙරක් කොට පවසා ආරක්ෂිතව සැඟව ගන්නට දියණියකට ඇති හොඳම තැන අප්පච්චිගෙ තුරුලයි.හෙට දිනයේ ඒ තුරුලේ සුරතල් වෙන්නට සිතමින් මගේ දූ අප්පච්චිට හූනා ගැන විස්තර කියන්නට පටන් ගත්තා.  

“කෝ දෙන්න බලන්න අම්මව?”

සුදාරක ඉන්පසුව දියණියගෙන් ඉල්ලා සිටියා.දියණිය මගේ අත දුරකථනය තැබුවේ ඉන්පසුවයි.මම පුරුදු ආදරයෙන් ඔහු ඇමතුවා.

“මැණිකේ”

එසේ පැවසූ පසු මගේ සිත නිවී සනහන සිනහව මතුව ආවා.ඒ සිනාව වසර කීයක් නම් මා සනසලන්නට හේතු වූ සිනාවක්ද?

“මොකෝ සුදු එකපාරටම ෆෝන් එක ගත්තෙ?”

ඔහු එසේ ඇසුවා.දියණිය බියට පත්වීම ගැන පිළිතුරු ලබාදී මම ඔහු මට අමතන තුරු බලා සිටියා.නමුත් ඔහු කිසිවක් ම පවසන්නේ නැහැ.විනාඩි කිහිපයක්ම මම ඔහුට ඇමතුවත් ඔහුගෙන් “හ්ම්”ශබ්දයක් වත් නැගුණේ නෑ.

ඒ ඇයි දැයි අසන්නට ඔබ නොකැමති වේවි.ගැහැනියක කෙසේ හෝ දරාගත යුතු නමුත් දරා ගන්නට ඉතා අපහසු කතාවක් හෙට ඔබට කියන්නට මට සිදුවෙනවා      

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles