නැන්දම්මා ලේලි මත ගැටුම පවුලකට බලපාන්නේ මෙහෙමයි..

Smartlady ෆේස්බුක් සමූහයට ලැබෙන නිර්නාමික ගැටලු බොහොමයක කියවෙන්නේ නැන්දම්මා සහ ලේලි ගැටුම ගැනයි. මේ සම්බන්ධයෙන් නැන්දම්මාට බනිමින් ඉඳීම,මානසික පීඩන ඇති කර ගැනීමට වඩා අප වඩාත් සාර්ථක විසඳුමකට යොමු වීම වැදගත්.

ඒ ගැන මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ කතා කරන්න අපි හිතුවා.

නැන්දම්මා ලේලි ගැටුම ආරම්භ වෙන්න හේතුව මොකක්ද?

මෙයට මනෝ විද්‍යාත්මක හේතු තියනවා. සමාජ විද්‍යාත්මක හේතු තියනවා. අවට පරිසරයෙන් බලපාන හේතුත් තියෙනවා. මේ මොන හේතු තිබුණත් නැන්දම්මා සහ ලේලි මෙයට මුහුණ දෙන හැටි, එය පාලනය හෝ වර්ධනය කර ගන්නා හැටි අනුව මේ ප්‍රශ්නය දික් ගැසෙනවා.සමාජ විද්‍යාත්මකව ගත්තොත් “මගේ පුතා” කියලා අම්මා හිතන්න ගත්තොත් විශාල ගැටලු ඇති වෙන්න පුලුවන්.

මේ සඳහා දිය හැකි විසඳුම් මොනවද?

ප්‍රධානම දේ දෙපැත්තෙම දෙමාපියන් දරුවන් විවාහ වූ පසු ඒ අය වෙනම පවුලක් ලෙස සැලකීම හරිම වැදගත්.
ඒ වගේම නැන්දම්මා ලේලියට දිය යුතු ගෞරවය , පවුල තුළ ඇයට ලැබිය යුතු වගකීම් ආදිය තේරුම් ගැනීමත් ප්‍රශ්න සාර්ථකව විසඳෙන්න හේතුවක්.

මමාස් බෝයි කෙනෙක්ගේ බිරිඳක් වීම බොහෝ තරුණ බිරින්දෑවරු අසරණ කරනවා නේද?

හැම තීරණයක් ගන්න කලින්ම අම්මාගෙන් අහන පුතාලා නිසා බිරිඳ අසරණ වෙනවා. ඇය ඉන්නකොට අම්මාගෙන් පුතා හැම දේම අහන එක ලේලිට ගැටලුවක්.
අම්මා පුතෙකුට ජීව විද්‍යාත්මක උපත දෙනවා තමයි. නමුත් සමාජ විද්‍යාත්මක ව කියන්නේ නැවත උපදින්නේ විවාහයෙන් කියලා. කිසිම නැන්දම්මා කෙනෙක් තමන්ගේ පුතා අලුතින් පටන් ගන්න පවුල ගැන තීරණ ගන්න තීන්දු දෙන්න නොයා යුතුයි. ඒ වෙනම පවුලක්. ඇය එහෙම කරන්න ගන්නකොට හිතන්න ඕන ඒ පවුලේ විනාශය පටන් ගන්නවා කියලා.

උදව් දීම සහ මැදිහත් වීම කියන්නේ පැහැදිලිවම දෙකක්. දැන් ඔබ ඒ පවුලේ කෙනෙක් නෙවෙයි.

නැන්දම්මා හිතන විදියද ලේලිලාගේ හැසිරීම ද වෙනස් වෙන්න ඕන.

නැන්දම්මා කියන්නේ මවක්. ඇයට අත්දැකීම් ඕනෑ තරම්. අලුතෙන් ජීවිතයක් පටන් ගත්ත තරුණ ගැහැණු ලමයෙක්ට තමන්ගේ ජීවිතේ පාඩුවේ ගෙවන්න දීම නැන්දම්මා කරන්නම ඕන. ඒ දෙන්නාගේ ගැටුම් ගැන හොයන්න යාම , ආදායම විමසීම නැන්දම්මා කරන්නම හොඳ නැති දේවල්. ඒ වගේම පුතා ලේලිට ගෙදර වැඩට උදව් කිරීම වගේ දේවල් නැන්දම්මා ප්‍රශ්නයක් කර ගන්න් හොඳ නෑ.

නැන්දම්මා ලේලි ගැටුම් මැඩ පවත්වාගන්න පුතෙක්ට කරන්න පුලුවන් දේවල් මොනවද?

වෙනම ජීවත් වීම හරිම වැදගත්. අම්මා බලන්න ගියාම අම්මා තමන්ගේ බිරිඳට බනිනවා නම් ඒවා අමතක කරලා ගෙදර එන්න. ඒ වගේම අම්මා සහ බිරිඳ ට ලැබිය වටිනාකම් ගැන ඔබ සැලකිලිමත් වෙන්න.ගැටුම් වර්ධනය නොකර හිනාවකින් ඒවා අමතක කරන්න.
මොනම වෙලාවක්වත් ඔබ බිරිඳට දක්වන ආදරය ඔබ දෙදෙනාගේ ලිංගික ජීවිතය ආදියට අම්මා මැදිහත් කර ගන්න එපා.

මේ සම්බන්ධයෙන් නැන්දම්මලාට කියන්න තියෙන්නේ මොනවා ද..

ඔබ පුතාගේ ජීවිතය තව දුරටත් පාලනය කරනවා නම්, ලේලි අඳින හැටි, ඇය දරුවන් ලැබිය යුතු කාලය ඔබ තීරණය කරනවා නම් ඔබ ඉන්නේ මානසික ගැටලුවක. කරුණාකරලා වෙනත් පවුලක් සම්බන්ධ අත පෙවීම් වලට යොමු වෙන්න එපා.
ඔබට ඔබේ නැන්දම්මා හිරිහැර කරාට ඔබත් එය ඉදිරියට ගෙන යායුතු බව හිතන්නම එපා.

මේ පිළිබඳව ඔබට පහත වීඩියෝවෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන්.රත්නා පුෂ්පකුමාරි මහත්මිය මේ ගැටලුව ගැන ඉතා වැදගත් සහ වටිනා විස්තර මෙහි සාකච්ඡා කරනවා.

Smartlady ෆේස්බුක් සමූහයට ඔබට ඕනෑම අවස්ථාවක ඔබේ ගැටලුව නිර්නාමිකව එවන්නත් හැකියාව තියෙනවා.

ගැටුම් අවමව සතුටින් සහ සැනසීමෙන් ඉන්න ඔබට සුබ පැතුම්!

Related Articles

Don't Miss


Latest Articles