“මං හිතෙනවා මට දරුව ලැබුණොත් හොඳයි කියලා..”
එක්තරා උදෑසනක සහන් හිමාෂාව ඇමතුවේ එවැනි අරුම ඉල්ලීමක් සමඟ ය.හිමාෂා ඒ කතාව අසා සිටියේ පුදුමයෙනි. කාර්යාලයට පැමිණ වැඩ දහසක් පටන් ගැනීමට සූදානම් වෙද්දී ම සහන්ගේ ඇමතුමට පිළිතුරු දීම ගැන ඇය ඇයටම දොස් නගා නගා ගන්නට වූවා ය.දියණියව හිටිහැටියේ ඔහුට පවරන්නේ කෙසේදැයි හිමාෂා අනතුරුව සිතන්නට වූවා ය.
“ඇයි මේ හදිසියේ?”
ඇය ඇසුවේ පුදුමයෙනි.කොහොමටත් සහන් සමඟ වාද කිරීමට ඇයට අතීතයේ පවා පුරුද්දක් තිබුණේ නැත.මෙවැනි පුරුද්දක් වූවා නම් බොහෝ කාරණා මෙසේ සිදුවන්නේ නැති බව ද ඇය දැන සිටියා ය.
“ඔයා කසාදෙකට යනවනම් අනිවාර්යෙන් දුව මට ඕනේ.”
ඒ නියෝගාත්මක කතාවකි.ආදරයෙන් අමතනවා වෙනුවට නියෝග පැවරීම සහ අණ ලබා දීම ඔහු සැමියා වී සිටි කාලයේත් සිදු කළ වග හිමාෂා සිහිපත් කළා ය.ළාබාල බිරිඳක ලෙස ඒවාට අවනත වූ දවස් තිබිණ.එවැනි හිත රිදෙන තැන් වලදී වැසි වසිනා අහසක් තරමට කඳුළු වැගිර වූ අන්දම හිමාෂා සිහි කළා ය.නමුත් ඒ නොගැලපෙන විවාහය ම ඇයව හිම මෙන් මිදෙන්නට ඉඩ හැර තිබේ.දැන් මෙවැනි කාරණා ඇයට දිය වී වැගිරෙන්නට හේතු නොවේ.
“ඔයා උසාවියෙදිවත් දරුවා ඉල්ලුවේ නෑනේ.අනිත් එක තමයි දරුව ලැබෙන්න ඉන්න කාලෙවත් ඔයාට ඒ ගැන හැඟීමක් තිබුණද? නෑ නේද සහන්.එහෙනම් මේ හදිස්සියේ ඔයාට දුව ගැන දරු කැක්කුම ආවේ ඇයි?”
ඒ ප්‍රශ්නයට සහන් දිය යුතු යුතු පිළිතුර වූයේ තමා ඒ දරුවාගේ පියා බව වුවත් ඔහු එවැනි ළතෙත් කතාවක් කියන්නට දන්නා මිනිසෙකු නොවේ.ඔහුගේ කතාව අත ළඟ සිටියානම් මුහුණ හරහා ප්‍රහාරයක් එල්ල කරන්නට වටිනා තරමේ කතාවක් වග හිමාෂාට සිතිණ
“මට දරුවෙක් ගැන ඇත්තටම ආදරේ හිතෙන්න පටන් ගත්තෙ මල්මි ප්‍රෙග්නන්ට් වුණාම.ඒ දරුවාට වගේම දිනාරටත් මට ආදරේ කරන්න පුළුවන් කියලා මට තේරුම් ගියේ ඉන්පස්සෙ.ඇත්තටම දැන් මට මගේ පුංචි දරුවා විතරක් නෙමේ.ලොකු දුවත් ඕනෑ.”
හිමාෂා කෙටි හුස්ම කිහිපයක් ගත්තා ය.කෝප ගෙන මේ ප්‍රශ්න වලට විසඳිය යුතු නැති බව ඇය අවසානයේ තීරණය කළා ය.කාර්යාල කාමරයේ පිවිසුම් දොරටුවෙන් රවිඳු පිවිසියේ ඒ මොහොතේම ය.ඔහු අර මනස්කාන්ත සිනාව ඇයට පා කර එවී ය. සිත සනසා ගන්නට ඒ ප්‍රමාණවත් වග හිමාෂාට සිතිණ.
“සහන්,මිනිස්සුන්ට බලෙන් ආදරේ කරන්න බෑ.ඔයාගේ හිතේ මං ගැන පුංචිම පුංචි හැඟීමක්වත් නෑ කියන එක තේරුණාම ඔයාට ඔයා ආදරේ කරන කෙනාව ලබාගන්න ඉඩ දීලා මම දරුවත් එක්ක අම්මගෙ ගෙදරට එන්න ආවා.ඊට පස්සේ කිසිම මොහොතක මම ඔයාට අවනම්බු කරාද? නින්දා කරන්න හැදුවද? ඒත් ඔයා මෙහේ හැසිරෙන විදිය සාධාරණයි ද?ඔයාගේ කිසිම සැලකීමක් නැතුව මම මගෙ දරුවව හදාගත්තා.අප්‍රමාණ වේදනා විඳලා මේ ලෝකෙට බිහිකළා.කමක් නෑ.ඒ මගේ දරුවා.එයා ගැන ආදරේ මට ඇතිවුණේ එයා මම ගාවට ඇවිල්ල කියල දැන ගත්තු දවසෙමයි.එදා ඉඳලා අද වෙනකන් එකම විදියට එයාට ආදරේ කරන මට දූව ඔයාට දෙන්න බෑ.ඔයා ඇත්තටම දරුවාට ආදරේ කරලා අපිට වෙන මොනවාහරි හේතුවකට වෙන්වෙන්න සිද්ධ වෙලා තිබුණනම් මං බබාව ඔයාට දෙනවා.ඒත් මේ හිටි හැටියේ ඔයාට උනපු දරු සෙනෙහෙ හින්දා මායි මගෙ දරුවයි වෙන් වෙන්නෙ මොකටද?
හිමාෂා වේගයෙන් කියවාගෙන ගොස් දුරකතනය විසන්ධි කර දැමුවා ය.මෙවැනි දුර්ජන මිනිස්සුන්ට ඇමතුමක්වත් ලබා ගත නොහැකි තැනකට ගොස් සැඟවෙන්නට ඇයට සිතිණි