හිමාෂා නිවසට ආවේ වෙහෙසින් පීඩිතව ය.මහන්සිය දරා ගන්නට නොහැකි තරම් හින්දා ඇගේ මුහුණ අඳුරු වී ගොස් තිබිණ. ගතේ වෙහෙස දරා ගන්නට හැක.නමුත් ඒ ගතේ වෙහෙස ඇති වූයේ සිතේ වෙහෙස හින්දා ය.සහන් සහ පාරමී හිතට ඇති කළ තදබල පීඩනය ගැන සිතමින් ඈ නිවසට ගොඩ වැදුණා ය.
මේ මොහොතේ නංගි නිවසේ නොමැත.දියණිය පෙර පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දවස ගත කර නිවසට එන්නට තවත් වෙලා ගත වනු ඇත.අම්මාගේ ප්‍රශ්න දරා ගන්නේ කෙසේදැයි හිමාෂාට නොසිතුණා නොවේ.නමුත් ඇය අම්මාගේ දෑස මඟ හැර නිවස තුළට යන්නට සිතුවා ය.
“අසනීපෙන්ද ලොකු පුතා?”
අම්මා ඇසුවේ කාමරයට යන්නට පෙර හිමාෂා ඉදිරියේ සිටගෙන ය.දරන්නට බැරි හිසේ කැක්කුමක් පැමිණි බවත් නිවාඩුවක් දමා නිවසට එන්නට ආ බවත් හිමාෂා කෙටියෙන් හෙළි කළා ය.
“තනියම ආවද?”
අම්මා අසන්නේ අමුතු ප්‍රශ්නයකි.දැන් වසර කිහිපයක් තිස්සේ තමන්ගෙ තනි මකන්නට සිටියේ තම සෙවනැල්ල පමණක් වග අම්මාට කියන්නට සිතුණත් එය අසාධාරණ කතාවක් වග සිතුණු නිසා හිමාෂා වෙනත් පිළිතුරක් දුන්නා ය.
“ටැක්සියක ආවේ අම්මේ”
නමුත් අම්මාගේ මඳ සිනාව එය අනුමත නොකරන සුළු සිනාවකි.ඇය හිමාෂාගේ හිස අත ගාගෙන නිවස තුළට ගියා ය.අම්මා කුමක් හෝ සඟවාගෙන සිටින බව හිමාෂාට දැනේ.ඒ කුමක්දැයි හිමාෂාට නොපැහැදිලි ය.
“ගෙදර ගියාද?”
ඒ පණිවිඩය පැමිණ බොහෝ වෙලාවක් බව හිමාෂා දුටුවේ සෝදා පිරිසිදු වී අම්මාගේ තේ කෝප්පය ද රැගෙන කාමරයට පැමිණ දුරකථනය පරීක්ෂා කරද්දී ය.
“පැය බාගයක් විතර.”
හිමාෂා පිළිතුරු දුන්නා ය.පැමිණියේ තරහ පිරී රතු වූ ඉමෝජි කිහිපයකි.
“මං බලන් ඉන්නව කියල දන් නැද්ද?”
ඔහු එසේ බලා සිටින බව ඇය දැන සිටියේ නැත.රවිඳු කෙරෙහි ප්‍රේමයක් ජනිත වූ දා පටන්ම හිමාෂාට උවමනා වූයේ ඔහුගෙන් හැකිතාක් ඈත් වන්නට ය.නමුත් ඔහු දැන් ක්‍රමයෙන් සමීප වෙමින් සිටින බව ඇයට වැටහේ.එයට හේතුව අනුමාන කරන්නට පවා ඇති වූ බිය නිසා හිමාෂා දුරකථනය පසෙකින් තබා දෑස් පියා ගත්තා ය.ඔහු එතරමට තමන් ගැන වද වෙන්නේ ඇයිදැයි රවිඳුගෙන් අසන්නට ඇයට උවමනා ය.පාරමී එතරම් තදින් කිපෙන්නට සමහරවිට හේතුවක් තිබෙන්නට ද බැරිකමක් නොවේ.
“ඒයි..නිදිද? දැන් කොහොමද?”
වේදනා නාශක පෙතිවලට පින් සිදුවන්නට බොහෝ වෙලාවක් නින්දට වැටුණු හිමාෂා දෑස් විවර කළේ නළල මත ගැටුණු සීතල අත්ල නිසා ය.අමායා අක්කාගේ මුහුණට එබීගෙන හුන්නා ය.දියණියගේ කියවිල්ල ද ඇසේ.පුංචි ද දියණිය ද නිවසට පැමිණි මොහොතවත් නොදැනුණු බව කියමින් හිමාෂා සයනයෙන් නැගී සිටියා ය.
“ඔලුවෙ කැක්කුම ඔෆිස් එකේ අවුලක් නිසා නේද? පිස්සුද හලෝ ප්‍රශ්නවලින් පැනලා යන්නේ?”.
අමායා අසන්නේ කුමක්දැයි හිමාෂාට සිතා ගන්නට නොහැකි විය.හිසරදයට සැබෑ හේතුව සහන්ගේ ඇමතුම බව නැගණියට කිව යුතු ය.නමුත් එයට ඉඩක් නොතබාම අමායා කියවන්නට පටන් ගත්තා ය.
“පාරමී මහා ජරා ගෑනියෙක්නෙ අක්කෙ.අන්න අම්මට කෝල් කරලා.”
හිමාෂා නැගණිය දෙස බලා සිටියේ කිසිවක්ම විශ්වාස කරගන්නට නොහැකි තරම් පුදුමයකිනි;භීතියකිනි.