“පාරමී ඇයි අම්මට කතා කරල තියෙන්නෙ?මං අසනීපයෙන් කියන්නද?”
අක්කා අසන ප්‍රශ්නයට අමායාට ඉපදුණේ උස් සිනාවකි.ඇය හඬ නගා සිනාසෙන අන්දම හිමාෂා බලා සිටියේ පුදුමයෙනි.පාරමි අම්මාට කියන්නට ඇත්තේ කුමක්දැයි සිතෙද්දී පවා ඇයට දැනෙන්නේ බියකි.ඒ බිය වසාගන්නට ඇසූ ප්‍රශ්නයට නංගිට මෙතරම් හිනාවෙන්නට හේතුවක් තිබිය නොහැකි ය.
“පිස්සුද හලෝ? ඒ වගේ හොඳ යාළුවෙක් කියලා එයා ගැන හිතන්න එපා.එයා එයාගේ කලර්ස් පෙන්නලා ඉවරයි.”
අමායාගේ මුහුණ සිනාවෙන් කෝපයකට හැරුණේ ඇසිල්ලකිනි. නංගි පවසන දේ අසන්නටවත් පාරමීට සිතක් නොවේ.ඇය එතරම් බියට පත් වූවා ය.නමුත් පාරමි මේ කේලම පවසන්නට ඇත්තේ තමන් නිවසට පැමිණීමෙන් පසු බව හිමාෂාට සිතේ.අම්මා ඒ මොහොතේ කෝපය තුරුළු කරගෙන නොසිටියා ය.
“අම්මාට පාරමී කෝල් කරලා.ඔයයි රවිඳු අයියයි අතර සම්බන්ධයක් තියෙනවා කියලා.මන් දන්නෑ එයාලගේ රවිඳු අයියලාගෙ ගෙදර නම්බර්ස් තියෙනවද කියලා.තියෙනවා නං එහාටත් ගින්නක් දීලා.”
ළබැඳි මිතුරියක ලෙස ළඟ හුන් පාරමී මෙවැනි දරුණු දෙයක් කරන්නට හිත හදා ගත්තේ කෙලෙසදැයි හිමාෂා කම්පනයෙන් සිතන්නට වූවා ය.ඈ සහෝදරියක තරමට ලඟ මිතුරියක බව හිමාෂා මෙතෙක් දවස් සිතමින් සිටියා ය.ජීවිතයේ ඉතා අසීරු දවස් දරාගන්නට පාරමී උදව් කළ අන්දම ඇයට කෙසේවත් අමතක කරන්නට නොහැකි ය.එසේ තිබියදී මෙවැනි හිතලුවකින් පීඩා විඳිමින් පාරමී මෙසේ කරන්නට හේතුව හිමාෂා සිතුවේ ශෝකයෙනි
“සමහර වෙලාවට අහස අපිට මහ වැහි එවනවා.කුණාටු තරම් සැර වැහි.අපිව විනාස වෙලා යයි කියලා හිතුවට එතනදි අහස රැවටෙනවා.ඒ උස්සලා පොලොවෙ ගැහිල්ලෙන් අපි විසි වෙලා යන්නේ හිතනවටත් වඩා හොඳ තැනකට.”
අමායා එසේ පවසද්දී හිමාෂා විමතියෙන් නැගණිය දෙස බැලුවා ය.ඇය මේ පවසන්නේ කුමක්දැයි සැබෑවටම හිමාෂාට වැටහීමක් නොවිණ.
“පාරමී අක්කා කුණාටුවක් එව්වෙ ඔයාව අවුල් කරන්න.ඒත් ඒකෙන් වුණේ මෙච්චර දවසක් අවුල් වෙලා හිටිය අම්මා සන්සුන් වෙච්ච එක.”
අමායා පවසන්නේ හිනැහෙමිනි.රවිඳු සිටින්නේ හිමාෂා ගැන ප්‍රේමයෙන් යැයි ඇසීම පවා අම්මාට මහත් ආනන්දජනක කාරණාවක් වූ වග අමායා අක්කාට පැවසුවේ හිනැහෙමිනි.
අක්කාගේ සහ සිඟිත්තියගේ අනාගතය ගැන බිය දැනෙන වග පවසමින් අම්මා හඬා වැළපෙන අවස්ථා ඕනෑතරම බව අක්කාට කියන්නට තරම් ධෛර්යයක් අමායාට නොවේ.එය ළය දැදිරි කරවන වේදනාවකි.අම්මා වැඩිමහල් දියණියගේ වර්තමානය ද අනාගතය ද ගැන සෑම මොහොතකම බිය සහ වේදනාව මිශ්‍ර හැඟීමකින් කටයුතු කරන බව අමායා හොඳින් දැන සිටියා ය.වරදෙහි බැඳුණු සහන්ට සියලුම සතුට හිමි වෙද්දී හිමාෂා වාලුකා කතරක තනිවීම අම්මා කෙනෙකුට ඉහිලුම් නොදෙන ශෝකයක් බව ඇය දනියි.
මේ සියළු කාරණා හන්දා අක්කාට ප්‍රේමවන්තයෙකු මුණ ගැසීම ගැන අම්මා සතුටිනි!
“ඒක හරිම අවුල් වැඩක්නෙ නංගි.කවමදාවත් නොවෙන දේකට අම්මා බලාපොරොත්තු තියාගන්න එක ගැන මට දුකයි.”
රවිඳු කිසිම දිනෙක තමන්ට හිමි වන්නට ඉඩ නැති බවට තමන්ගේම සිතට තරවටු කර ගනිමින් පවසා ගන්නා අතර හිමාෂා එසේ පැවසුවා ය.ඔහු තරුණයෙකි.තමන් විවාහ වී දියණියක ලබා දික්කසාද වූ ගැහැනියකි.අනෙක් කාරණාව ඔහුගේ මිත්‍රත්වය දෝත පුරා ලැබීමෙන් ඔහු ගැන ප්‍රේමයක් හදවතෙහි ඉපදෙමින් පැවතීම ය.ඒ හැඟීම තවත් වර්ධනය වන්නට හේතුවන මෙවැනි කාරණා දරා ගන්නට තරම් තමන් ශක්තිමත් නැති බව හඬමින් කියන්නට තරම් හිමාෂාට සිත් වේ.
“මට හිතෙන්නේ ඒක වෙන්න තියන දෙයක්.මිනිස්සු ආදරේ වචන කරන්න ඕන නෑ අක්කා.ඇත්තටම ආදරේ වචන වෙන්න ඕන නෑ.රවිඳු අයියා කොහොම කෙනෙක්ද කියලා මට තේරුම් ගියෙ දූගේ බර්ත්ඩේ එක දවසේ.”
අමායා එසේ පවසා තවත් කාරණාවක් කියන්නට සිතුවා ය.
“එදා මමයි චානකයි රවිඳු අයියා ගැන කතා වුණා.ඔයා ඩිවෝස් වුණු ගෑනු කෙනෙක් අක්කා.එහෙම අයට ඇත්තටම ආදරෙන් ළං වෙන පිරිමි හරිම අඩුයි.වෙන ප්‍රයෝජන බලන් ළං වෙන මිනිස්සු තමයි වැඩි.”
නැගණිය තමන් උස්සා පොළොවේ ගැසූ බව හිමාෂාට සිතිණි.ඇය මේ කියන්නට උත්සාහ ගන්නේ රවිඳු තමන්ගේ ස්ත්‍රීත්වයෙන් ප්‍රයෝජන ගන්නට සැරසෙන බවක් ද?