(අ)හිමි සිහින -146

ඒ අසීරු කාලයේ මගේ දින චරියාව ඉතා පුදුමාකාර එකක් වුණා.මගේ නිවසෙන් ඈත් ව මගේ දියණියගෙන් ඈත්වී මා ගෙවා දැම්මේ ඉතා දිගු දවස්.නමුත් ඒ දවස්වල වූ වෙහෙස ගැන මගේ හිතට කුඩා හෝ පසුතැවීමක් නෑ.මගේ සෑම වෙහෙසක් ම සෑම කඳුලක්ම වැය කළේ මා මේ ලෝකයේ වඩාත් ආදරය කරන මිනිසා වෙනුවෙන්.

ඒ කාලයේ මා ගෙවා දැමුවේ නිදි නැති රාත්‍රීන්.මා සමීපයේ නිදන සුදාරකගේ සහෝදරිය ඉතා සනීප නින්දක් ලබද්දී මම යහනේ ඒ මේ අත පෙරළෙමින් ඔහේ රාත්‍රිය ගත කළා.සමහර රාත්‍රීන් වල දී මම අන්තර්ජාලය පීරමින් සුදාරකගේ මේ වෙද්දි තත්ත්වය සම්බන්ධ ලිපි කියවනවා.යූ ටියුබ් අවකාශයේ ඇති විදෙස් වෛද්‍ය සාකච්ඡා නරඹනවා.

“මොනවද බං ඇහැරගෙන කරන්නේ.නිදා ගනිංකො.”

මගේ නෑනන්ඩිය මට එසේ පවසද්දී මම ඇයට පවසන්නේ ඊට එරෙහි කතාවක්. 

“මේ ලෙඩ වෙලා ඉන්නේ ඔයාගේ අයියා හින්දා ඔයාට වැඩිය ගානක් නැතුව ඇති.ඒ උනාට මේ මගේ මනුස්සයා.”

එසේ පවසමින් මම බොහෝ වේලා අන්තර්ජාලයේ සැරිසරනවා. සුධාරකට ඉදිරිය සම්බන්ධයෙන් නිගමනවලට එළඹෙනවා.

අප සිතා හුන්නාට වඩා කාලයක් අපිට අනුරාධපුරයේ රැඳෙන්නට සිදු වී තිබුණා.සැබෑවටම මා පවා සිතාගෙන සිටියේ සුදාරක දින දෙක තුනකින් සුවපත් වෙන බවක්.නමුත් එසේ වූයේ නැහැ.ඥාතීන් කොළඹ පැමිණ යන්නට ආවත් මට අනුරාධපුරයෙන් මෙපිටට පයක් තබන්නට හිත හදා ගන්නට අසීරු වුණා.දිනගණනක් රැඳී හිඳින්නට මා සූදානම්ව ගියේ වත් නැහැ.මම ඒ තරම් ඇඳුමක් කැඩුමක්වත් රැගෙන නොගිය තරම්.

ගෙදරදී ඇඳුම් බෑගය සකසා ගනිද්දී මම එක් සුදු බ්ලවුසයක් පමණක් ඇඳුම් බෑගයට දමා ගත්තා.සුධාරකට සුවය පතා ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑයට යාමට සිදු වේ යැයි සිතා එය ගත්තත් මෙපමණ දින ගණනක් මට බෝධි පූජා පවත්වන්නට වේයැයි මම සිහිනයකින් වත් හිතුවේ නැහැ.සුදු ඇඳුම් දෙක තුනක් බෑගයට දමා ගන්නටත් මට හිතක් වූයේ නැහැ.එය අසුබ ලකුණක් විය හැකි බව මගේ සිත මට පැවසුවා.ඉතිං මට ප්‍රමාණවත් ඇඳුමක්වත් නොවූ තරම්.එකම ඇඳුම් සෝදමින් නැවත හඳින්නට මට සිදු වුණා.ඇඳුම් අලෙවිසලකට ගොස් අවශ්‍ය ඇඳුමක් මිලදී ගන්නට වත් මට එකඟත්වයට පත් වූ සිතක් තිබුණේ නැහැ.උදේ හවා රුවන්වැලි මහා සෑය වෙත යන්නට සුදු ඇඳුමක් ගන්නට නම් මට සිත් එකඟ කරගන්නට කර ගන්නට හැකි වූයේ ම නැහැ. 

“පවුලේ කෙනෙක් අසාධ්‍ය වෙලා ඉන්නකොට සුදු ඇඳුම් මිලට ගන්න හොඳ නෑ.”

මම එහෙම කතාවක් කොහෙන් හෝ අසා තිබුණා.මෙවැනි මොහොතකදී එවැනි කතා පවා හිස් මුදුනින් පිළිගන්නට සිත් දෙන නිසා මට ඇඳුමක් මිලට ගන්නට සිතුණේම නැති තරම්.එවැනි අවස්ථාවක කුඩා සිතුවිල්ලක්වත් වරදිනවා ට අපේ කැමැත්තක් නැහැ.සිතුවිල්ලකින්වත් අනිත් පැත්තට හිතන්නට ඒවගේ මොහොතකදී සිතට ඇති වෙන්නේ විශාල බයක්.සැබෑවටම මා ඒ දවස් ගෙවා දැමුවේ සම්පූර්ණයෙන්ම මා අමතක කර දමමින්.

“මේ ගෑණු මනුස්සයා පිස්සෙක් වගේ එහෙට දුවනවා මෙහෙට දුවනවා.කඩමාලු ඇඳුම් එල්ලාගෙන දිව්ව පන්සලක් දේවාලයක් මේ අනුරාධපුරේ නැති තරම්.”

ඔහුගේ ප්‍රධානීන් මාගැන එසේ කතා වූ බව මට අසන්නට ලැබුණේ පසුවයි.මෙවැනි මොහොතක යන්ත්‍රයක් සේ කටයුතු කරමින් හැඬීම සහ දුක්වීම අමතක කර දමන ගැහැනු හදවතක් ඔබත් දරා ගන්නට ඇති.මගේ කතාව ඔබ පසු කළ එවැනි අවස්ථා ඔබට සිහි ගන්වනවා ද විය හැකියි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles