“ඔයා කොහොමද ඕවා දන්නේ?”
පාරමීගේ කතාවේ සැඟවුණු තැන් ගැන අමායා එක හුස්මට පවසද්දී අමායා කිසිවක් නොදොඩා නිහඬව හුන්නා ය.නිවස පුරා නින්නාද නැංවෙන්නේ අම්මා කුඩා දියණිය නළවන නැළවිලි ගී හඬ ය.දැන් ඈ තනිව නිදන වයසේ ලොකු කෙල්ලක වුව ද අත්තම්මා ගී ගයමින් ඈ නළවන්නට කැමති ය.ඒ ආදරය ගැන තර්ක කිරීමට නොහැකි නිසාම හිමාෂා අම්මාට රිසි දෙයක් කරන්නට ඉඩ දී තිබේ.
“අපි චුට්ටක් එලියට යමුද?”
නිවසින් පිටතට ගොස් මිදුලට වී කතාබහේ යෙදෙන්නට අමායාගෙන් යෝජනාවක් මතු විය.ඇය එවැනි යෝජනාවක් කරන්නේ කියන්නට බොහෝ දේ ඇති බැවින් බව හිමාෂා වටහා ගත්තා ය.
“ඔයා දැන්වත් පාරමී කියන කතා වලට රැවටෙන එක නවත්තන්න ඕන.තමන් අවට වෙන්නේ මොනවද කියලා ඇස් ඇරලා බලලා තේරුම් ගන්නවා අක්කේ.”
නැගණියගේ කතාව තර්ජනයකට සමාන ය.නමුත් ඇය කිසිවක් සොයා නොබලා පිළිනොගන්නා බව හිමාෂා දනියි.නමුත් නැගණිය දන්නවාට වඩා දේවල් තමන් මේ සම්බන්ධයෙන් දන්නා බව පැවසීමට හිමාෂාට උවමනා විය.
“ඔයා කොහොම කිව්වත් ඒ දෙන්න අතර මොකක් හරි සම්බන්ධයක් තිබුණ නංගි.ඔයා දන්නවද පාරමී අසනීපෙන් කිව්වට පස්සේ රවිඳු ඔෆිස් එකෙන් අතුරුදහන් වුණා.මට ඊට පස්සේ නම් හිතුණ එයාල අතර මොකක් හරි තියෙන්න ඇති කියලා.”
අමායා හිනැහුණේ අඳුරට ය.නමුත් ඒ සිනාව හිමාෂා හොඳින් දුටුවා ය .නැගණිය තමන්ට හිනැහෙන්නේ නැති බව ඇයට විශ්වාස ය.නමුත් මේ කතාවේ රහස් තැන් බොහෝ ය.
“ඔයා පාරමී ව හම්බෙන්න ගියා කියලා හිතාගෙන හිටියට රවිඳු අයිය ආවේ මෙන්න මේකට”
ඒ සෙල්ෆි ඡායාරූපයේ හිඳින්නේ නැගණිය සහ රවිඳු ය.මෙයින් අද ගත් ජායාරූපයක් බව තහවුරු වන්නේ ඔවුන් අද දින හැඳ සිටියේ මේ ඇඳුම් නිසා ය.හිමාෂා පුදුමයෙන් නැගණිය දෙස බලා සිටියා ය.ඕනෑවට වඩා පණ්ඩිතකම් කළ බව කියමින් නංගීට දොස් තබන්නටවත් ඇයට නොසිතේ.නමුත් එවැන්නක් කිරීමට හේතුව කිරිමට හේතුව විමසන්නට හිමාෂට සිතිණි.
“ඔයා අසරණ වෙලා ගෙදර එනකොට මම පොඩි ළමයෙක්.වයසින් පොඩි නැතත් මම ඉස්කෝලේ ගිහින් ඉවර උනා විතරයි.සහන් අයියට කතා කරලා එයා කරපු දේ අන්තිම අසාධාරණයි කියන්න වත් මට හයියක් තිබුණෙ නැහැ.”
නැඟණියගේ හඬ බිඳී යද්දී හිමාෂා ඇය වැළඳ ගත්තා ය.කාරණා කටයුතු කෙලෙස සිදු වුවත් අත නෑර දරාගන්නා සහෝදරියක් ලැබීමම ජීවිතයේ සිදු වූ යහපත් දෙයක් බව ඇයට සිතේ.
“තමන්ගෙකම කියන්නේ හේතු හොයන්නේ නැතුව අනික් කෙනා වෙනුවෙන් පෙනී ඉන්න එකට.ඔයාට විසඳගන්න අමාරු ප්‍රශ්නයක් මම විසඳාගන්න උත්සාහ කරා මං හිතනවා මම කරපු දේ හරි කියලා.”
නැගණිය ගත් පියවරෙහි අවදානම් තැන් තිබූ නමුත් ඇය සත්‍යය සොයා ගන්නට සමත් වී ඇතැයි සිතද්දී හිමාෂාට දැනුණේ සන්තෝෂයකි.
“මට තාම ඔය කතාව ගැන ලොකුවට විශ්වාස කරන්න බැහැ.ඒත් සමහර විට එයා කියන්නේ ඇත්ත වෙන්න ඇති කියලා මට හිතෙනවා.”
අක්කා දැන් මෙසේ කියන්නේ එක්වරම පිළිගන්නට ඇති බිය හෝ ලජ්ජාව නිසා බව දන්නා අමායා කතාවේ හොඳම කොටස රහසක්ව රකින්නට සිතා ගත්තා ය.අවශ්‍ය වන්නේ අක්කාගේ සිතේ ඇති වැරදි අවබෝධය තුරන් කිරීම පමණි.ඔවුන් එකිනෙකාට ආදරයෙන් පසුවන බව පවසා ගැනීම ඔවුනොවුන්ට අයිති කාර්යයකි.
“හුඟක් කල් ඇඬුවම හිනා වෙන්න අමතක වෙනවා තමයි.ඒත් අපට ලැබිලා තියෙන මේ පුංචි ජීවිත කාලේ අඬඅඬාම ඉන්න එකේ තේරුමකුත් නෑනේ.හිනා වෙන්න කාලේ ඇවිල්ල කියල හිතෙනවනම් හිනා වෙන්න.ඒ වෙලාවටත් ගල් ගැහිලා බලාගෙන ඉන්න එක කිසිම තේරුමක් නෑ.”
අමායා අක්කට එපමණක් පැවසුවා ය.ප්‍රහේලිකාවේ අමාරුම හරස් පද ඈ අතින් විසඳී තිබේ.අනෙක් තැන් ද ලෙහෙසි පහසු නොවන බව සැබෑවකි.නමුත් ධෛර්යමත්ව ඒවා විසඳාගෙන ජීවිතයට මුහුණ දීම අක්කා සතු වගකීමක් බව ඇය සිතුවා ය.