(අ)හිමි සිහින -158

මම ආපසු එද්දී අපේ වාහනය වෙනුවෙන් සුදාරක ට ලබා දී තිබූ රියදුරු මහත්මයා මුහුණ අඳුරට හරවාගෙන බලාගෙන සිටියා.ඔහුගේ මුහුණේ වූයේ දැඩි කනස්සල්ලක්.

“මැඩම්,වාහනේ යතුර දීලා වාහනෙන් අයින් වෙනව.මට සමාවෙන්න මට මේක තවදුරටත් කරන්න බෑ.”

ඔහු ඉතාම හිතෛශී මිනිසකු වූ නිසා මේ කතාව අදහා ගත නොහැකි වූ මම ඔහුගේ මුහුණ දෙස බැලුවා.

“අපි හැමෝම සර් වෙනුවෙන් මේ වෙලාවේ ඉන්නේ හරි බයෙන්.කරන්න පුළුවන්  හැමදේම කරනවා.අපි බය වෙලා ඉන්නකොට මේ මිනිස්සු හැසිරෙන විදිය මට හරි අප්‍රසන්නයි මැඩම්. මැඩම් කැලෑ අස්සේ යනවා නිදහස් කරන්න හරකෙක් හොයන්න.මේ ගෑණු මනුස්සය වාහනේ ඉස්සරහ සීට් එකට වෙලා හොඳට ඒසී එක දාගෙන ඉඳගෙන මැඩම්ට අප්‍රසන්න ජරා කතා කියලා බනිනවා.”

සාමාන්‍යයෙන් කාන්තාවකට අපහාස කිරීමට ඇති පහසුම ක්‍රමය වෙන්නේ ඇයට බොහෝ සම්බන්ධතා තිබෙනවායැයි පැවසීමයි.මම ඇගේ පුතුගේ ජීවිතය පතමින් විවිධ දේ කරමින් සිටින අතර මේ මහලු කාන්තාව මා ලිංගික ශ්‍රමික කාන්තාවකට සමාන කරමින් විවිධ දේ කියමින් මට අසභ්‍ය ලෙස බැන වැදුණු බව රියැදුරා පැවසූයේ ඉතාම පිළිකුළකින්.

තමන්ගේ ආදරණීයයා කිනම් මොහොතක අහිමි වේ දැයි නොදැන ඉතා වේදනා බර කාලයක් ගෙවන ගැහැනියකට අපහාස උපහාස කියන්නේ වැලි කැටයකටත් වඩා කුඩා දෙයක්.විය හැකි දරුණුම විපත ගැන බියෙන් පසුවූ මට මේ කතා අසන්නටවත් උවමනා වූයේ නැහැ.

මම රියදුරු මහතා ව සන්සුන් කරන්නට කටයුතු කළා.මා සමඟ හදවතින්ම බැඳී සිටින ඔවුන් කිසිවෙකුත් අහිමි කරගන්නට මට උවමනා වූයේ නැහැ.තමන්ගේ ජේෂ්ට නිලධාරියා කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් හිඳින මට මවකට වැඩිමහල් සහෝදරියකට සේ ගෞරව කරන ඔවුන් සතු මනුෂ්‍යත්වයේ  ගුණ සුවඳ මට නිරන්තරයෙන් දැනුණා.ඒ නිසා මම ඔහු සන්සුන් කරමින් අපේ ඉතිරි වැඩ කටයුතු වෙනුවෙන් පිටත් වී ගියා.

වෛරී සහගත සිතිවිලි ඇති වූ විට ඒවා වර්ධනය වනවා මිස මර්දනය වන්නේ නැහැ.සුදාරකගේ පවුලේ උදවිය මා සමඟ අමනාපකම් දුරදිග ගෙන යන බව මට වැටහෙන්නට පටන් ගත්තා. 

ඒ කොවිඩ් වසංගතය නිසා ඇඳිරි නීතිය තදින් පැතිරී තිබුණු දවස්.මම කෙසේ හෝ හොයාගන්නා දේශීය සහල් වර්ග වලින් සුධාරකට කැඳ වර්ග පිසිමින් ඒවා රෝහල කරා රැගෙන ගියා.ඒ වගේම මට ආයුර්වේදය දන්නා ස්වාමීන් වහන්සේ නමක් ගමේ දෙළුම් යුෂ සකසා සුධාරකට පෙවීමට සිහිපත් කළේ ඒ අතර.ග්‍රාමීය නිවෙස්වල මේ දෙළුම් ගස් තිබුණත් පැවති තත්වය මත ඒවා සොයා ගැනීම මඳක් අපහසු ද වුණා.නමුත් මම නෙළුම් සපයා ගනිමින් යුෂ සකස් කර සුදාරක පොවන්නට කටයුතු කරා.අනුරාධපුරය ආශ්‍රිතව උසස් යුධ හමුදා නිලධාරියකු මෙසේ රෝගී වී සිටින බව පැතිර යාම නිසා මිනිසුන් දෙළුම් ඇති තැන් ගැන මට පණිවිඩ එවන්නට පවා කටයුතු කරා.තමන්ගේ වත්තේ ඇති දෙළුම් රෝහලට හෝ හමුදා කඳවුරට ගෙනැවිත් දෙන්නට තරම් මනුෂ්‍යත්වයෙන් පිරී ගිය මිනිසුන් එහි ජීවත් වුණා.

දවසක් මම රෝහලට යද්දී දිල්හානිගේ මාමා කෙනෙකු රෝහලට පැමිණ තිබුණා.වෙනදා මා සමඟ ඔවුන්ට ඉතා අසෝබන ලෙස බැන වදින සුධාරකගේ අම්මා ඔහු සමඟ ඉතා සුහදව කතාබහක නිරතව සිටියේ මා පුදුමයට පත් කරමින්.නමුත් මා ඔහු සමග කතාවට නොගොස් සමීපයේ රැඳෙමින් සිටියේ මිනිසුන්ගේ වෙනස්වීම් ගැන අදහා ගැනීමට නොහැකිවයි.

සර්ප ගති සහිත මිනිසුන්ගේ සියොළඟෙහිම විෂ ඇති බව මට වැටහී ගියේ ඊළඟ විනාඩි කිහිපයක් තුළ.

ඒ අප්‍රසන්න කතාව මම ඔබට හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles